විදු නැන නුවණ – Science Literacy for All

CO2 විමෝචන හේතුවෙන් ඊළඟ අයිස් සමය කල් ප්‍රමාද වෙයිද?

අවසාන අයිස් සමය (last Ice Age) මෙයට වසර 11,500කට පමණ පෙර නිමා වූ අතර ඊළඟ  අයිස් සමය ඇරඹිය යුත්තේ කවර කාලයකද යන්න එතරම්ම පැහැදිලි නැත. එහෙත් පෘථිවියේ කක්ෂගත භ්‍රමණය ගැන හා වෙනත් කාරණා ගැන දත්ත යොදා ගනිමින් විද්‍යාඥයෝ උණුසුම් අන්තර් ග්ලැසියර සමය සෙවූ අතර දැන් ගෙවෙන්නේ එම අන්තර් ග්ලැසියර සමය විය හැකි යයි පවසති. මීළඟ අයිස් සමය වසර 1,500 කින් ආරම්භ වීමට නියමිතව ඇතත් කාබන්ඩයොක්සයිඩ් CO2 විමෝචනය කොපමණ නම් ඉහළ ද කියතහොත් දැන් එය නියමිත කාලවකවානුවේ දී සිදු නොවේ යයි ගණන් බලා ඇත. ‘වර්තමාන CO2 මට්ටම් සලකන විට මේ දැන් වහාම එම විමෝචන නතර වුවත් අපට බොහෝ  විට දීර්ඝ අන්තර් ග්ලැසියර් සමයක් ගෙවීමට සිදුවනු ඇත.’ යයි කේම්බ්‍රිජ් සරසවියේ ලූක් ස්කිනර් පවසයි. ආචාර්ය ස්කිනර්ගේ විද්‍යාඥ‍යන් කණ්ඩායමට ලන්ඩනයේ විශ්වවිද්‍යාල කොලීජිය, ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලය හා නෝර්වේ හි බර්ජන් සරසවියේ විද්‍යාඥයෝ අයත් වෙති. ග්ලැසියරකරණය ආරම්භවීමට පෙරාතුව වායුගෝලයේ CO2 සාන්ද්‍රණය මිලියනයකට කොටස් (ppm) 240  තරමට වඩා පහත වැටිය යුතු යැයි ඔවුහු ගණන් බලති. මෙහි වර්තමාන මට්ටම  390 ppm ය.

අනෙකුත් පර්යේෂණ කණ්ඩායම් පෙන්වා දෙන අන්දමට, CO2 විමෝචන ක්ෂණිකව නවතා දැමු‍ණත්, CO2 සාන්ද්‍රණය අඩුතරමින් තවත් වසර 1,000ක කාලයක්වත් ඉහළ මට්ටමකින්ම පවතිනු ඇත. ධ්‍රැව අයිස් සැලකිය යුතු මට්මින් දිය කර හැරීමට හා මුහුදු මට්ටම ඉහළ දැමීමට තරම් ප්‍රමාණවත් මට්ටමකින් සාගර තුළ ගබඩා වී ඇති තාපය පවතිනු ඇත.

අයිස් සමයක සිට අන්තර් ග්ලැසියර සමයකටත් යළි අයිස් සමයටත් සංක්‍රමණයවීමට මූලිකවන හේතුව වන්නේ පෘථිවියේ කක්ෂයේ සියුම් වෙනස්කම්ය. මේවා හැඳින්වෙන්නේ සර්බියානු විද්‍යාඥ මිලුටින් මිලන්කොවිච් නමින් නම් කරනු ලැබ ඇති මිලන්කොවිච් චක්‍ර ලෙසයි. මේ බලපෑම ගැන ඔහු විස්තර කළේ මෙයට වසර 100කට පමණ පෙරය. සූර්ය වටා පෘථිවියේ කක්ෂයේ විකේන්ද්‍රණතාව (eccentricity භ්‍රමණ චලිතය අනුව කක්ෂ මාර්ගයට ඇලවීම. පෘථිවියේ විකේන්ද්‍රිතතාව අංශක 23 1/2කි) හා පෘථිවි අක්ෂයේ මන්දාගමී භ්‍රමණය ද පෙර කී සියුම් වෙනස්කම්වලට ඇතුළත් ය. මේ වෙනස්කම් සිදුවන්නේ වසර දස දහස් ගණන්වන කාල පරිමාණ අතරය. සෑම වසර 100,000ක් වැනි කාලයකට වරක් උණුසුම් අන්තර් ග්ලැසියර් සමයක සිට ශීතල අයිස් සමයකටත් නැවතත් ආපසු උණුසුම් සමයකටත් ආදි වශයෙන් එකී සියුම් වෙනස්කම් මගින් පෘථිවියේ දේශගුණය වෙනස් කරන නිශ්චිත ආකාරය අඥාතය(නොදනී).

අයිස් සමයක සිට අන්තර් ග්ලැසියර සමයක් අතර ගෝලීය ‍උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් 10 ක පමණ වෙනසක් ඇති කිරීමට තරම් එකී වෙනස්කම්ම ප්‍රමාණවත් නැත. ආරම්භක කුඩා වෙනස්කම් විවිධ සාධක හේතුකොට ගෙන විස්තාරණය වේ. උණුසුම් වීම පටන් ගැනීමත් සමග වායුගෝලයට CO2 මුදා හැරීම සහ අයිස් යළි හැඩගැසීමේ දී කාබන්ඩයොක්සයිඩ් වායුව CO2 සාගර මගින් අවශෝෂණය කර ගැනීම එම විවිධ සාධකවලට ඇතුළත් ය. තවද, සෑම වසර 400,000කට වරක් බොහෝ සේ සමාන තත්ත්වයන් පැන නැගුණත් සෑම සංක්‍රමණයක්ම ඊට පෙර එකට වඩා වෙනස්වන බව පැහැදිලිය. කක්ෂීය සාධකවල නිශ්චිත සුසංයෝගය එ‍කලෙසම නැවත නැවත සිදු නොවීම ඊට හේතුවයි. අන්තර් ග්ලැසියර කාලජේද එකම දිගක් ගන්නේ නැත්තේ එක චක්‍රයක සිට අනෙක් චක්‍රය දක්වා ඇති වෙනස්කම් හේතුවෙන් යයි කල්පනා කෙරේ. තමන් සිදු කළ පර්යේෂණ අනුව, CO2 සාන්ද්‍රණය ‘ස්වාභාවික’ මට්ටමක පවතින්නේ නම් අන්තර් ග්ලැසියර සමයෙන් සංක්‍රමණයවීම වසර 1,500ක් ඇතුළත ආරම්භ විය යුතු යයි පර්යේෂණ කණ්ඩායම කියා සිටිති. දැනට කරුණු යෙදී තිබෙන අන්දමට එය සිදු නොවන බවයි ඔවුන්ගේ අදහස.

ශීතල අයිස් සමයක සිට උණුසුම් අන්තර් ග්ලැසියර සමයක් දක්වා සංක්‍රමණය ගැන කරුණු අධ්‍යයනය කරමින් සිටින කැනඩාවේ, මොන්ට්‍රියෙල් හි මැක්ගිල් සරසවියේ විශ්‍රාමලත් මහාචාර්ය (වායුගෝලීය හා සාගරික විද්‍යා) ලෝරන්ස් මයිසැක් ද ස්කිනර් ඇතුළු කණ්ඩායමේ පුළුල් නිගමන අනුමත කරයි. ‘සාගරමගින් CO2 අවශෝෂණය කරන්න වසර දහස්, සමහරවිට දස දහස් ගාණක් ගත වෙනවා. ඒ නිසා ස්වාභාවික කාල පරිමාණයේ දී නම් ඊළඟ ග්ලැසියර ‍කරණය සිද්ධ වෙනවා කියලා හිතන්න බැහැ’ යනුවෙන් මහාචාර්ය මයිසැක් කියයි.

ice(2)

කෙසේවෙතත්, මෙම අධ්‍යයන වාර්නාව හරිතාගාර වායු විමෝචනය සීමා කිරීමට එරෙහි කණ්ඩායම් වෙනත් අරමුණු ඇතිව උපුටා දැක්වීමට පටන් ගෙන ඇත. වර්තමානයේ ලොව පවතින දේශගුණය මානවයන්ට වාසිදායක නිසා හරිතාගාර වායු මුදාහැරීම දිගටම පවත්වාගෙන යා යුතුයැයි ඔවුහු පෙන්වා දෙති. නිදසුනක් දක්වතොත් තාරකා විද්‍යාඥයන් වන ශ්‍රීමත් ෆෙඩ් හොයිල් සහ චන්ද්‍ර වික්‍රමසිංහ යන දෙදෙනා විසින් 1999 දී රචිත ලේඛනයකින් කොටසක් එක්සත් රාජධානියේ ‘ගෝලීය උණුසුම් ප්‍රතිපත්ති පදනම'(Global Warming Policy Foundation) උපුටා දක්වන්නේ මෙසේයි: ‘අයිස් සමයන්හි තත්‍ත්වයෙන් ලෝකයේ ආහාර වගා කරන ප්‍රදේශ වගාවට නුසුදුසු තත්‍ත්‍වයට පත් කරනවා. එය වර්තමාන ජනගහනයේ වැඩි කොටසක් නෂ්ට්‍රප්‍රාප්ත කිරීමට අනිවාර්යයෙන්ම මග පාදනවා.’

මේ වගේ ප්‍රතිචාර ඉස්මතු වෙතැයි බලාපොරොත්තු වූ බව ලූක් ස්කිනර් ඇතුළු  කණ්ඩායම කියා සිටිති. ‘මෙය සිත් කාවදින දාර්ශනික සංවාදයකට ප්‍රවේශයක්. එහෙත් ඉන් තර්කයේ හරය මග හැර තිබෙනවා. ශීත දේශගුණයට CO2 එකතු කිරීම වෙනම දෙයක්. ඒත් දැන් අපි කරන්නේ වර්තමාන උෂ්ණාධික දේශගුණය ඒ තරමින් පවත්වාගෙන යනවා පමණක් නොව ඊටත් එහා ගිහින් තව තවත් CO2 වායුගෝලයට එකතු කරමින් ගෝලීය උණුසුම තව තවත් ඉහළ නැංවීමය’යි ස්කිනර් ‍කියයි.

BBC News: Carbon emissions will defer Ice Age ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: