වෙනස්වන දේශගුණයට හැඩගැසෙන සත්තු

Posted by

වෙනස් වෙමින් යන දේශගුණ තත්වය අනුව වන සත්ව විශේෂ දශකයකයට කිලෝමීටර හයක වේගයෙන් තම වාසස්ථාන ධ්‍රැව ප්‍රදේශ වලට වඩා ලංකරන බවත්, උස් කඳු ප්‍රදේශවල ජීවත් වන සතුන් දශකයකට මීටර 6.1 බැගින් වඩ වඩා උස් ප්‍රදේශ කරා සංක්‍රමණය වන බවත් වාර්තා වී තිබේ. මේ වෙනස් වීම් රටා වෙන් පිළිඹිබු වන තවත් සැලකිය යුතු ලක්ෂණයක් වන්නේ හැම දශකයක් පාහේම ශිශිර ඍතුව දින 2.3 ක් කල්තියා පැමිණිමයි.

ඒ හා සමාන අනෙකුත් නිරීක්ෂණ වාර්තා අනුව කොපෙපොඩ්ස් (copepods) නමින් හැඳින්වෙන ක්‍ෂද්‍ර මුහුදු ජීවීන් ඔවුන්ගේ පුරුදු වාස සීමාවේ සිට කිලෝමීටර 1000 ක් තරම් ඈතින් හොයා ගැන්මට හැකිවිය.  උත්තරාර්ධ ගෝලයේ සංක්‍රමික වර්ග වලට අයත් නොවූ සමනල ප්‍රභේද 35ක් කලින් වාසබිම් කරගත් පෙදෙස් නිට්ඨාවට අත්හැර කිලෝමීටර 240 ක් උතුරට සංක්‍රමණය වීම සහ කොස්ටරිකාව වැනි ඝර්ම කලාපීය රටවලින් පවා ගතවූ විසි වසර තුළ පහත් බිම්වල වෙසෙන පක්ෂී විශේෂ සිය වාස සීමාවන් කිලෝ මීටර 18.9 ක් උතුරට ගෙනයාම වාර්තා වීම ආදිය ඒ සමාන වෙනත් නිරීක්ෂණ අතර වේ.

එඩිත්ගේ චෙකර්ස්පොට් (Edith’s Checkerspot) නමින් හැඳින්වෙන සමනල වර්ගයාට අයත් සුවිශේෂ උප ප්‍රබේදයක් උතුරු මැක්සිකෝව හා දකුණු දිග කැලිෆෝනියාව වාස සීමා කර විසුවේය.  මේ සමනල වර්ගයා දළඹු අවස්ථාවේ ආහාරයට ගන්නා ශාක වර්ගයේ පත්‍ර සිසිර ඍතුවේ උෂ්ණත්වය වැඩිවීම හේතු කොට මැලවීගිය බැවින් අහාර අහේනියකට මුහුන පෑ දළඹුවෝ සමනලයන් බවට පත්විමට පෙරම වඳ වූහ. සිය වර්ගයා මුළුමනින්ම වඳවීයාමට පෙර සමනලයන්ට උතුරට සංක්‍රමණය වීමට අවස්ථාව තිබූ නමුත් එසේ නොවිමට හේතුව විසල් භූමි ප්‍රමාණයක් අත් පත් කරගෙන සිටි සන්ඩියාගෝ නාගරික ප්‍රදේශය නිසා සමනලයන්ගේ සංක්‍රමණ මාර්ගය අවහිර විමයි. මේ සමනලයන් ගේ මුල් වාස්සථාන ප්‍රදේශයෙන් දැනට ඉතිරිව ඇත්තේ 20% ක් පමණි. උෂ්ණත්වය වැඩි වීමත් සමඟම මී ලඟ සිය වස වන විට මේ වර්ගයේ සමනලුන් මිහිපිටින් මුළු මනින්ම තුරන් වනු ඇත.

සිසිර ඍතුව පෙරට වඩා කල් තියා උද්ගතවීම දේශගුණය වෙනස් වන බවට කදිම සාධකයකි. කුරුළු ලෝකය දෙස බැලූ විට උත්තරාර්ධ ගෝලයේ වෙසෙන මුරේ (common murre) නමින් හැඳින්වෙන මුහුදු කුරුළු වර්ගය සිය බිජු ලෑ‍මේ වාරය හැම දශකයකටම දින විසිහතර බැගින් කල්තියා ආරම්භ කරන බව වාර්තා වී තිබේ.  යුරෝපයේ ශාක වර්ග රැසකම මල් පිපෙන සමය මෑත කාලයක සිට හැම දශකයකටම දින 1.4 සිට 3.1 දක්වා කලින් ඇරඹෙන අතර උතුරු අමෙරිකාවේ දි එය දින 1.2 සිට දින 2 ක දක්වා කලින් සිදුවේ. එසේම සමනලයන්ගේ පැමිණීම දශකයකට දින 2.8 සිට දින 3.2 දක්වාද සංක්‍රමණික පක්ෂීන්ගේ පැමිණීම සැම දශකයකටම දින 1.3 සිට 4.4 දක්වා කලින්ද සිදුවන බව යුරෝපීය නිරික්ෂණ වාර්තා වලින් හෙලි වේ.

වෙනස් වන දේශගුණය අනුව කඩිනමින් සිය හැසිරීම වාස්ථානාදිය වෙනස් කිරිමට ඇතැම් සත්ව විශෙෂ වලට හැකි වන නමුත් අවශේෂ සෑම සතෙකුටම එසේ කල නොහැක. මෙහි අනිසි ඵලය වැඩි ලෙසම බලපාන්නේ එසේ දේශගුණයට කඩිනමින් ‍ප්‍රතිචාර දක්වමින් තම වාසස්ථාන වෙනස් කිරීමට සමත් සතුන් ගොදුරු කරගෙන ජිවත්වූ සතුන් කෙරෙහිය. දේශගුණ වෙනස් විම් වලට ප්‍රතිචාරයක් වශයෙන් තම ගොදුරු තරම් කඩිනමින් සංක්‍රමණය වීමට ඇති අපහසුව නිසා ආහාර හිඟ වීම හේතු කොට ගෙන ගොදුරු සොයා යන එවැනි සතුන්ගේ පැවැත්ම බෙහෙවින් අනතුරට ලක් වී තිබේ.

මෙයට එක් නිදසුනක් යුරෝපයේ වෙසෙන ශීත සෘතු සළබයන් (moth) මුහුණ දී ඇති අවදානමෙන් පිළිඹිඹුවේ.  මේ සළබයන්ගේ දළඹුවන් ආහාරය සඳහා ගන්නේ හේමන්තයෙදී දළු දමන ඕක් ගස්වල ලපටි කොලය.  එහෙත් මෑතක සිට හේමන්තයේ පැමිණීම සලබයන්ටත් ඕක් ගස්වලටත් දැනෙන ආකාරය එකිනෙකින් වෙනස් වී ඇති බව නිරීක්ෂණය කෙරී ඇත. වඩා උණුසුම් වි ඇති දේශගුණය සළබයන් අකලට බිජූ ලෑමට පොළඹවන අතර ඕක් ගස් සිය දළු ලෑම තීරණය කරන්නේ ශීත කාලයේ දින ගනන අනුව බැවින් එසේ අකලට බිහිවන දළඹුවන්ට ඕක් දළු සමය කිසිසේත් නොගැලපේ.

වසර විසි පහකට පෙර තිබුනාට වඩා අද හේමන්ත සමය උණසුම් වී තිබෙන නමුත් ශීත සෘතුවේ ශීතල දින ගනන වෙනස් වී නොමැත. එහෙත් ශීත ඍතු සළබයෝ ඕක් ගස්වල දළු දැමීමට සති තුනකට කලින් බිජු ලෑම කරති. දළු ආහාර වලින් තොරව දින දෙක තුනකට වඩා ජීවත් වීමට සළබයන්ට නො හැකි බැවින් ශීත ඍතු සළබයන්ගේ දළඹුවන් දැන් දැක්මට ලැබෙන්නේ කලා තුරකිනි.  ඉතිරිවන දළඹුවන්ද සංඛ්‍යාවෙන් කුඩා වන බැවින් ආහාර සඳහා වැඩි තරඟයක් නැති කමින් උන් තරවෙන අතර ඒ හේතුව නිසාම දළඹුවන් ආහාරයට ගන්නා පක්‍ෂින් ගේ නෙත් වලට උන් නිතැතින්ම යොමුවේ.

මේ උදාහරණයට අනුව තව කලකට පසු සළබයන් බිජු දමන කාලය ස්වභාවික වරණය (natural selection) හේතු කොට ගෙන වෙනස්  වීමට බොහෝ දුරට ඉඩ ඇති නමුත් එය සිදු වනු ඇත්තේ අකලට බිහිවන දළඹුවන් අති විශාල සංඛ්‍යාවක් මිය යාමෙන් පසුවය. එතෙක් අඩුම වශයෙන් දශක ගනනාවක්ම ශීත ඍතු සළබයන් දුර්ලභ සත්ව විශේෂයක් ලෙස සැලකීමට සිදුවනු ඇත.

මේ සළබයන් ගොදුරු කර ගනිමින් යැපෙන පක්ෂීන්, මකුළුවන් හා අනිකුත් කෘමීන්ට කුමක් සිදුවනු ඇත්ද? නොනැසී පැවැතීමට උන්ට හැකි නොවුව හොත් එය දේශගුණ විපර්යාසය නිසා විනාශවන තවත් සියුම් ජෛව ජාලයක් පිළිබඳ කදිම උදාහරණයක් වනු ඇත.

පසුගිය දශක කිහිපය තිස්සේ යුරෝපයේ දිය පොකුණු වල දිය හිකනල් (newts) පැටවුන් දකින්නට ලැබුනේ පෙරට වඩා තරමක් කලිනි. එහෙත් මැඩියන් ගේ බිජු ලෑම පෙර පරිදිම නොවෙනස්ව සිදුවිය. මෙහි ප්‍රතිඵලය මැඩියන් බිජුලා ඉස්ගෙඩියන් බිහිකරණ සමය වන විට වැඩී මහත්වි සිටින දියහිකනල් පැටවුන්  විසින් කුඩා ඉස්ගෙඩි පැටවුන් ගොදුරට ගැනීමයි. මෙය මැඩිගහණය කෙරෙහි විෂම ලෙස බලපායි.

ගෝලිය උණුසුම ඇතැම් උරග වර්ග කෙරෙහිද අහිතකර ලෙස බලපා ඇත. මන්ද මේ උරගයන්ගේ ස්ත්‍රී-පුරුෂ භාවය තීරණය වන්නේ බිජු රකින අවධියේ ඇති උෂ්ණත්වය අනුව බැවිනි. උදාහරණයක් වශයෙන් ගතහොත් උතුරු අමෙරිකාවේ වසන පාට කැස්බෑවන් (North American painted turtle) බිජු රකින ශීත ඍතුවේ  උෂ්ණත්වය පමණට වඩා වැඩි වීම යනු අඩු පිරිමි සතුන් සංඛ්‍යාවක් බිහි වීමයි. දැනටමත් ඉහළ ගොස් ඇති ශීත ඍතු උෂ්ණත්වය තව මඳකින් හෝ වැඩි වුවහොත් පාට කැස්බෑ පැටවුන් ගැහුණු සතුන්ට පමණක් සීමා වීමට ඉඩ ඇත.

ආචාර්ය ටිම් ෆ්ලැනරි ලියූ We are the weather makers නැමැති පොත ඇසුරෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.