ගුරුත්වාකර්ෂණ අන්තර් ක්‍රියා සහ සංඝට්ටන හේතුවෙන් ග්‍රහක පථයේ බිහිවී ඇති මිලියන ගණන් ග්‍රහකවලින් දහස් ගණනින් අභ්‍යන්තර සෞර ග්‍රහ මණ්ඩලය වෙත යළි යොමු කෙරේ. එසේ ආපසු යොමු කෙරෙන ඒවා අතරින් පෘථිවියේ සිට අනාවරණය කර ගත හැකි ඒවා සියල්ලම පාහේ විෂ්කම්භයන් මීටර් 50කට වැඩිය. පෘථිවියේ කක්‍ෂිය හා හරස්වන කක්‍ෂියන් සහිත ඒවා වර්ගීකරණය කර ඇත්තේ පෘථිවි ආසන්න ග්‍රහක (Near-Earth Asteroids) ලෙසය. ආපසු යොමු කෙරුණු එවැනි ග්‍රහක ඉඳහිට පෘථිවිය මත ගැටෙයි. එවැනි ගැටුම් වැඩි වශයෙන් සිදුවන්නේ දුර සිට අනාවරණය කර ගැනීමට නොහැකි තරමට කුඩා ග්‍රහක මගිනි. මේවායින් බහුතරය බෙහෙවින් කුඩා වන අතර උල්කාවක් (meteor) ලෙස වායුගෝලයේදී දැවී යන්නේ හානියක් සිදු නොකරමිනි.
එසේ වුවද, සමහරක් උල්කාෂ්ම(meteorites) ලෙස පොළව මතට පැමිණිය හැකි තරමට විශාලය, ඝනය. ප්‍රතිසංවේදනය කරනු ලැබූ (යළි සොයා ගනු ලැබූ) සියලු උල්කාශ්ම අතරින් 6%ක් පමණ ඇත්ත වශයෙන්ම වෙස්ටා ග්‍රහකයේ කැබලිය. ඒවා රීසිල්වියා ඝට්ටනයෙන් (2015 ජූලි 15 දා තතු බලන්න) ආපසු යොමු කෙරුණු වෙස්ටා කොටස්ය. මෙම උල්කාෂ්ම වෙස්ටාව හා ගලපන්නේ වර්ණාවලී සමානකම් මගිනි. ඒවා යකඩවලින් හීන වන අතර අවකලිත වෙස්ටාවේ කබොල හා සංගතවෙයි.
වඩාත් විශාල පෘථිවි ආසන්න ග්‍රහක දහස් ගණනක් පෘථිවියේ කක්‍ෂ මඟ හරස්ව ගමන් කරද්දී, අවසානයේ ඉන් එකක් බලගතු මට්ටමේ ගැටුමක් ඇති කිරීමට ඉඩ කඩ ඇත. අද වන විට වඩාත් ම විශාල පෘථිවි ආසන්න ග්‍රහක 9,000ක් අනාවරණය කරගෙන ඒවායේ චලනයන් නිරීක්‍ෂණයට ලක්ව ඇත. ඉතින්, ශුභ ආරංචිය වනුයේ ඒවායින් එකක් වත් මීළඟ අවුරුදු 100 ඇතුළත පෘථිවිය හා ගැටීමේ ඉඩකඩ ඉතාමත්ම හීනය යන්නයි. කෙසේ වෙතත්, පළලින් – මීටර 50ට අඩු පෘථිවි ආසන්න ග්‍රහක මෙතෙක් අනාවරණය කරගෙන නැත.
2012 දී දළ වශයෙන් මීටර 40 ක් පළලැති පෘථිවි ආසන්න ග්‍රහකයන් සොයා ගත් විට දැඩි උනන්දුවක්, ප්‍රබෝධයක් ඇති විය. ඊට නම පට බැදුනේ DA 14 යනුවෙනි. එහි කක්‍ෂිය ගමන් මග අනුව 2013 පෙබරවාරි 15 දා කිලෝමීටර 27,000 පෘථිවිය තුළට පැමිණිය යුතු විය. එවැනි ප්‍රමාණයේ ග්‍රහකයකට එය වාර්තාගත ළංවීමකි. මෙවැන්නක් සිදු වන්නේ සෑම අවුරුදු 40කින් පමණය.
මෙම ග්‍රහකය පෘථිවිය ආසන්නයෙන් ඉගිල යාමට පැය 16ක් පමණක් තිබිය දී සියල්ලන් පුදුමයට පත් කරමින් කිසිසේත් නොසිතූ විරූ දෙයක් රුසියාවේ සිදු විය. DA 14ට සම්බන්ධකමක් නැති, පෘථිවි ආසන්න වඩාත් කුඩා ග්‍රහකයක් ආකාශය හරහා වේගයෙන් ගමන් කර පුපුරා ගියේය. චෙලියබින්ස්ක්හි බොහෝ මෝටර් රිය ඉදිරිපස පුවරු කැමරාවල සිද්ධිය සටහන් විය. පිපිරුමෙහි උච්චම අවස්ථාවෙහි දී මොහොතකට එය සූර්යයාටත් වඩා දීප්තිමත් විය.
චීනයට කිලෝමීටර් 1,000ක් උසින්, නොගැඹුරු කෝණයකින් එම පෘථිවි ආසන්න ග්‍රහකය පෘථිවි වායුගෝලයට ඇතුළු වූයේ තත්ත්පරයට කිලෝමීටර 30ක වේගයකිනි. ඊට විනාඩියකට පමණ පසුව එය චෙලියබින්ස්ක්වලින් කිලෝමිටර 20ක් දකුණින් පුපුරා ගියේය. විනාඩි 3කට පමණ පසුව නගරය පුරා කම්පන රැල්ලක් පැතිර ගියේය. දළ වශයෙන් ජනේල 100,000ක් පමණ සුණු විසුණු විය. 1,500කට වැඩි දෙනෙකුගේ තුවාල ගැන සොයා බලන්නට සිදු විය.
අපමණ සංඛ්‍යාවක් තුවාල සිදුවීමට හේතු වූ මානව ඉතිහාසයේ වාර්තාගත ප්‍රථම උල්කාව එයයි. TNT (ටීඑන්ටී) කිලෝටොන් 440කට සමාන වූ පිපිරුම් ශක්තියකින් හෙබි එය හිරෝෂිමාවට හෙළනු ලැබූ පරමාණු බෝම්බයට මෙන් 30 ගුණයක් බලවත්විය. නගරයට ආසන්නයේ පහළ උන්නතාංශකයක පිපිරුම සිදු වූයේ නම් ප්‍රතිඵල භයානක වන්නට තිබිණ.
උල්කාශ්මයේ ප්‍රමාණය ගත්තොත් නම් හරහට මීටර 17 ක් තරම් විය. පැය කිහිපයකට පසුව පෘථිවිය ආසන්නයෙන් ඉගිලි ගිය 2012 DA 14 ග්‍රහකය සමග සසඳන විට එය තරමක් කුඩාය. එවැනි මීටර 17 ප්‍රමාණයේ වස්තූන් දළ වශයෙන් සෑම වසර 100කට වතාවක් පොළවට කඩා වැටේ.

මෙයට වසර බිලියන 4.6කට පෙර පෘථිවිය සෑදීමට මුල් වූ ග්‍රහපිණ්ඩයේ ඉතිරි කොටස් තවමත් අපේ ග්‍රහයා හා ගැටෙතැයි සිතීමද පුදුම එළවන සුළුය. ඩෝන් විපරම මගින් හෙළි දරව් කරනු ලැබූ පරිදි අභ්‍යන්තර ග්‍රහයන් සෑදිමට එකට එක් වූ අවකලිත ග්‍රහපිණ්ඩ අතුරෙන් දැනට ඉතිරිව ඇත්තේ වෙස්ටා පමණක් බව පෙනී යයි. වෙස්ටාව සහ එහි කැබැලි බවට සුන් බුන් වී ගිය ග්‍රහක පථයේ අනෙකුත් සහෝදර ග්‍රහක, පසුව ග්‍රහයෙකු ලෙස සෑදීම වළක්වනු ලැබුවේ බ්‍රහස්පතිගේ ගුරුත්වයයි. ඒ වෙනුවට ඒවා පෘථිවිය හා ගැටෙන වස්තුන්ගෙන් සමන්විත මූලයක් ලෙස දිගටම පවතී. ඒවා පෘථිවි ග්‍රහයා හැඩ ගැස්වීමට තරම් තවදුරටත් විශාලත්වයක් හෝ නිරන්තර බවක් නැත. එහෙත්, ග්‍රහයා මතුපිට ජීව ස්වරූපය පරිණාමය කෙරෙහි බලපෑමක් ඇති කිරීමට තරම් සත්තකින්ම ප්‍රමාණවත්ය.
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්