සූර්ය ගතික නිරීක්ෂණාගාර(SDO) ගැන ලිපියේදී සෞර ලෙළසිළු මෙන්ම දැවැන්ත කොරණීය නෙරපන (CMEs -Coronal Mass Ejections) පිළිබඳවත් අපි කතා කලා මතක ඇති.(බලන්න, තතු මැයි 07)
සූර්ය ලෙළසිළු මෙන්ම දැවැන්ත කොරණීය නෙරපනය ගැන අප සැලකිලිමත් විය යුත්තේ ඇයි? ප‍්‍රථමයෙන් කිවයුත්තේ තීව්‍ර සූර්ය ලෙළසිළුවකට පෘථිවියට ළඟාවීමට ගත වන්නේ විනාඩි 8 ක් පමණ බවයි. එසේ පැමිණෙන ලෙළසිළුවකට පෘථිවියේ ඉහළ වායු ගෝලයේ අයනීකරණය ඉහළ නංවා දිගු දුර ගුවන් විදුලි සංනිවේදන කටයුතු අඩාල කළ හැකිය. දින කිහිපයකින් අනතුරුව දැවැන්ත කොරණීය නෙරපනයක් පෘථිවිය වෙත එල්ල වුවහොත් එහි අධිවේග අයනීකෘත වායු බුබුළු පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය සමග අන්තර් ක්‍රියා කිරීමට පටන් ගනියි.
පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය හට ගන්නේ උණු වූ යකඩින් සැදි එහි පිටත හරය නිසාවෙනි. එමගින් වැඩියෙන්ම උත්ක‍්‍රමණය කරනු (ආපසු හරවනු) ලබන්නේ සූර්ය සුළඟෙහි ආරෝපිත අංශුය. වඩාත් ඝන, වේගවත් දැවැන්ත කොරණීය නෙරපන ස්පන්දනයකට පෘථිවි ක්ෂේත්‍රය සම්පීඩනය කළ හැකිය. ආරෝපිත අංශු ප‍්‍රවාහයකට, භු චුම්භක කුණාටුවක් සඳහා මුල පිරිය හැකිය. ඉන් සමහරක් ක්ෂේත්‍ර රේඛා හඹා යමින් ධ්‍රැව ප්‍රදේශ කරා යයි. ඒවා ඉහළ වායුගෝලයේ වායු පරමාණු සමග ගැටෙන අතර එම වායු පරමාණු අයනීකරණය කරයි. එවිට, ඔක්සිජන් සහ නයිට්‍රජන් අයන යළි එකතුවෙන අතර විවිධ වර්ණවලින් ආලෝකය විමෝචනය කරයි. (පිටකරයි.)
අවාසනාවකට මෙන්, එවැනි භූචුම්භක කුණාටු මගින් බරපතළ ගැටලු ද නිර්මාණය වේ. නිදසුනක් දක්වතොත්, ආරෝපිත අංශු මගින් චන්ද්‍රිකාවලට හානි පැමිණවිය හැකිවේ. එමෙන්ම, දිගු දුරක් විදුලි බලය සම්ප්‍රේෂණය කරන (ගෙන යන) රැහැන් තුළ ධාරා ප්‍රේරණය කරයි. මේවා පරිණාමක ක්‍රියාවිරහිත කරන අතර විදුලි බල ජාලක ඇනහිටවයි.
1989 වසරේදී ඇති වූ මෙවැනි බලගතු කුණාටුවකින් කැනඩාවේ මිලියන හයක ජනතාවට සැපයෙන විදුලිබලය විසන්ධි විය. ඊටත් බෙහෝ සෙයින් බලගතු කුණාටු අතීතයේ දී ඇති වී තිබෙන අතර අනාගතයේදී ද ඇතිවනු ඇත. පසුගිය වසර 500කට ආසන්න කාලය තුළ බලගතුම කුණාටුව ඇති වූයේ 1859 වසරේ දී ය. එමගින් ඇති වූ උෂාලෝකය (aurora) කැරීබියානු ප්‍රදේශවල දී ද දර්ශනය වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ඊශාන දිග වැසියන්ට එහි ආලෝකයෙන් පොතපතක් පවා කියැවීමට හැකි විය. ප්‍රදේශ ගණනාවක් පුරා ටෙලිග්‍රාෆ් සේවා අඩපණ විය. එවැනි ව්‍යාප්ත වු ඇණහිටිමකින් යලි ගොඩ ඒමට නම් අද මාස ගණන් හෝ වසර ගණන් ගතවීමට ඉඩ තිබේ.
බලගතු භූචුම්භක කුණාටුවක් ගැන අපට බොහෝ කල්තියා අනාවැකි පළ කළ හැකි ද? 11 වසරේ සූර්ය ලප චක්‍රය එහි සූර්ය ක්‍රියාකාරිත්වයේ මුදුනට පැමිණෙන විට බලගතු භූචුම්භක කුණාටු නිපදවන වඩාත් ම වේගවත්, වඩාත් ම දැවැන්ත කෙරොණිය ස්කන්ධ නෙරපන ඇතිවීමට ඉඩ ඇති බව අපි දළ වශයෙන් දන්නෙමු. සූර්ය ගතික නිරීක්ෂණාගාරයෙන් සහ අනෙකුත් මෙහෙයුම්වලින් සැපයෙන දත්ත අතිවිශාල ප්‍රමාණය පාදක කරගනිමින් සුවිශේෂී වූ ක්‍රියාකාරී චක්‍ර ගැන අනාවැකි කීමට සහ බලගතු භූචුම්භක කුණාටු ගැන බාගවිට දින කිහිපයකට වැඩි කාලයක් කල් ඇතිව කීමට හැකිවෙනු ඇත යන්න දැනට ඇති බලාපොරොත්තුවයි. කෙසේ වෙතත්, සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වන සංකීර්ණ ස්වභාවය ගැන සලකන විට එය පහසු කටයුත්තක් වන්නේ නැත.
A Visual Guide to the Universe ග‍්‍රන්ථය ඇසුරෙන් සැකැසෙන ලිපි පෙළක තවත් ලිපියක්