මේ ලෝකය ආරම්භ වූ දිනයේ සිට ජීවින් සමූහ වශයෙන් නෂ්ටප්‍රාප්ත වූ (වඳ වූ) මහා සිද්ධීන් ගැන විද්‍යාඥයෝ සඳහන් කරති. ඉන් වඩාත් ප්‍රකට සිද්ධිය වන්නේ මෙලොව අරක්ගෙන සිටිමින් වැජඹුනු ඩයිනෝසරයන් මිහිතලයෙන් අතුගා දැමීමට හේතු වූ ක්‍රිටේසීය තෘතීයික (Cretaceous-Tertiary හෙවත් K-T) නෂ්ටප්‍රාප්තියයි. එසේ වුවද පෘථිවියේ ඉතිහාසය ගතහොත් ඒ තුළ සමූහ නෂ්ටප්‍රාප්තවීම් මලාවක්ම සිදු වී ඇති බව පෙනී යයි. සමහරක් K-T සමූහ නෂ්ටප්‍රාප්තියටත් වඩා දරුණුයි. ජිව විශේෂ අසාමාන්‍ය ලෙස විශාල ප්‍රමාණයක් එකවර හෝ සීමිත කාල පරාසයක් තුළ නැත්තටම නැතිවී යාම පෘථිවි ඉතිහාසයේ සමූහ නෂ්ටප්‍රාප්ත යුග ලෙස දැක්වෙයි.
මේ අතුරෙන් වඩාත්ම විනාශකාරී හෙවත් දරුණුතම මහා නෂ්ටප්‍රාප්තිය ලෙස සැලකෙන සිද්ධිය ඇති වන්නේ පර්මියානු (පේලියෝසොයික භූ යුගයේ අවසාන අවධිය) අවධියෙහි දී ය. මේ සමූහ නෂ්ට ප්‍රාප්තියේදී සියලු ජීවි විශේෂයන්ගෙන් 96%ක්ම විනාශ විය. මෙයත්, K-T සමූහ නෂ්ටප්‍රාප්තියක් ගත් කල ඒවා පංච මහා නෂ්ටප්‍රාප්තයන් අතුරෙන් දරුණුම දෙකකි. පංච මහ නෂ්ටප්‍රාප්තයන් සෑම එකකදීම සියලු ජිවීන්ගෙන් අඩුම තරමින් අඩක්වත් මිහිතලයෙන් අතු ගැවී ගියේය. ඇත්තවශයෙන්ම කුඩා මට්ටමේ සමූහ නෂ්ටප්‍රාප්තියක්ද සිදු වූ බව අමතක කළ යුතු නොවේ. පූර්ව ඓතිහාසික, ඓතිහාසික හා නූතන සමයන්හි මිනිසා අතින් බොහෝ සත්ව හා ශාක විනාශයට පත්වීම, සමූහ නෂ්ටප්‍රාප්තියක් ලෙස අවසානයේ ෆොසිල වාර්තාවල සටහන් වනු ඇත.
ඓතිහාසික නෂ්ටප්‍රාප්තවීම් ගැන දැන උගෙන ගැනීම එම යුගය ගැන කෙරෙන හැදෑරිම්වලට වැදගත්වන්නා සේම නූතන ලෝකයේ මිනිසා ඇතුළු සතා සීපාවා, ගහ කොළ, හා පරිසරය ගැන මෙන් ම මේ මිහිතලයේ ඉදිරි අනාගතය ගැන අපට උගෙන ගත හැකි පාඩම් බොහෝ යි. මේ සඳහා නෂ්ටප්‍රපාත්වීම්වල ස්වභාවය, වකවානුව, හේතු සාධක ගැඹුරින් දැන කියා ගැනීම වැදගත් වුවත් ලිපියේ අරමුණ ඒවා ගැන වැඩිදුර සොයා බැලීම පිණිස අධ්‍යයනයට යොමුවීමයි. අපි දැන් පංච මහා නෂ්ටප්‍රාප්තවීම් ගැන කෙටි විස්තරයකට යොමු වෙමු.
- ඔඩෝවිසීය – සිලුරීය (Ordovician-Silurian) සමූහ වඳවීයාම
පෘථිවියේ ඉතිහාසයේ තුන්වැනි මහා විශාල නෂ්ටප්‍රාප්තියයි. ඔඩොවිසීය – සිලුරීය සමූහ වඳවීයාමේ අවධියේ නෂ්ටප්‍රාප්තවීම් උච්චාවස්ථාවට පත් සිද්ධි දෙකක් ඇත. එම සිද්ධි වසර ලක්ෂ ගණනකින් වෙන් වී ඇත. ඔඩෝවිසීය අවධියේ පෘථිවිය මත ජීවය බහුලව පැවතියේ මුහුදෙහිය. එහෙයින්, විශාල ලෙස වඳවී ගියේ ට්‍රිලෝබයිටයන්ය (trilobites) බ්රැකියාපෝඩාවන් (brachiopods) හා ග්‍රැප්ටොලීටයන් (graptolites) වැනි මුහුදු සතුන්ය.

- පසු ඩෙවෝනියානු (Late Devonian) සමූහ වඳවීයාම
පෘථිවිය මත එවකට සිටි ජීවි විශේෂගෙන් හතරෙන් තුනක්ම මිය ගියේ, පසු ඩෙවෝනියානු සමූහ නෂ්ටප්‍රාප්තවීමේදීය. ඇතැම්විට මෙය එක් තනි සිද්ධියක් වෙනුවට වසර මිලියන ගණනාවක් තිස්සේ සිදු වූ නෂ්ටප්‍රාප්තවීම් මාලාවක් වූවා විය හැකියි. වඩාත්ම දරුණු බලපෑමක් ඇති වූයේ නොගැඹුරු මුහුදේ ජීවීන්ටය. වසර මිලියන 100ට අධික කාලයකට පසු නව කොරල් පර පරිණාමනය වන තුරු යළි පෙර තිබූ විභූතියට පත් වීමට නොහැකිවන පරිද්දෙන් ඩෝවියානු වඳවීයාමේදී කොරල් පරවලට මහත් හානිපැමිණියේ ය.

- පර්මීයානු (Permian) සමූහ වඳවීයාම
පර්මීයානු නෂ්ටප්‍රාප්තවීම කෙතරම් දරුණු ද යත් එයට “මහා මරණය” යනුවෙන් පටබැඳි නාමයක් ද එක්වී ඇත. ඊට හේතුව එවක මිහිතලයක මත ජීවී විශේෂයන්ගෙන් 96%ක්ම විනාශ වී යාමයි. අද පෘථිවිය මත සියලු ජීවීන් පැවති එන්නේ පර්මියානු නෂ්ටප්‍රාප්තයෙන් ගැලැවුණු ඒ සියයට හතරෙනි.
- ත්‍රියාසික – ජුරාසික (Triassic-Jurassic) සමූහ වඳවීයාම
ත්‍රියාසීක යුගයේ අවසාන වසර මිලියන 18 තුළ නෂ්ටප්‍රාප්තවීම් අදියර දෙකක් හෝ තුනක් ඇති විය. මේ වාෙය් එකතුවෙන් ත්‍රියාසික ජුරාසික සමූහ වඳවී යාමේ සිද්ධිය නිර්මාණය විය. මේ මහා විනාශය සම්බන්ධයෙන් වගකීම පිටාර බැසෝල්ට් විදාරණයන් (flood basalt eruptions) හා ග්‍රහක කඩාවැටීමක් වෙත පැවරේ.
- ක්‍රිටේසීය – තෘතීයික (Cretaceous-Tertiary) සමූහ වඳවීයාම
කලින් ද සඳහන් කළ පරිදි, ලොව බොහෝ දෙනෙකුට පංච මහා නෂ්ට ප්‍රාප්තියෙන් අතුරෙන් වැඩි දැනීමක් ඇති K-T ලෙස ද ඇතැම්විට සඳහන් කරන ක්‍රිටේසීය – තෘතීයික නෂ්ටප්‍රාප්තියයි. ඊට හේතුව අද සිටින ලොකු කුඩා අපේ කවුරුත් ආදි ජීවීන් අතුරෙන් වඩාත් හොඳින් අසා පුරුදු ඩයිනසෝරයන්ගේ විනාශය මේ නිසා සිදුවීමයි. කෙසේ වෙතත්, ක්‍රිෙට්සීය නෂ්ටප්‍රාප්තිය අවසානයේ තවත් බොහෝ ජීවීන් විනාශයට පත් විය. ඇමොනීටයන් (ammonites) ද, සපුෂ්පික ශාක ගණනාවක් මෙන්ම අවසාන ටෙරසෝරයන් ද (pterosaurs) ඒ අතර විය.
මේ මහා නෂ්ටප්‍රාප්තයන්ට හේතු වශයෙන් සිද්ධාන්ත ගණනාවක් ඉදිරිපත් වී ඇත. ඒවා අතර ප්‍රධාන සිද්ධාන්ත හතරකි. මීතෙන් වායුව මුදාහැරීමෙන් සිදු වූ මහා පරිමාණ ව්‍යසනය, (කලින්ද දැක්වූ) පිටාර බැසෝල්ට් විදාරණයන්, දේශගුණික විපර්යාස, ග‍්‍රහාක වැනි පෘථිවය මත කඩාවැටීම් නිසා ඇතිවූ සංඝට්ටන සඳහන් කළ හැක. මේවා ගැන තතු හි ඉදිරියේ පළවන ලිපියකින් සාකච්ඡා කරමු.
BBC Nature හි Big Five mass extinction events ලිපිය ඇසුරෙනි
එක් ප්‍රතිචාරයක්