විදු නැන නුවණ – Science Literacy for All

හුරු බුහුටි රූ දැකීම සුපරක්ෂාකාරී චර්යාවට හා තියුණු අවධානයට මග පාදයි

 

හුරු බුහුටිකම ලොව පුරා සෑම සංස්කෘතියකම පාහේ ප්‍රසාදයට ලක් වූවක් ලෙස හැඳින්විය හැකියි. විශේෂයෙන් ම, සිඟිත්තෙකුගේ පමණක් නොව බලු බළල් පැටවුන්ගේ පවා හුරුබුහුටිකම් දැක සිත් පහන් නොවන්නේ කාගේද?  ජපන් සංස්කෘතියේ ළමා ගතිය සමාජමය මට්ටමින් ඇගැයීමට පවා පිළිගැනීමට ලක් වේ. නූතන ජපන් භාෂාවේ ‘කාවෛ'(Kawaii ) යන වචනයෙන් දැක්වෙන්නේ මේ හුරුබුහුටි කමයි. සතුන් හා ළමා චරිත සහිත විවිධාකාර භාණ්ඩ එරටේ නිෂ්පාදනය කර අපනයනය කරනු ලැබේ. මේ සංසිද්ධිය, සෞන්දර්ය හා ඉංජිනේරු ක්ෂේත්‍ර ඇතුළු අංශ ගණනාවක සැලකිය යුතු මට්ටමක අවධානයට යොමු වී තිබේ. එවැනි හුරුබුහුටි දෙයක් දැකීමෙන් සිත් පහන්වීම යම් යම් කාර්යයන් ඉටුකිරීමේදී ධනාත්මකව බලපාන්නේ ද යන්න ගැන ජපන් ජාතිකයන් සිව් දෙනෙකු එකතුව සිදු කරන ලද පර්යේෂණයක විස්තර PLOS සඟරාවෙහි පළවෙයි. ජපානයේ හිරෝෂිමා සරසවියේ ඥානන මනෝභෞතවේද පර්යේෂණාගාරයේ සහායක මහාචාර්ය හිරෝෂි නට්ටොනෝ, මිචිනෝ නුකුෂිමා, අතිහිරෝයානෝ සහ හිරෝකි මොරියා මේ අධ්‍යයන සිදු කළ ජපන් ජාතිකයන්ය.

හුරුබුහුටි අනුරූප දැකීමෙන් සුපරීක්ෂකාරී චර්යාවෙහි වර්ධනයක් ඇතිවන බව මෙම අධ්‍යයනයට කලින් 2005 දී ජී.ඩී. පර්මන්, ජේ. හයිඩ්ට් හා ජේ.ඒ. කෝන් යන තිදෙනා සිදු කළ පර්යේෂණයකින් පෙනී ගොස් තිබේ. මෙලෙස චර්යාවන්හි හා කාර්යයන් ඉටුකිරීමේදී ඇතිවන බලපෑම ගැන පර්යේෂක සැලකිල්ල යොමු වී ඇති අතර වර්තමාන ජපන් ජාතිකයන්ගේ පර්යේෂණයෙහි අරමුණ වූයේ අනුරූප නැරඹීමෙන් (සිඟිත්තන් හා සත්ව පැටවුන්ගේ) පසුව සිදුකරන  කාර්යයන් කෙරෙහි බුහුටිකම ඇතිකරන බලපෑම නිර්ණය කිරීමයි. මේ සඳහා චර්යාමය අත්හදා බැලීමේ පරීක්ෂණ තුනක් සිදු කෙරිණි. ලිංගික වශයෙන් ඇති විය හැකි වෙනස්කම් සැලකිල්ලට ගනිමින් පර්යේෂණයට ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම සම්බන්ධ කර ගනු ලැබූහ.

පරීක්ෂණවල අනාවැකිය වූයේ සත්ව පැටවුන්ගේ අනුරූප වැඩිහිටි සතුන්ගේ රූපවලට වඩා සාපේක්ෂව හුරුබුහුටි වන අතර එවැනි හුරුබුහුටි අනුරූප දැකීමෙන් අනතුරුව පරීක්ෂණයට සහභාගිවන්නන්ගේ කාර්ය ඵලය ඉහළ යනු ඇත යන්නය. හුරුබුහුටි දේ මගින් ධනාත්මක හැඟීම ප්‍රගුණ කෙරෙන නිසා එම බලපෑම කෙනෙකුගේ චර්යාවෙහි අනෙකුත් අංශ කෙරෙහි දැනෙනු ඇතැයි උපකල්පනය කෙරිණි.

ප්‍රථම පරික්ෂණයේදී සරසවි සිසුහු සත්ව පැටවුන් හා වැඩිහිටි සතුන්ගේ අනුරූප නැරඹීමට පෙර හා පසුව සියුම් චාලක දක්ෂතා කාර්යයන් ඉටු කළහ. හුරුබුහුටි අනුරූප (සත්ව පැටවුන්) නැරඹීමෙන් පසුව කාර්ය ඵලය හුරුහුටි නොවන අනුරූප (වැඩිහිටි සතුන්ගේ) නැරඹීමෙන් පසුවට වඩා වර්ධනයක් පෙන්වීය. දෙවැනි පරීක්ෂණයේදී මෙම සොයා ගැනීමම අනුකරණය කෙරුණේ චාලක නොවන දෘෂ්ටිමය විපරම් කාර්යයක් යොදා ගනිමිනි. කාර්යය ඵලය හුරුබුහුටි නොවන අනුරූප නැරඹීමෙන් පසුවට වඩා හුරුබුහුටි අනුරූප නැරඹීමෙන් පසුව වර්ධනයක් පෙන්නුම් කළේය. මිහිරි ආහාර අනුරූප නැරඹීම කාර්යඵලය වැඩිකිරීමෙහිලා බලපෑමක් ඇති නොකළේ ය.

තුන්වැනි පරීක්ෂණයේදී සහභාගිවන්නන්ට ගෝලීය දේශීය අක්ෂර සෙවීමේ කාර්යයක් පැවරුණේ සත්ව පැටව්, වැඩිහිටි සතුන් හා හුරුබුහුටි කම අතින් මධ්‍යස්ථ වස්තූන්ගේ අනුරූප  නැරඹීමෙන් අනතුරුවය. මෙහි ප්‍රතිඵලවලින් පැහැදිලි වූයේ සහභාගි වන්නන් විසින් වඩාත් තියුණු අවධානය ( ) අවශ්‍ය කාර්යයන් වඩාත් සැලකිල්ලෙන් ඉටු කළේ හුරුබුහුටි අනුරූ දර්ශනය කිරීමෙන් පසුව බවයි. ප්‍රවේශ අභිප්‍රේරණය සහ ක්‍රමානුකූල ක්‍රියාවලිය කෙරෙහි ඇති නැඹුරුව  හා සම්බන්ධ, හුරුබුහුටිකමින් ඇවිස්සුණු ධනාත්මක චිත්තවේග මගින් අනුප්‍රේරණය වීමෙන් අවධානය වඩාත් තියුණු කිරීමට හේතු වී යයි සැලකිණි.

මෙම අධ්‍යයනයට අදාළව ඇතැම්  සීමාවන් තිබුණද මෙතෙක් මෙම ක්ෂේත්‍රයට සම්බන්ධව සිදු කෙරුණු අධ්‍යයනන්හි ප්‍රතිඵල ඉන් සනාථ කෙරී ඇත. රිය පැදවීම, කාර්යාල කටයුතු වැනි සුපරික්ෂාකාරී චර්යාමය නැඹුරුවීම ප්‍රේරණය කිරීම පිණිස චිත්තාවේග එකතුකරන්නක් ලෙස අනාගතයේදී හුරුබුහුටි වස්තූන් යොදා ගැනීමට ඇති ඉඩ කඩ නව අධ්‍යයනයෙන් පෙන්නුම් කෙරේ.

PLOS ONE හි  The Power of Kawaii: Viewing Cute Images Promotes a Careful Behavior and Narrows Attentional Focus ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: