අඟහරු මත අතීතයේ පැවති, වර්තමානයේ පවතින ජලය පිළිබඳව එහි භූමිය පරීක්ෂා කර සාක්ෂි සොයා ගැනීම යැවුණු සෝජොනර් යානය ගැන අපි පසුගිය සතියේ කතා කළෙමු. අඟහරු වෙත වඩා විශාල රෝවර් යානා යැවීම ඵලදායී වන බව ඒත්තු ගැන්වීමට තරම් ප්‍රමාණවත් දත්ත සහ සාක්ෂි එමගින් අනාවරණය කෙරිණ. එහි ප‍්‍රතිඵලයක් ලෙස තවත් ගවේෂක යානා යැවීම ඇරඹිණ.
ස්පිටිට් (ජීවය) හා ඔපචුනිට් (ප්‍රස්ථාව) යනුවෙන් නම් කෙරුණු ගවේෂක රෝවර් යානා දෙක 2004 දී සාර්ථකව අඟහරු මත ගොඩ බස්වන ලදි. ස්පිරිට් පැමිණියේ අඟහරු ලොව සුවිශාල ගුසෙව් ආවාටයේ නිම්නයකටය. එතැන සිට ග්‍රහයාගේ අඩක් තරම් වන දුරකින් පිහිටි මෙරිඩියානි ප්ලැනූම් (Meridiani Planum) නිම්නවල කුඩා ආවාටයක ඔපචුනිට් යානාව ගොඩ බස්වනු ලැබීය. වඩාත් විශාල මේ රෝවර් යානා සෝජර්නර් යානයට වඩා වැඩි කාලයක් මුළුල්ලේ වඩාත් ගැඹුරු ගවේෂණයක් කිරීමට සුදුසු ලෙස සකසා තිබුණි. ඒවායේ සම්පූර්ණ පිරිවැය ඩොලර් මිලියන 800ක් පමණ විය.
කිලෝග්‍රෑම් 180 ක් බරැති මේ යානයක උපරිම වේගය තත්පරයකට අගල් 2ක් පමණ විය. කුඩා විවර හා පාෂාණ මඟහරවා ගනිමින් ගමන් කළ හැකිවන පරිදි ඒවා සකසා තිබුණි. එමෙන්ම, පාෂාණ විෂ්ලේෂණය කිරීමට යොදා ගන්නා විවිධ කැමරා සහ උපකරණ ගණනාවකින් ඒවා සමන්විත විය.
අභ්‍යාවකාශය හරහා මේ යානාවල ගමනත්, අනතුරුව අඟහරු වායු ගෝලයට ඇතුළත්ව ගොඩ බැස්සවීමත් ගැන විස්තරය රසවත් කතාන්තරයක් බඳුය. පෘථිවියේ සිට ගමනට ඒවාට මාස හතක් ගතවේ. රෝවන යානය මෙන්ම ගොඩ බස්වන යානය (lander) ද මීටර් 2.6ක ආරක්ෂක කොපුවක් ඇතුළට වී අභ්‍යාවකාශ ගමනෙහි යෙදින. අඟහරු වායුගෝලයට ඇතුල්වීමේදී ඇතිවන අධික උෂ්ණත්වයට මෙම ආවරණය ඔරොත්තු දෙන්නකි. එය එහි වායුගෝලයට ඇතුල්වන්නේ තත්පරයකට කිලෝමීටර් 5.4 ක වේගයෙනි. වායුගෝලීය ඝර්ෂණයෙන් එහි වේගය 90%කින් අඩුවෙයි. ගොඩබැස්සවීමට විනාඩි දෙකකට කලින් පැරෂූටයක් විවෘත වේ. ගොඩබැස්සවීමට තත්පර අටකට කලින් වායු බෑගවල සුළං පිරෙයි. රෝවර් යානය හා ගොඩබස්වන යානය වටා ඇති අඟහරු පොළවට පතිත වන එය මීටර 200ක් 300ක දුරක් තුළ 25 වාරයක් පොළා පනියි. අනතුරුව වායු බෑග වල සුළං ඉවත් වෙන අතර ගොඩබස්වන යානයේ පියන්පත් දිග හැරී යානය රෝවර යානය ගමන් අරඹයි.
ඔපචුනිටි යානයෙන් ලැබුණු වඩාත් ඡායාකාන්ත දර්ශන සැපයුනේ වික්ටෝරියා ආවාටය අසබඩ ප්‍රදේශයෙනි. වැලිවලින් පිරී පවතින මේ ආවාටය හරස් අතට මීටර් 750 ක් පමණ පළල්ය. ගැඹුරින් මීටර් 70කි. සුළං ඛාදනය හේතුවෙන් එහි දාර ස්කැල්ප රැළි රැළි වැටී ඇත.
ඔපචුනිටි සරන යානය ගොඩබැස්ස වූ ස්ථානයේ සිට මාස 32 ක් තිස්සේ කිලෝමීටර් නවයකට වඩා දුරක් ගමන් කළේ ය. එයට අඟහරු ලොව දිය සහිත අතීතය පිළිබඳ මුල්ම හෝඩුවාව ලැබුණේ ගොඩබැස්ස වූ ස්ථානයේ දීය. එනම් කුඩා (මීටර් 20) ඊගල් ආවාටයේ කොනේ දාරයේ පාෂාණ උද්ගතයකනිනි. පාෂාණවල දැකිය හැකි ස්තර ඇතිවන්නට ඉඩ ඇත්තේ ගලායන ජලයෙනි. මෙම පාෂාණ සල්ෆේට් ලවණ ඛනිජවලින් පොහොසත්ය. ගහණය. එයින් තේරුම් ගත හැක්කේ කිසියම් අවස්ථාවක ඒවා ලුණු සහිත ජලයෙහි පෙඟෙන්නට ඇත යන්නයි.
මිලිමීටර් වලින් දැක්විය හැකි තරම් බදරිය ද ඊගල් ආවාටයේ දැකිය හැකිය. ඔපචුනිටි සහ ස්පිරිට් යන රෝවර් යානා දෙකෙන්ම අනුරූපනය කෙරුණු එන්ඩුවරන්ස් (Enduarance) ආවාටය වැනි වෙනස් ස්ථානවලදී ද මේ බදරිය දැකිය හැකිය. ඒවා පෘථිවිය මත දැකිය හැකි ඒවාට සමාන වන අතර සෑදී ඇත්තේ යකඩ පිරි හෙමටයිට් ඛනිජයෙනි. අවසාදිත හරහා ජලය වෑස්සීමෙන් ඒවා හටගෙන ඇත.
අඟහරු ග්‍රහයා මත දිය සහිත අතීතය පිළිබඳව භූමිය පාදක කර ගත් බලගතු සාක්ෂි රෝවර යානා මගින් සොයා ගෙන ඇත යන්න මේ කාරණා යටින් දිවෙන සත්‍යයයි. මෙලොවින් පිටස්තර ග්‍රහ ලෝකයන් පිළිබඳ අලංකාර දසුන්ද ඒවා මගින් සපයනු ලැබ ඇත. අඟහරු ලොව හිරු බැසීම ස්පිරිට් යානය මගින් අනුරූපණය කර තිබේ. උසට විහිදෙන ධුලි හේතුවෙන් අඟහරු ලොව ගොම්මනය දිගය.
රෝවර් යානාවල සූර්ය පනේල මත ධුලි ගොඩ ගැසෙතැයි ඒ යානා එහි යැවුණු දිනවල මුලින් සැකයක් පැවතිණි. අඟහරු ලොව වාතය තුනී වුවද සුළං මගින් පනේලවල ධුලි ඉවත් කිරීම නිසා බලය නිපදවීම ඇණහිටියේ නැත. මෙම රෝවර් යානා දෙකෙහි ආරම්භක මෙහෙයුම් කාලය වූයේ දින 90 කි. එහෙත් යානා දෙකම අපේක්ෂිත සීමාවට වඩා බොහෝ කාලයක් පැවැතුණි. ස්පිරිට් යානය වසර හයක් තුළ ක්‍රියාත්මක විණ. 2013 වසර පසුවෙද්දී ඔපචුනිට් යානය කිලෝමීටර 35ක් ගමන් කර තිබිණ.
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්