පරිණාමය ඔප්පු කරනු වස් ෆොසිල මගින් වැදගත් සාක්ෂි සැපයේ. එයට හේතුව, මේ මිහිතලය මතින් බොහෝ කලකට පෙර අතුරුදන් වූ සත්වයන්ගේ කැපී පෙනෙන ස්වරූප ඒවායින් බොහෝ විට අනාවරණය වීමයි. ඒවායින් සමහරක් පරිණාමය ක්‍රියාත්මක වන ආකාරය පවා වාර්තා කරයි. ඒ සත්වයින් එක් පරිසරයක සිට තවත් පරිසරයකට සංක්‍රමණය වන ආකාරය සටහන් කිරීමෙනි.
නිදසුනකට අපි තල්මසුන් ගමු. ඔවුහු ජලය තුළ ගෙවන ජීවිතයකට ඉතා හොඳින් හැඩ ගැසී සිටිති. එමෙන්ම, වසර බිලියන ගණනක් තිස්සේ එලෙස හැඩ ගැසී සිටියහ. එහෙත් ඔවුන්, ගොඩබිමෙහි ජීවත්වන මිනිස් අප මෙන්ම ක්ෂීරපායි සතුන්ය. ඔවුහු වාතය ආශ්වාස කරන අතර පැටවුන් බිහිකරති.
එහෙත්, ක්ෂීරපායින් මුලින්ම පරිණාමය වූයේ ගොඩ බිමෙහිදී බවට මනාකොට සාක්ෂි තිබේ. එය එසේ නම්, තල්මසුන්ගේ පූර්වජයන් එක්තරා අවස්ථාවකදී ගොඩබිමෙහි සිට ජලයට සේන්දු වන්ට ඇත.
දැනට කරුණු ඒළිදරව් වී ඇති ආකාරයට, තල්මසුන්ගේ පරිණාමයේ මුල් වසර මිලියන දහයක පමණ කාලයකට අයත් ෆොසිල බොහොමයක් අපට ලැබී ඇත. මේ ෆොසිල අතර Ambulocetus හා Pakicetus වැනි ජලජ සතුන්ගේ ෆොසිල කිහිපයක්ම වෙයි. මේ සතුන් සතුව වර්තමානයේ තල්මසුන්ගේ පමණක් දැකිය හැකි ගති ලක්ෂණ ඇත. විශේෂයෙන්ම ඔවුන්ගේ කර්ණ ව්‍යවච්ඡේදය තුළ මෙය වඩා ප්රකටව පෙනේ. එහෙත් පැහැදිලිව ඔවුන් පරිණාමය වූ ගොඩබිම වසන ක්ෂිරපායි සතුන්ගේ සමාන ගාත්රා ඔවුන්ට ඇත. තාක්ෂණිකව ගතහොත් මේ දෙමුහුන් සතුන් එවකටත් තල්මසුන් බවට පත්වී අවසන්ය. අඩුවකට තිබුණේ කතාවේ ආරම්භය නොමැතිවීමයි. එනම්, තල්මසුන් අවසානයේ පරිණාමය වූයේ ගොඩබිම වසන කුමන සතුන්ගෙන්ද යන්නයි.
2007 පළවු අධ්‍යයන වාර්තාවක් මගින් මොවුන් නිශ්චිතවම දක්වා ඇත. raoellids යනුවෙන් නම් කෙරෙන මොවුන් දැන් පෘථිවියෙන් වඳ වී ගොසින්ය. ඔවුන් කුඩා බල්ලන් මෙන් පෙනෙන්නට ඇතද වඩාත් සමීපව නෑකම් කීවේ සමාන පා ඇඟිලි ඇති සඛුරයන්ටය. (ungulate කුර සහිත සතා) අද දිනයේ මිහිතලය මත දැකිය හැකි ගවයන්, බැටළුවන්, මුවන්, ඌරන් සහ හිපපොටේමස් ද අයත් වන්නේ එකී කණ්ඩායමටයි. අණුක සාක්ෂිවලින් හැඟීයන්නේ තල්මසුන් සහ සමාන පා ඇඟිලි ඇති සඛුරයන් අතර ගැඹුරට දිවෙන පරිණාමීය සම්බන්ධතාවක් ඇති බවයි.
ඊසාන දිග ඹහියෝ සරසවියේ වෛද්‍ය හා ඖෂධාල පාසල්වල හෑන්ස් තෙවිසන් හා කණ්ඩායම සිදු කළ විස්තරාත්මක අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ raoellid විශේෂයක් වන Indohyus තල්මසුන්ට සමාන බවයි. එහෙත්, කර්ණ හා දන්ත ව්‍යුහය, අස්ථිවල ඝනකම මෙන්ම දත්වල රසායනික සංයුතිය සලකද්දී අනෙකුත් සමාන පාද ඇඟිලි සබුරයන්ට වඩා වෙනස් බව අධ්‍යයන වාර්තාවේ දැක්වේ. මෙකී දර්ශක පෙන්නුම් කරන්නේ රැකුනයකුගේ ප්‍රමාණයේ මේ සතා සිය ජීවිතයේ වැඩි කාලයක් ජලයෙහි විසූ බවයි. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් raoellid විශේෂයන්ගේ ආහාරය තල්මසුන්ගේ ආහාරවලට කිසිසේත් සමාන නොවේ. ඉන් ගම්‍යවන්නේ ජලයෙහි ජීවත්වීමට යාම පිණිස ගත් තීන්දුව ආහාර රටාවෙහි වෙනසකින් මුල පිරෙන්නට ඇත යන්නයි.
සංක්‍රමණික විභවයක් ඇති ජීව ස්වරූප ෆොසිල වාර්තා තුළ පවතින බව මෙම අධ්‍යයනයන් ප්‍රදර්ශනය කෙරේ. නිදසුන් තව බොහොමයක් ඉස්මත්තට ගෙන ඒමට හැකිව තිබූ අතර තවත් බොහොමයක් විශේෂයෙන්ම, ෆොසිල වාර්තා තුළ හොඳින් නියෝජනය වන කණ්ඩායම් සොයා ගැනීමට හැකියාවක් ඇතැයි විශ්වාස කිරීමට කරුණු කාරණා පවතී.
Nature සගරාව අනුග්‍රහයෙන් පළවන 15 EVOLUTIONARY GEMS හි Land-living ancestors of whales ලිපිය ඇසුරෙනි