මෙම ලිපියේ මුල් කොටස සඳහා මැයි 27 දා තතු බලන්න
අඟහරු ග්‍රහයාගේ මතුපිට අධි – විභේදන අනුරූප මගින් පටු ඇල මාර්ග පෙන්නුම් කෙරේ. අඟහරු ගෝලීය සමීක්ෂණ බමන යානයෙන් සපයන අධි විභේදන දර්ශන මගින් දැක්වෙන කිලෝමීටර 2.5ක් පළලැති කැනියම (ගැඹුරු දොරුව)පෙන්නුම් කරන ලක්ෂණ, ආදි කාලීන ජල දෝරය ගැන හැඟවීමක් කරයි.
මෙම නිරීක්ෂණය පදනම් කර ගනිමින් මතුවන චිත්‍රයෙන් පෙන්නුම් කරන්නේ අඟහරු ලොව ජලය, වායුගෝලය සහ යමහල් ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිද්දී මුල් අවුරුදු බිලියනය හෝ සමාන කාලය තුළ එම ග්‍රහයා ද පෘථිවියට සමාන ආකාරයකට පරිණාමය වන්නට ඇත යන්නයි. ඒ වගේම, ඇත්තටම දැන් එහි උතුරු දිග පහත් බිම් ලෙස සැලකෙන ප්‍රදේශයෙහි කලක් විශාල අඟහරු මුහුදක් තිබෙන්නටද ඇත. ජලය ද්‍රව මට්ටමින් තබා ගැනීමට තරම් ප්‍රමාණවත් උණුසුමක් හරිතාගාර ආචරණ මගින් සැපයීමට කාබන් ඩයොක්සයිඩ් (CO2) සැලකිය යුතු ප්‍රමාණයක් පිරි වායුගෝලයට හැකිව තිබිණි.
කෙසේ වෙතත්, අගහරු ග‍්‍රහයාගේ කුඩා ප්‍රමාණය හා ස්කන්ධය හේතුකොට ගෙන අවසානයේ අඟහරු පරිණාමය වූයේ පෘථිවියට වඩා වෙනස් ආකාරයකටය. මේ නිසා එහි උණුව ද්‍රවවුණු අභ්‍යන්තරය වඩාත් ශීඝ්‍රයෙන් සීතල වීමට ඉන් මග පෑදිණ. යමහල් ක්‍රියාකාරිත්වය ද මන්දගාමී විය. ඉන් සිදු වූයේ කාබන් ඩයොක්සයිඩ් පිටතට විමෝචනය අඩුවීමයි. එයට එහි චුම්භක ක්ෂෙත‍්‍රයද අහිමි වන්නට ඇත. මේ අනුව, සූර්ය සුළංවල ආරෝපිත අංශු තව දුරටත් උත්ක්‍රමණය නොවේ. මෙය අඟහරු ලොව වායුගෝලය සෙමින් ඉවත් කර දැමීමට මග පෑදීය.
මේ අතර සූර්ය පාරජම්බුල ආලෝකය මගින් ජල වාෂ්ප, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ලෙස බිඳ දැමිණ. අඟහරු ලොව දුර්වල ගුරුත්වයට සැහැල්ලු හයිඩ්‍රජන් පරමාණු රඳවා ගත නොහැකි විය. මේ ග්‍රහයාගේ මුලින් තිබූ ජලෙයන් වැඩි ප්‍රමාණයක් අභ්‍යාවකාශය වෙත යාමෙන් අහිමි විය. වායුගෝලය තුනී වෙද්දී ඉතිරි ජලය ධ්‍රැව ප්‍රදේශවල සහ භූගතව මිදිණ. භුගතව සැඟව ගිය ජලයෙන් කොටසක් තවමත් ද්‍රව වශයෙන් පවතිනවා විය හැකිය.
සමහර ආවාට ඇතුල් පැත්තෙහි ඇති ගලි (අඟල්) පද්ධති අඟහරු ගෝලීය සමීක්ෂණ බමන යානය මගින් අනුරූපණය කර ඇත. මීටර 1.5ක විභේදනයේදී එම අනුරූප, ප්‍රවාහ සමාන ඇල මාර්ග හෙළිකරයි. පසුගිය වසර කිහිපය තුළ සිදු වී ඇති වෙනස්කම් ඉන් කිහිපයකින් දැක්වේ. ආවාට, බිත්තියෙහි සිදුරක් වැසී තිබු අයිස් ඇබැයක් බිඳී ගොස් සුළු කාලයකට ලවණ ජලය ගැලුවා විය හැකියි. ජලය ඉක්මනින් වාෂ්ප බවට පත්වන්නේ ජලය තැන්පත්වීමෙන් ඇති වූ ඇදුණු මගක් ඉතිරි කරමිනි.
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්