විදු නැන නුවණ – Science Literacy for All

ග්ලැසියර මගින් සිදුවන ඛාදනය

 

ග්ලැසියර ඛාදනය යනු කුමක්දැයි දැන ගැනීමට ප්‍රථමයෙන් ග්ලැසියර සෑදෙන අන්දම ගැන සොයා බැලීම වටී. ඊටත් කලින්. ග්ලැසියර් ගැන ක්‍රියාකාරී නිර්වචනයක් සොයා ගැනීමත් වැදගත්. ග්ලැසියර යනු කුමක්දැයි කෙටියෙන් හඳුන්වන්නේ නම්, විශාල භූමි ප්‍රදේශයක් වසා සිටින ඝනව ඇසුරූ අයිස් සහ හිම තට්ටු” ලෙස දැක්විය හැකි වේ.

ග්ලැසියර සෑදෙන අන්දම

සමස්ත උෂ්ණත්වය සාමාන්‍යයෙන් හිමාංකයට පහළින් පවතින ප්‍රදේශවල ග්ලැසියර සෑදේ. මෙම ප්‍රදේශ උතුරු හෝ දක්ෂිණ ධ්‍රැව ආසන්නයේ මෙන්ම විශාල කඳු වැනි ඉතා උස් බිම් විය හැකියි. භූමියෙහි හිම මත තවත් හිම පතිත වී  (කැටි) වී අයිස් බවට පෙරළේ. හිම බෝල සාදනු ඔබ දැක ඇත්නම් මෘදු හිම අතින් ගෙන ඊළඟට එකට තබා තද කර එම බෝල සදන බව මතක තිබෙනවා ඇත. ඔබේ අත්වල උෂ්ණය සහ පීඩනය නිසා හිම යම් ප්‍රමාණයක් දිය වේ. එහෙත් ඔබ අත් ඉවත් කරන විට ද්‍රව ජලය යළි මිදෙයි. මෙලෙස මෘදු හිම තද හිම බෝලයක් ලෙස සුසංහසනය කෙරී ඇත.

ග්ලැසියර සෑදෙන්නේද එවැනි ආකාරයට වුවත් ඊට වඩා සුවිසාල පරිමාණයකිනි. සූර්යාලෝකයෙන් හිම ප්‍රමාණයක් දිය වේ. ඊළඟට රාත්‍රි කාලයේ දී හෝ උෂ්ණත්වය පහත වැටුණොත් එය යළි මිදෙයි. නැවත ඒ මත තවත් හිම පතිත වෙයි. අවසානයේ හිම එක් ස්තරයක් මත තවත් ස්තරයකින් ඇතිවන බර නිසා සහ දියවීමේ හා මිදීමේ ක්‍රියාවලිය නිසා මෙම ස්තර ඝන අයිස් බවට පෙරළෙයි. මේ ඝන අයිස් සෑදීම සිදුවන්නේ ඉහළ ස්ථානයක නම් එය සෙමින් අයිස් ‘ගඟක්” ලෙස පහළට රූටා එෟමට පටන් ගනියි. එය තමයි ග්ලැසියර ලෙස හැඳින්වෙන්නේ. පැතැලි බිමක මෙම අයිස් හඳුන්වනු ලබන්නේ අයිස්වැස්ම ලෙසිනි.

අයිස් භූමිය වෙනස් කරයි

භූමියෙහි පෘෂ්ඨය හෙවත් මතුපිට වෙනස් කිරීමට අයිස්වලට හැකියි. අවට පරීක්ෂා කිරීමේදී අයිස් හෝ හිම වසර පුරාවට දිගටම නොපවතින්නට ඉඩ තිබේ.  ග්ලැසියර සෑදීමට නම් ගිම්හානයේදී දියවී යන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ශීත ඍතුවේදී කිසියම් ප්‍රදේශයකට හිම පතිත විය යුතුය. මෙලෙස සිදුවන විට කාලයාගේ ඇවෑමෙන්  හිම ප්‍රමාණය ගොඩ නැගේ. නිදසුනකින් දැක්වුවහොත් බැංකුවේ තැන්පත් කර ඇති ඔබේ මුදල් මෙනි. ඔබ බැංකුවෙන් ආපසු ගන්නවාට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් තැන්පත් කරයි නම් ඔබේ බැංක ගිණුම තරවේ. කිසියම් ප්‍රදේශයක ප්‍රමාණවත් තරම් හිම තැන්පත්ව ගොඩනැගුණු විට, යට පිහිටි හිම ඊට ඉහළින් ඇති හිමවල බර හේතු කොට ගෙන සුසංහසනය වී අයිස් බවට පෙරළෙයි. හිම හෝ පොඩි කරන ලද අයිස්වලින් අයිස් බෝල තැනීමේ දී අනුකරණය කෙරෙන්නේ මේ ක්‍රියාවලියයි.

අයිස් ප්‍රවාහ (ගලායෑම්)

ගලායෑමට අයිස්වලට ඇති හැකියාව අප පුදුමයට පත්කරයි. හැබැයි ඉන් පැහැදිලිව තේරුම් ගත යුත්තේ ග්ලැසියරවල ඇති අයිස් එක් තැනක සිට තවත් තැනකට යා හැකි බවයි. ඝන ද්‍රවයක් හෝ යමක් ගලා යන්නේ කෙසේ දැයි තේරුම් ගැනීම පහසු නැත. ලිකරිෂ් නම් පැණිරස කෑම ගැන අසා තිබෙනවා නේද? එය ඝන ද්‍රව්‍යයක් වුවත් දෙකොනින් ඇද්ද විට දිගෑදෙයි. ඔබ අතින් යොදන බලය හේතුවෙන් ඝන ද්‍රව්‍යයක් වන ලිකරිෂ් ගැලීමට ලක්වෙයි. ග්ලැසියරවල ද සිදුවන්නේ මෙවැන්නකි. අයිස් මත ඊට උඩින් පැටවෙන අයිස් හා හිම සියල්ලෙහි බර නිසා අයිස් ගලා යා හැකියි. හිම දිගටම ගොඩ ගැසෙද්දී, ග්ලැසියර අයිස් පැත්තටත්, පහළ බෑවුම පහළටත් ගලයි. එමගින් කාලයාගේ ඇවෑමෙන් ග්ලැසියරය එන්ට එන්ටම විශාල ප්‍රදේශයක්  කරා ගලා යයි. ඉවත් කරන හෝ දියවී යන ප්‍රමාණයට වඩා වැඩියෙන් හිම එකතුවන තාක් ග්ලැසියර දිගටම වර්ධනය වෙයි.

පීරිසියක දමන පැණි බිංදු උදාහරණයකට ගනිමින් ග්ලැසියරයක ව්‍යාප්තිය අවබෝධ කර ගත හැකිය. පීරිසියක පැණි බිංදුවක් දමන්න. එය එලෙසම පවතී. ඒ බිදුව මත තව පැණි බිදු පතිත කරන  කරන්න. එවිට මුල් පැණි බිදුව කේන්ද්‍රකරගෙන, පැණි හැම අතටම පැතිරෙයි. මහාද්පීවික ග්ලැසියර පැතිරෙන්නේත් එලෙසය. දැන් මුල් පැණි බිංදුව දැමුවාට පසු පීරිසිය මදක්  ඇලකර තව පැණි බිදු දමන්න. එවිට පැණි දිගට පහළට ගලා එයි. නිම්න ග්ලැසියර ව්‍යාප්ත වන්නේ එලෙසය.

 

සෑම ග්ලැසියරයක්ම එක වගේ නෙවෙයි. ප්‍රධාන ග්ලැසියර වර්ග දෙකක් ඇත. එක් වර්ගයක් හැඳින්වෙන්නේ  මහාද්වීපික ග්ලැසියර (හෝ අයිස් තලා) යනුවෙනි. කාලයක් තිස්සේ කලාපයකට විශාල ප්‍රමාණයක් හිම ගොඩ ගැසීම නිසා ධ්‍රැව දේශගුණක ප්‍රදේශවල මහාද්වීපික ග්ලැසියර පෑදෙයි. ඇන්ටාක්ටික් සහ ග්‍රීන්ලන්ඩ් අයිස් තලා වර්තමානයේ මහාද්වීපික ග්ලැසියරවලට උදාහරණ දෙකකි. නිම්න ග්ලැසියර අනෙක් ප්‍රධාන වර්ගයයි. ඒවා සෑදෙන්නේ ඉහළ උන්නතාංශයක් ඇති, වසරේ වැඩි කාලයක් හිම වැටිම වැඩි එමෙන්ම ශීතල කාලගුණයක් පවතින ප්‍රදේශවලය.  ප්‍රමාණයෙන් විශාල බවක් උසුළන අයිස් තලා හා සසඳන විට නිම්න ග්ලැසියර දිගය. එමෙන්ම කුඩාය. නිම්න ග්ලැසියරයේ ඉහළ උන්නතාංශයක් ඇති ප්‍රදේශවල දී දියවෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් හිම ලැබෙයි. නිම්න ග්ලැසියරයේ පහල හෙවත් බෑවුමේ අන්තයේදී සිදුවන්නේ එහි අනෙක් පැත්තය. හිම එකතුවෙනවාට වඩා වැඩි ප්‍රමාණයක් දියවෙයි. මහාද්වීපික ග්ලැසියර වේවා, නිම්න ග්ලැසියර වේවා සමස්තයක් වශයෙන් ගත් කළ හිම දියවී යනවාට වඩා එකතු වීම වැඩි නම් ග්ලැසියරය වර්ධනය වෙයි.

මෙලෙස ග්ලැසියර භූමියේ මතුපිට වසාගෙන පැතිර යද්දී වර්ධනය වෙද්දී ඒවාට භූමියේ ස්වරෑපය වෙනස් කළ හැකිය. ග්ලැසියර භූමියේ මතුපිට සූරාදමයි. පාෂාණ හා අවසාදිත ඛාදනය කර දමයි. ඒවා එක තැනකින් රැගෙන ගොස් තවත් තැනක තබයි. මේ අන්දමට, ග්ලැසියර ඛාදිත මෙන්ම නිසි සාධිත භුරෑප ‍ඇතිකරයි.

පීරිසියක දමන පැණි බිංදු උදාහරණයකට ගනිමින් ග්ලැසියරයක ව්‍යාප්තිය අවබෝධ කර ගත හැකිය. පීරිසියක පැණි බිංදුවක් දමන්න. එය එලෙසම පවතී. ඒ බිදුව මත තව පැණි බිදු පතිත කරන  කරන්න. එවිට මුල් පැණි බිදුව කේන්ද්‍රකරගෙන, පැණි හැම අතටම පැතිරෙයි. මහාද්පීවික ග්ලැසියර පැතිරෙන්නේත් එලෙසය. දැන් මුල් පැණි බිංදුව දැමුවාට පසු පීරිසිය මදක්  ඇලකර තව පැණි බිදු දමන්න. එවිට පැණි දිගට පහළට ගලා එයි. නිම්න ග්ලැසියර ව්‍යාප්ත වන්නේ එලෙසය.

 

BRITANNICA STUDENT ENCYCLOPEDIA, National Snow and Ice Data Centre: ALL ABOUT GLACIERS ඇසුරෙනි.

ග්ලැසියර ගැන මාර්තු 2 දා තතු හී පළවූ ලිපිය ද බලන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: