අප සුගිය සති කිහිපය තුළ ගවේෂණයෙහි යෙදුණු අඟහරු ග්‍රහයා සහ ‘වායු යෝධයා’ ලෙස සැලකෙන බ්‍රහස්පති අතර ග්‍රහයන්ගෙන් තොර එහෙත් පාෂාණමය වස්තූන් මිලියන ගණනාවකින් හෙබි තීරය හෙවත් පථය හැඳින්වෙන්නේ ග්‍රහක පථය (Asteroid belt) ලෙසය. මෙයට වසර බිලියන 4.6 කට පෙර අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවන අවධියේ ද්‍රව්‍යවලින් මෙම පථය සමන්විත වේ. බ්‍රහස්පති ග්‍රහයාගේ බලවත් ගරුත්වාකර්ෂණ බලපෑම හේතුවෙන් මේ පථයේ ග්‍රහකවලට එකතු වී ග්‍රහයෙකු ලෙස සෑදීමට ඇති ඉඩකඩ ඇහිරිණ. මේ ග්‍රහක අතුරෙන් දැවැන්ත ග්‍රහක දෙක වන සීරිස් (Ceres) හා වෙස්ටා (Vesta) ගවේෂණය සඳහා 2007 දී නාසා ආයතනය ඩෝන් (Dawn) අභ්‍යාවකාශ විපරුම් දියත් කළේය. එම විපරුම් මගින් ගන්නා ලද වෙස්ටා ග්‍රහකයේ අනුරූපවලින් දැක්වුණේ විශාල පාෂාණයකට වඩා ග්‍රහයෙකුගේ සේ ඛනිජ ගහණ හරයකින් යුතු ආවාට පිරි වස්තුවකි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මුල් අවධියේ දී පෘථිවිය සහ අනෙකුත් පාෂාණමය ග්‍රහයන් සෑදීම සඳහා එකතු වූ විශාල තැනුම් ඒකක අතුරෙන් අන්තිම එක බාගදා වෙස්ටා වන්ට ඇත.
ග්‍රහක පථය (Asteroid belt)
ග්‍රහක පථය, සත්‍යවශයෙන්ම ආදී සෞරග්‍රහ මණ්ඩලයේ පොසිලයක් ලෙස සැලකිය හැකිවේ. පෘථිවිය මත පැරණිතම පාෂාණ ඇත්තටම අහසේ සිට උල්කාශ්ම ලෙස කඩාවැටුණු ග්‍රහක පථයේ සරණාගතයන්ය. ඒවා සාමුහිකව එක්වී, සූර්යයා හා එය වටා භ්‍රමණය වන ග්‍රහයන්, චන්ද්‍රයන් මෙන්ම ග්‍රහක සෑදීමේ වයස වසර බිලියන 4.6 ලෙස ගලපා ඇත.
සූර්යයා සහ එහි ග්‍රහයන් හැඩගැස්වීම සඳහා වූ නිහාරිකා (nebular) ආකෘතිය ආරම්භ වන්නේ අන්තස්තාරීය (interstellar) වලාවක වායු සහ තරු ධුවිලි ඝන මඩිස්සලයක් සේ (pocket)මන්දගාමී ගුරුත්වාකර්ෂණීය කඩාවැටීමක් සමගය. මඩිස්සලය හැකිළෙද්දී එය රත්වන අතර වේගයෙන් භ්‍රමණය වෙයි. ස්කන්ධයෙන් වැඩි කොටස කේන්ද්‍රයෙහි දී මූල තාරකාවක් ලෙස හැඩගැසෙයි. ඉතිරිය ගුරුත්වය හා භ්‍රමණයේ හේතුවෙන් තැටියක ආකාරයෙන් පැතැලි වෙයි. මෙකී වායු හා දූවිලි තැටිය හිරු වටා ග්‍රහයන් හැටියට එකට බැඳෙයි. මෙම හැඩ ගැසීමේ ක්‍රියාවලියට වසර මිලියන 100ක් පමණ ගත වේ.
නිහාරිකා තැටිය තුළ ග්‍රහයන් සමාහරණයවීම (accretion) පිළිබඳ විස්තර කෙරෙහි අපි දැන් අවධානය යොමු කරමු. තැටියේ ද්‍රව්‍යවලින් 98%ක් සමන්විත වන්නේ වායුමය හයිඩ්‍රජන් හා හීලියම් වලිනි. ඉතිරිය වැඩිපුරම හයිඩ්‍රජන් සංයෝග සහ ඇතැම් පාෂාණ හා ලෝහය. ජලය ඝන අංශු බවට ඝනීකරණයට නොහැකිවන තරමට අභ්‍යන්තර තැටිය උෂ්ණාධිකය.
නක්ෂත්‍ර ඒකක 2.7ක් පමණ වන තැන ‘තුහින ඉම’ (frost line) ඉක්මවීමෙන් පසුව පමණයි අයිස් අංශු සෑදෙන්නේ. මේ ඉමෙන් මෙපිට පාෂාණ ඛණිජ අංශු එකට එකතු වී තව තවත් විශාල පාෂාණ බවට සමාහරණය (ඒකරාශී) වෙයි. ‘චන්ද්‍රයන්’ 50 සිට 100 අතර ඝට්ටනය වීමෙන් අවසානයේ අභ්‍යන්තර පාෂාන ග්‍රහයන් සිව්දෙනා සෑදීමට මග පැදීණ. තුහින ඉමෙන් එහාට වඩාත් විශාල අයිස් හා පාෂාණ හරයන් සෑදීමට අයිස් ඉඩ සලසයි. ඒවායේ ගුරුත්වය, හයිඩ්‍රජන් හා හීලියම වායු ආකර්ෂණය කරගන්නා අතර වායු යෝධයන්ට මුලපුරයි. ඉතිරි මූල වායු සූර්ය සුළං මගින් ඉවත් කෙරෙන අතර එවිට වායු යෝධයන් සෞරග්‍රහ මණ්ඩලයේ පිටත විසිරුණු ඉතිරි කොටස් බවට පත්වෙයි.
එසේ නම්, ග්‍රහක පථයේ ග්‍රහක මේ චිත්‍රයට ගැළපෙන්නේ කුමන ආකාරයටද? ඒවා බහුතරය අවශ්‍යයෙන්ම අභ්‍යන්තර ග්‍රහලෝක සෑදීමේදී ඉතිරිව ගිය පාෂාණමය කොටස්ය. ආරම්භක වශයෙන් මෙම පථයෙහි පෘථිවියට සමාන හෝ ඊට වැඩි ස්කන්ධයකින් සමන්විත විය. මධ්‍යයෙහි තුහින ඉමක් සහිත වූ එහි පාෂාණ අතර එක්තරා ප්‍රමාණයක අයිස් ද විය. අභ්‍යන්තර ග්‍රහ තලයයේ මෙන්ම පථය තුළ ද යම්කිසි චන්ද්‍රයන් ප්‍රමාණයේ වස්තු ගොඩනැගෙන්නට ඇත. එහෙත් තරුණ බ්‍රහස්පතිගේ ගුරුත්වය ඒවායේ ප්‍රවේගය වැඩිකිරීමට බලපෑවේය. වේගයෙන් සිදු වූ ඝට්ටන, හැප්පඵීම් හේතුවෙන් වස්තූන් කෑලිවලට කැඩිගොස් බොහොමයක් පථයෙන් පිටතට විසිරී ගියේ ය.
(තවකොටසක් ලබන සතියේ)
තතු සටහන : විශ්වයේ විශාලත්වය සලකන විට අභ්‍යවකාශ වස්තු අතර දුර මැනීම සඳහා පෘථිවිය මත අප එදිනෙදා භාවිත කරන කිලෝමීටර් හෝ සැතපුම් වැනි මිමි කුඩා වැඩිය. එහෙයින් විද්‍යාඥයෝ ඒ සඳහා වෙනස් මිමි යොදා ගනිති. අප කවුරුත් අසා ඇති ආලෝක වර්ෂ (light years) ඉන් එකකි. එහි දී සිදුවන්නේ ආලෝක තරංගයක් අවුරුද්දක් තුළ ගමන් කරන දුර, අභ්‍යවකාශයේ මිනුම් ඒකකයක් ලෙස භාවිත කිරීමයි. නක්ෂත්‍ර ඒකකය (Astronomical Unit) යනුවෙන් දැක්වෙන්නේ එවැනි මිම්මකි. සූර්යයා හා පෘථිවිය අතර සාමාන්‍ය දුර වන(සූර්යයා වටා පෘථිවිය ගමන් කරන්නේ ඉලිප්සීය(elliptic) කක්ෂයක නිසා වස්තූන් දෙක අතර දුර අඩු වැඩිවෙයි) කිලෝමීටර මිලියන 150 (සැතපුම් මිලියන 93) එක් ඒකකයක් ලෙස ගත් කල නක්ෂත්‍ර ඒකකයක් ලෙස දැක්වෙයි.
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්