පියවි ඇසින් බලන විට, අහස් කුසේ අනෙකුත් එළිවලට වඩා සෙනසුරු වෙනසක් ඇති බවක් පෙනෙන්නේ නැත. හැබැයි, එහෙම කීවාට සෙනසුරු ග්‍රහයා අනෙකුත් බොහොමයකට වඩා දීප්තිමත්ව අහසේ දිස්වෙන අතර තාරකා තරම් දිදුලන්නේ නැත. කෙසේ වෙතත් කුඩා ටෙලස්කෝපයකින් බලන කල අපට සෙනසුරු දිස්වන්නේ දීප්තිමත් වළලුවලින් වට වූ ග්‍රහයෙකු ලෙසටය. ඇත්තටම, මේ වළලු මොනවාද? ඒවා සෙනසුරු වෙත පැමිණියේ කොයිබින්ද? කොපමණ කලක් සිට ඒවා පවතින්නේද? මේ ආදී ප්‍රශ්නවලට වඩා හොඳින් පිළිතුරු දිය හැකි වන අන්දමට, කැසිනි අභ්‍යාවකාශ විපරම කක්‍ෂගතව සෙනසුරුගේ වළලු හා චන්ද්‍රයන් පිළිබඳව විස්තරාත්මක අධ්‍යයනයක් 2004 වසරේ දී ඇරඹීය. සෙනසුරු ග්‍රහයා හා සූර්යයාට අදාළව විවිධාකාර කක්‍ෂීය පර්යාලෝකයන් මගින් ආලෝකයේදී හා අඳුරේදී සෙනසුරුගේ වළලුවල ආකර්ෂණී අනුරූප කැසිනි විපරුමෙන් ලබාගෙන ඇත.
සෙනසුරු ග්‍රහයා පිළිබඳ මූලික කරුණු
සෙනසුරු පිහිටා ඇත්තේ සූර්යයාගේ සිට පෘථිවිය අතර ඇති දුරමෙන් දශගුණයක් පමණ සූර්යයාගෙන් ඈතිනි. එහි ප්‍රතිඵලයක් ලෙස සූර්යයාගේ දීප්තිය පෘථිවිය ආසන්නයේදී තිබෙනවා මෙන් සෙනසුරු ආසන්නයේ ඇත්තේ සියයට 1ක් පමණකි. ග්‍රහයන් අතුරෙන් ගත් කළ සෙනසුරු අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ දෙවැනියට විශාලතම ග්‍රහයයි. (විශාලතම බ්‍රහස්පතිය) පෘථිවියේ අරය මෙන් දශගුණයකට ආසන්න අරයක් ඇති සෙනසුරු හා සසඳන විට පෘථිවි ග්‍රහයා වාමනයෙකි.
බ්‍රහස්පති මෙන්ම සෙනසුරු ද වායු යෝධයෙකි. එය සෑදී ඇත්තේ වැඩි කොටම හයිඩ්‍රජන්වලිනි. එහි වායුමය පිටත ස්තරය කිලෝමීටර 1,000ක් ගැඹුරුය. කුඩා පාෂාණමය හරයක් වට කර ගත් ද්‍රව (ලෝහමය හයිඩ්‍රජන්) අභ්‍යන්තරයකින් එය සමන්විත වේ. සමස්ථයක් ලෙස ගත් කළ සෞර ග්‍රහ මණ්ඩලයෙන් වඩාත් ම අඩු ඝනත්වයක් ඇති ග්‍රහයා සෙනසුරුය. සෙනසුරු බහාලීමට තරම් ප‍්‍රමාණවත්, සුවිශාල බේසමක් සොයා ගැනීමට හැකි නම් ඇත්ත වශයෙන්ම සෙනසුරු එහි පාවෙනු ඇත. මෙහිදී වැදගත් වන ප්‍රධානතම කරුණ වන්නේ අඩු ඝනත්වයක් ඇති සෙනසුරු මත ‘ගොඩබැසීමක්’ නැත යන්නයි.
සෙනසුරු වටා ඇති වළලු සැලකිල්ලට ගන්නාවිට එම ග්‍රහයාගේ ප්‍රමාණය තවත් වැඩි වී පෙනේ. වළලු අතරින් වඩාත් පිටතින්ම පිහිටා ඇති දීප්තිමත් වළල් ලෙහි විෂ්කම්භය පෘථිවිය හා චන්ද්‍රයා අතර දුරින් 70%ක් පමණ වේ. චන්ද්‍රයන් 60කට වැඩා සංඛ්‍යාවක් සෙනසුරු වටා කක්ෂගතව ගමන් කරයි. මේ චන්ද්‍රයන් ප්‍රමාණයෙන් කිලෝමීටර කිහිපයක සිට කිලෝමීටර 5,000ක් අතර වෙයි. විශාලතම චන්ද්‍රයන් 5 දෙනා (ඒ සියල්ලෙම විෂ්කම්භය කිලෝමීටර 200 කට වැඩියි) කක්ෂගත ව ඇත්තේ දීප්තිමත් වළලුවලට ඔබ්බෙනි. වළලු ගතහොත්, ධූලි ප්‍රමාණයේ සිට පර්වත ප්‍රමාණයේ ජල අයිස් කුට්ටිවලින් ඒවා සමන්විත වේ.
සෙනසුරු වටා වළලු පිහිටා ඇත්තේ මන්ද? එමෙන්ම සෙනසුරු ආසන්නයේ විශාල චන්ද්‍රයන් පිහිටා ඇත්තේ ඇයි? රෝච් සීමාවේදී (රෝච් සීමාව ගැන පහත ඇති තතු සටහන බලන්න)*. ග්‍රහයාගේ උදම් බලපෑම්වලට චන්ද්‍රයෙකු කඩා බිඳ දැමිය හැකිය. සෙනසුරු වටා කක්ෂ ගතව ඇති චන්ද්‍රයෙකුට මෙම සීමාව සෙනසුරුගේ අරය මෙන් 2.4 ගුණයකි. සෙනසුරුගේ ප්‍රධාන වළලු සියල්ලම පිහිටා ඇත්තේ එහි රෝච් අරය ඇතුළතය.
අයිස් චන්ද්‍රයෙකු සෙනසුරු වෙත ළඟා වෙන ජවනිකාව සිතට නගා ගන්න. එය රෝච් සීමාවට ආසන්න වෙද්දී එය උදම් බලපෑමෙන් දිග ඇදෙයි. රෝච් සීමාවේදී එය ගුරුත්වාකර්ෂණ බිඳුම් අවස්ථාව ඉක්මවා දිග ඇදෙයි. කඩා බිඳෙන කොටස් සෙනසුරු ග්‍රහයාගේ වළලුවල ඛණ්ඩිකාවලට එක්වෙයි.
වළලු සෑදීම පිටුපස ඇති සංකල්පය වන්නේ කැඩී බිඳෙන කොටස්වල විවිධ වේග, වළලුවලට මග පාදන බවයි. ඝට්ටන හැප්පීම් මෙන්ම රෝච් උදම් බල හේතුවෙන් චන්ද්‍රයන් යළි සෑදීම වළකයි. ඉතින් සෙනසුරුගේ වළලු සෑදෙන්නේ මේ ආකාරයටද? අයිස් චන්ද්‍රයෙකු වුවමනාවනට වඩා ග්‍රහයට ළං වීමෙන් ද? එසේ නම් එය සිදු වූයේ කොයි කාලයකට පෙරද? එකී චන්ද්‍රයා කොපමණ විශාලත්වයකින් යුක්ත වී ද? එසේ නොමැතිව විකල්ප වශයෙන් ගතහොත් සෙනසුරු වළලු සෙනසුරු සැදුණු කාලය තරමට පැරණිද? මේ ආකාර ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට නම් අභ්‍යාවකාශයේ සිට සමීපව වළලු පරික්‍ෂා කළ යුතු වේ.
පෘථිවියේ සිට පෙනෙන දර්ශනය පර්යාලෝකය මගින් සීමා කෙරේ. වර්ෂ ගෙවී යද්දී, වළලුවල ඇදය සෙමින් වෙනස් වේ. කොනක සිට බලන විට පෙන්නුම් කරන්නේ වළලු බොහෝ සේ තුනී බවයි. මෙකී කෝණික දර්ශනය සෑම අවුරුදු 15කට වතාවක් පෘථිවියේ සිට නැරඹිය හැකිය. මෙයට මග පාදන්නේ සෙනසුරුගේ අංශක 27 ක ඇදය සහ සූර්යයා වටා කක්ෂයයි.
*තතු සටහන : රෝච් සීමාව
ප්‍රංශ ජාතික රෝච් එඩුවාච් නම් තාරකා විද්‍යාඥයා විසින් ගොඩ නගන ලද මේ මතවාදයෙන් කියැවෙන්නේ මව් ග්‍රහයන්ගේ අර්ධ විෂ්කම්භයෙන් 2.44 වාරයක් එසේත් නැතිනම් පෘෂ්ඨයේ සිට 1.44 වාරයක් දුරින් පමණක් බල පවත්වන දුරක පිහිටි ඝන වස්තුවක් මව් ග්‍රහයාගේ ගුරුත්වය බලය විසින් සිඳ බිඳ දමන අතර ඒ කැබලිවලින් මව් ග්‍රහයා වටා වළල්ලක් සෑදෙන බවයි.
Visual Guide to the Universe (by Professor David M. Meyer) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්