විදු නැන නුවණ – Science Literacy for All

ගෝරමුත්තාගේ රෝගාබාධය

 

කුඩා ළමයි ගෝරමුත්තා කියන්නේ වැහි අකුණු කොටන විට නැගෙන ගෙරවිලි හඬටයි. එහෙත් නින්ද ගිය විට අපේ බොහෝ දෙනෙකු ගෝරමුත්තන් බවට පත්වන්නේ ඉබේටමයි. නින්දේ දී ගෙරවීම පවුල් හෝ පුද්ගල සබඳතාවලට බලපාන ප‍්‍රශ්නයක් පමණක් නොවෙයි, ජීවිතයට තර්ජනයක් විය හැකි ඇප්නියාව (apnea) හෙවත් ශ්වසනය තාවකාලිකව නතරවීම සළකුණු කරන්නක් ද විය හැකියි. අපගේ ජීවිතයට නිදා ගැනීමෙහි අවශ්‍යතාව අපට අමුතුවෙන් කියා දිය යුත්තක් නොවේ. එමෙන් ම, නින්දේ දී බොහෝ දෙනෙකු අඩු වැඩි ප‍්‍රමාණයකට ගොරවන බව එසේ ගොරවන තැනැත්තාට හැර ඔහු අවට ඉන්නා අන් අයට රහසක් නොවේ. කෙසේ වෙතත් නින්දේ දී ගෙරවීම සාමාන්‍ය දෙයක් ලෙස සළකනවා විනා එය සෞඛ්‍ය ගැටළුවක ලක්ෂණයක් ලෙස අප බොහෝ දෙනෙක් පිළිනොගනිති. ගෝරමුත්තාගේ කතාවෙන් අප කියන්න උත්සාහ කරන්නේ නින්දේ දී ගෙරවීමෙහි අප නොදකිනා පැත්ත ගැනයි.

Media

ගෝරමුත්තා ලෙස අප මෙහි සඳහන් කරන්නේ දකුණු කැරොලීනාවේ ෆ්ලොරන්ස් නුවර ඇල් පියර්ස් නැමැත්තාය. 65 හැවිරිදි ඔහු වෘත්තියෙන් ජල නල සවි කරන්නෙකි. සැමදා රාත‍්‍රියේ ‘සැප නින්දකට’ වැටෙන ඔහුගේ ගෙරවිලි හඬ කොපමණ ද කියතොත් ඔහුගේ බිරිඳ වෛද්‍යවරයෙකු මුනගැසීමට ගියේ ඇයට නිදිපෙති ලබා ගැනීමට ය. ඒවා අවශ්‍ය මන්දැයි වෛද්‍යවරයා විමසූ විට ඇය කියා සිටියේ සැමියාගේ ගෙරවිලි හඬ කෙතරම් දරුණු ද කියතහොත් ඇයට රැුය නිදිවරා පහන් කිරීමට සිදුවන බවයි. තත්ත්වය එතරම් දරුණු නම් සැමියා වෛද්‍ය පරීක්ෂාව සඳහා රාත‍්‍රියක් ගත කිරීමට රෝහලට එවන්නැයි ඇයට උපදෙස් ලැබිණ. ඒ විවිධ සංවේදක සවිකොට සිදු කෙරෙන අධ්‍යයනයකටය.

ඇමරිකාවේ, ජාතික නිදි පදනම දක්වන අන්දමට හඬ නගා නින්දේ දී ගොරවන ගෝරමුන්තන්ගෙන් අඩකට ම නිද්‍රා ඇප්නියාව (sleep apnea) තිබෙන බව ද වෛද්‍යවරයා ඇයට අනාවරණය කළේය. මෙලෙස නින්දේ දී ගෙරවීම වෛද්‍ය ගැටළුවක් විය හැකි බව අප බොහෝ දෙනෙකුට මෙන් පියර්ස් සහ බිරිඳට ද පුදුමය දනවන්නක් විය. වසර ගණනාවක් මුළුල්ලේ උදෑසන අවදිවන විට මහන්සි ගතියක් දැනුනත් එය නින්දේ දී ගෙරවීම නිසා ඇති වූ වෛද්‍යමය ගැටළුවකැයි යන්න ඔවුනට නිකමටවත් හිතට නැගී තිබුණේ නැත.

වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වූයේ නින්දට ගිය විට පියර්ස් සෑම පැයකදී ම ඇප්නියා අවස්ථා 30 ක් තරම් ඉහළ ප‍්‍රමාණයකට මුහුණ දෙන බවයි. අවරෝධක නිද්‍රා ඇප්නියාව  (sleep apnea) බොහෝ විට වර්ධනය වන්නේ මිනිසුන් වයසට යද්දී හෝ තරබාරු වෙද්දී ය. මේදය තැන්පත් වීම නිසා ශ්වාසනාලය පටු වෙයි. තවද මුඛයේ සහ උගුරේ මාංශ පේශීවල තානය හීන වේ. එකී පේශී නින්දේ දී තවත් ලිහිල් වෙයි. වා මග හිරවීමට පටන් ගැනීමෙන් පෙනහළුවලට වාතය ගැලීම අවහිර වෙයි. දරුණු ඇප්නියා තත්ත්වයක් ඇති සමහරුන් එක් රැුයකදී විනාඩියක හෝ දෙකක කාලයක් තුළ 600 වාරයක් පමණ හුස්ම ගැනීම සම්පූර්ණයෙන් නතර කරති. මෙහිදී ඇතිවන ඔක්සිජන් අහිමිවීමේ  හේතුවෙන් හෘදය වස්තුවට වැඩියෙන් ක‍්‍රියාකිරීමට බල කෙරේ. තවද එමගින් ඇඞ්රිනලින් (අධිවෘක්ක ග‍්‍රන්ථි වලින් ස‍්‍රාවය වන හෝමෝනයක්) වරින්වර ක්ෂණිකව ඉහළ යන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස රුධිර පීඩනය ද එකවර ඉහළ නංවයි. මෙයට අමතරව ඔක්සිජන් මට්ටම උස් පහත් වීමේ හේතුවෙන් පෙනහළු හා අනෙකුත් අවයව වල ෙසෙල හා පටක හානි ඇතිවේ. අඩුවෙන් විමර්ශණයට ලක්ව ඇති මේ අසනීප තත්ත්වය ඇමරිකානුවන් මිලියන 25 කට බලපාන්නේය යයි ගණන් බලා ඇත. එය අධික රුධිර පීඩනයට, හෘදයාබාධවලට, දියවැඩියාවට, විෂාදයට (depression ) හා පැහැදිලිව සිතීම කෙරෙහි ද බලපායි. මෙම තත්ත්වය නොමැති අය හා සසඳන විට සමස්තයක් වශයෙන් ගත් කල සියළුම හේතු මාර්ගයෙන් මරණය ළඟාවීමේ අවදානම උග‍්‍ර නිද්‍රා ඇප්නියාවෙන් පෙළෙන්නන්ට තෙගුණයකින් වැඩි ය.

ප‍්‍රතිනිර්මිත උගුර ශෛල්‍යකර්මයකට භාජනයකිරීම ඇතුළු ප‍්‍රධාන පෙළේ වෛද්‍ය මැදිහත්වීම් වලින් මෙයට සහනයක් සැලසීම බොහෝ විට අසාර්ථක වී ඇත. තරබාරුව අඩුකිරීම වැනි ජීවන රටාවේ වෙනස්කම් කර බැලීමට ද වෛද්‍යවරු උපදෙස් දෙති.  පිළියමක් වශයෙන් නාසය හා මුඛය හරහා පැළඳිය හැකි උපකරණ පහසුවෙන් ලබා ගත හැකි වුවත් බොහෝ රෝගීහූ එවැනි දෑ පැළඳ නින්දට යාමට අකමැති වෙති. අඛණ්ඩ ධනාත්මක වා(සුළං) මං පීඩනය හෙවත් continuous  positive  airway  pressure  මෙවලම් මගින් ලබාදෙන පිළියමේ දී ඇඳ අසල ඇති පෙට්ටියකින් දිගටම පීඩනයට ලක් කළ වායුව සැපයේ. 1980 ගණන් වල දී හඳුන්වා දුන්   අඛණ්ඩ ධනාත්මක වා(සුළං) මං පීඩනය පිළියම නිද්‍රා ඇප්නියා ලක්ෂණ වලට ස්ථිරවම පිළියම් ලබා දෙයි. මෙම ක‍්‍රමයෙහි  වටිනාකම වටහාගෙන ඇති පීට්ස්බර්ග් සරසවියේ වෛද්‍ය මධ්‍යස්ථානයේ නිද්‍රා රෝග විශේෂඥයෙකු වන පැටි‍්‍රක් ජේ. ස්ටෙ‍්‍රලෝ වෙනත් විකල්පයක් ගැන අවධානයෙන් සිටින්නෙකි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහුගේ ප‍්‍රධානත්වයෙන් වසරක් පුරා පර්යේෂක කණ්ඩායමක් අධ්‍යයනයකට යොදාගෙන ඊට මධ්‍යස්ථ ප‍්‍රමාණයකට හා දරුණු ලෙස අවරෝධක ඇප්නියාවෙන් පෙළෙන 126 කු සහභාගී කරවා ගැනිණ. ඔවුන් විසින් වැඩි දියුණු කරනු ලැබ ඇති තාක්ෂණය හඳුන්වන්නේ ඉහළ ශ්වාසනාල විද්‍යුත් උත්තේජකය යනුවෙනි (Upper-airway electronic stimulation ). මෙහි දී විද්‍යුත් සංවේදකයක් පුද්ගලයාගේ සිරුරේ පපුව තුළට ඇතුල් කොට සවි කෙරේ. මෙම සංවේදකය පුද්ගලයාගේ හුස්ම ගැනීමේ රටාවේ සුළු වෙනස්කම් පවා හඳුනා ගනී. එම වෙනස්කම්වලින් පුරෝකතනය වන්නේ ශ්වාසනාලය අවහිරවෙන්නට යන බවයි. එවිට උපකරණයේ කොටසකින් පුද්ගලයාගේ බෙල්ල හරහා ගමන් කරන වයරයක් දිගේ විදුලිය කම්පනයක් නිකුත් කෙරේ. ඔහුගේ දිව පාලනය වන පේශියෙහි ස්නායුව උත්තේජනය වී දිව තල්ලූ කර ශ්වාසනාලයට නිසි සේ වාතය ඒම සහතික කරයි. අපේ ගෝරමුත්තා ඇල්. පියර්ස්ට සැලකිය යුතු සහනයක් ලබා දීමට මෙම තාක්ෂණය උපකාරී වී තිබේ. පුද්ගලයෙකුගේ නිද්‍රා ඇප්නියා සිද්ධි සංඛ්‍යා මධ්‍යස්ථය (median) පැයකට 29.3 කි. එය සියයට 68 කින් අඩු කිරීමට නව තාක්ෂණයට හැකිය. එය තවත් වැඩි දියුණු කිරීමට පර්යේෂකයෝ තවදුරටත් වෙහෙසෙති. ඒ අතරවාරයේ ගෝරමුත්තා පියර්ස් නින්දේ දී මෙන්ම අවදියෙන් සිටිද්දී ද දැන් පසුවන්නේ සතුටෙනි.

Scientific American (June 2015)හි  The Not So Silent Epidemic ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: