මිනිසාගේ පැරණිතම එමෙන්ම වඩාත්ම බලවත් මෙවලම් අතරට ගින්දර වැටේ. නූතන ශිෂ්ඨාචාරය බලගන්වනු පිණිස දවනු ලබන ඛනිජතෙල් සහ ගල් අඟුරු සියල්ලෙහි අවශේෂ නව භූ විද්‍යාත්මක අනුයුගයක(Epoch) ආරම්භය සඳහා යෝග්‍යතම සුචිය සපයනු ඇත. එම අනුයුගයන් උද්දීපනය කර දක්වන්නේ හෝමෝ සේපියන්වරුන්ගේ (නව මානවයන්ගේ) ලොව විපර්යාසයට ලක්කරන නව මානව යුගය යි (Anthropocene).
‘‘අප පෘථිවියේ පද්ධති ක‍්‍රියාකාරිත්වය වෙනස් කරමින් සිටින්නෙමු. ඉදිරියටත් එසේ කරනු ඇත. අප මෙසේ කිරීමේදී ඉතිරි කරන සලකුණු වසර මිලියන ගණනක් ගතවීමෙන් පසුවද සොයා ගත හැකි ඒවා ය’’ යි එංගලන්තයේ ලීඞ්ස් සරසවියේ පෘථිවි විද්‍යාඥ කැරෙන් බේකන් පවසයි. මෙම සළකුණු වනුයේ ඉහළ ආක්ටික් ප‍්‍රදේශයේ සිට චිලියේ විල් පතුල් දක්වා පරාසයක් තුළ හමුවන අන්වීක්ෂයකින් පමණක් දැකිය හැකි තරමට කුඩා කළු බෝලය. හයිඩ්‍රොකාබන් ලෙස දැක්වෙන ගල්අඟුරු හෝ ඛනිජ තෙල් ගිනි දැල්ලකින් දැවෙන විට, කාබන් පරමාණු සියල්ලම ඔක්සිජන් සමඟ එක් නොවේ. ඉන් සමහරක් අනෙක් කාබන් සමඟ තදින් බැඳී සිටින්නේ දැවෙන්නේ නැතුවය. එසේ නොදැවී ඉතිරි වන්නේ කුඩා කළු ගෝල ලෙසටය. පාරිසරික විද්‍යාඥයන් මෙම ගෝල හෙවත් බෝල හඳුන්වන්නේ ගෝලක අංගාරාමය අංශු යනුවෙනි. (spheroidal carbonaceous particles – SCP) ගිනි නිවන ඉංජිනේරුවන්ට නම් ඒවා අසම්පූර්ණව දහනය වූ ද්‍රව්‍යයි. පොදු මහජනතාව ඒවා හැඳින්වීමට යොදා ගන්නේ ‘දැලි’ යන්නයි.
දැලි යන්න දුඹුලූ, දුම් වැදලි ආදි නම්වලින් ද හැඳින්වේ. කුමන නමකින් හැඳින්වුවත් දහනයෙන් රත් වූ වායු මගින් ඉහළ නගින දැලි යළි ආපසු පෘථිවිය මතට විත් තැන්පත් වන්නේ අපේ පෙනහළු වලය; විල් පතුල්වල, මහ මුහුදේ හෝ භූමියේ ඕනෑම තැනකය. ගල් අඟුරු හා ඛනිජතෙල් තව තව දැවෙද්දී තව තවත් කළු ගෝල සෑදේ. ඒ අන්දමට මෙම දැලි එන්ට එන්ටම වර්ධනය වන ෆොසිල-ඉන්ධන පයිරෝමේනියාවක (pyromania) හෙවත් ගිනි තැබීමේ උන්මාදය පරිපූර්ණ වාර්තවක් බවට පත්වෙයි. සමස්තයක් වශයෙන් ගත් කළ, මානව වර්ගයා මේ මිහිතලය මත ඇති කළ ප‍්‍රබලතම බලපෑම කාබන්ඩයොක්සයිඞ් (CO2) මගින් දේශගුණ විපර්යාසයන්ට දායක වීමයි. මෙලෙස කාබන්ඩයොක්සයිඞ් දේශගුණය වෙනස්කම්වලට භාජනය කරද්දී යළි කවදාවත් වෙනස් නොකළ හැකිවීමට ඉඩ ඇති විපර්යාසයන්ගේ සළකුණු බවට පත්වන්නේ මේ කාබන් බෝලයි.
ලීඞ්ස් සරසවියේ භූ විද්‍යාඥ ග‍්‍රැහැම් ස්වින්ඞ්ල්ස් කියා සිටින්නේ මානවයන්ගේ නව යුගයක් ආරම්භ කරන සළකුණ ගෝලක අංගාරාමය අංශු (spheroidal carbonaceous particles ) බවයි. නිදසුනක් දක්වතොත්, වසර දහසක් තුළ තැන්පත් වූ දුඹුරු පැහැති, හැල ජීර්ණක (පීට්) හරයන් හදිසියේම රාත‍්‍රී කළුවර තරමට කළු පැහැගැන්වෙන්නේ මෑතක එක්වුණු කාබන් දැලි හේතුවෙනි. ‘මේවා නැති තැනක් නැහැ. හැමතැනම තියෙනවා’ ස්වින්ඞ්ල්ස් පෙන්වා දෙයි. ළඟ පාතක කිසිම කාර්මික ක‍්‍රියාවක් සිදු නොවූවත් ඈත එපිට ඇමෙසන් වැසි වනාන්තර අස්සේ ද ීක්‍ඡු දැකිය හැකිය.
දැනට වසර 170 ක පමණ කාලයක සිට අප පරිසරයට SCP එක් කිරීමට පටන් ගෙන ඇතත් 1950 පමණ සිට භූ විද්‍යාත්මක වාර්තාවලට දැලි එකතුවීම වැඩිවීමට පටන්ගෙන ඇති බව ලන්ඩන් විශ්වවිද්‍යාල කොලිජියේ පරිසර විද්‍යාඥ නීල් රෝස් කියයි. ලොව පුරා විල් වලින් ීක්‍ඡු වාර්තා එකතු කිරීම ඔහු සිදුකරන්නේ මීට වසර 25 ක සිටය. යමහල් විමෝචන වැනි ස්වභාවික සංසිද්ධි වලින් මෙකී ආකාරයේ දැලි පරිසරයට එක් නොවේ. යමහල් ීක්‍ඡු පහසුවෙන් වෙන්කොට හඳුනාගත හැකි වන්නේ ඒවා වර්ණයෙන් ළා පැහැ නිසයි. ගල් අඟුරු විදුලිබලාගාර හා ෆොසිල ඉන්ධන දවන මෝටර් රථ මගින් එක් කෙරෙන SCP පෘථිවිය මත අයිස් යුග වාර්තාවලට වඩා වැඩි කාලයක් පවතිනු ඇතැයි රෝස් අදහස් කරයි. මෙවැනි දැලි අංශු මෙයට වසර මිලියන 252 කට පමණ පෙර සිදු වූ සමූහ නෂ්ටවප‍්‍රාප්තයන්ට හේතු වූ දැවැන්ත යමහල් විමෝචන අතරේද දැකිය හැකිය.
මේ නිසා අළුතෙන් යෝජනා කර ඇති මානවයන්ගේ නව යුගයෙහි ආරම්භක සීමාව ලෙස සැලකෙන 1950 පමණ වන විට කළු දැලි බෝල ලොව සෑම තැනකම මතුවන්නට විය. මෙම නව යුගය සළකුණු කරන්නක් ලෙස නම් කිරීමට යෝජනා කර ඇති ද්‍රව්‍ය අතරේ මුල් තැනක් දැලි බෝලවලට හිමි වේ. අති විශාල කාල පරාසයක් තුළ දිවෙන භූ විද්‍යාත්මක යුගයක පවා කැපී පෙනෙන දිගටම පවතින සළකුණක් ගින්න හඹා යන මානවයන් විසින් තබා ඇත. ඒ තමයි මිහිලය වසා පවතින කළු දැලි ගෝල.
Scientific American හි Why Carbon Is the Best Marker for the New Human Epoch ලිපිය ඇසුරෙනි