සැමට විදු නැන නුවණ – Science Literacy for All

මොළය සහ ප්‍රතිශක්ති පද්ධතිය අතර වැදගත් පුරුකක්

 

ආදි කාලීන ඊජිප්තු ජාතිකයෝ මිය ගිය අයගේ මමී සකසන විට නාස් පුඩු අතරින් මොළය සූරා එළියට ගෙන විසි කර දැමුහ. හැබැයි, ඔවුහු අනෙකුත් අවයව හොඳින් සංරක්ෂණය වන පරිදි මමිය සකස් කළහ. මොළය, සෙසු ශරිරයෙන් වෙන් කොට සැලකුවා පමණක් නොව එය මෙළොව හෝ එළොව ජීවිතයට අනවශ්‍ය දෙයක් ලෙස සැලකූ විලසකි. කෙසේ වෙතත්, අපේ කපාලයෙහි එකට පැටලී පවතින නියුරෝන (ව්‍යුහයක් සහිත ස්නායු සෛල) රාත්තල් තුනක පොදිය වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව අවසානයේ විද්‍යාඥයෝ සොයා ගත්හ. එසේ වුවද, අද පවා මොළය ගැන සිතන්නේ සෙසු ශරීරයෙන් හුදකලා වූ අංගයක් ලෙසටය. ඔව්, සුවිශේෂී ජෛවී විද්‍යාවක් සහ සුවිශේෂී ව්‍යාධිවේදයක් උපයෝගී කර ගනිමින් තිරය පිටුපස සිට අපේ ශරීර හා සිත හසුරුවන ස්නායු – ජෛව විද්‍යාත්මක මායාකාරයෙකු ලෙසටය.

බොහෝ විට ශරීරය හා මොළය අතර බෙදීම පොදුවේ දක්වන්නේ ප්‍රතිශක්ති පද්ධතිය සම්බන්ධයෙනි. ආගන්තුක බැක්ටීරියාවකට, වයිරසයකට, අර්බුදයකට හා බද්ධ කළ පටකයකට අනාවරණය වූ විට, ශරීරය ප්‍රතිශක්ති ක්‍රියා ගොන්නක් ඉස්මත්තට ගනියි: ශ්වේතානු ආක්‍රමණික ව්‍යාධිකාරක ගිල දමයි. එමෙන්ම බෙලහීන සෛල පුපුරා දමයි. ප්‍රතිදේහ මගින්, විනාශ කරනු පිණිස පිටස්තරයන් සළකුණු කරනු ලබයි. එහෙත් මේ සියල්ල ඉටුකෙරෙන්නේ ශරීරයේ සෙසු කොටස්වලට අදාළව මිස මොළයට සම්බන්ධව නොවේ. ආරක්ෂක සෛලවල කෝපත් ප්‍රහාරයකට මොළය ඔරොත්තු නොදෙතැයි අදහස් කෙරුණු අතර එය මෙම ප්‍රතිශක්ති ප්‍රහාරයෙන් ආරක්ෂා කරනු ලැබ ඇතැයි සැලකිණ. කෙසේ වෙතත්, මේ ජූලි මස පළ කෙරුණු පර්යේෂණ වාර්තාවක් පෙන්නුම් කරන්නේ මෙයට කලින් දැන නොසිටි සංනිවේදන මගක් මොළය හා ප්‍රතිශක්ති පද්ධතිය අතර පවතින බවයි. එන්ට එන්ටම වර්ධනය වන පර්යේෂණ ගොන්නකින්ද කියැවෙන්නේ කලින් නොසිතූ අන්දමින් මොළය හා සිරු‍ර අතර සම්බන්ධතාවන් තිබෙන බවයි. මොළයේ ආබාධ හඳුනා ගැනීමට මෙන්ම ඒවාට ප්‍රතිකාර කිරීමට නව පර්යේෂණ මගින් වැදගත් මෙහෙයක් ඉටු වෙතැයි අපේක්ෂිතයි.

ප්‍රතිශක්ති විද්‍යානුකූලව සැලකෙන විට මොළය වෙනස් බව විද්‍යාඥයන් හඳුනා ගන්නේ 1921 තරම් ඈත සමයක දී ය. ශරිරයේ බොහෝ කොටස්වලට පිටස්තර පටක බද්ධ කළ විට බොහෝ විට ප්‍රතිඵලය වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් එල්ල වන ප්‍රහාරයකි. අනෙක් අතට මධ්‍යම ස්නායු පද්ධතියට සිදුකෙරෙන පටක බද්ධ කිරීමකට එල්ලවන්නේ එතරම් දරුණු ප්‍රතිචාරයක් නොවේ. මේ තත්වයට ස්තුතිය හිමිවිය යුත්තේ මොළය හා රුධිරය අතර බාධකයයි. එනම්, මොළයේ වාහිනී මත ඇතිරූ ලිහිල් නැතුව එකට අඩුක්කු කළ සෛලයි. පෝෂක ඇතුළට ඒමට මෙම මොළ වාහිනී ඉඩ ලබා දුන්නත් බොහෝ අවස්ථාවල බැක්ටිරියා වෛරස වැනි නුවමනා ආක්‍රමණිකයන් ඇතුළුවීමට ඉඩ නොදෙයි. මොළය ප්‍රතිශක්ති විද්‍යානුකූලව වරප්‍රසාද ලබා අැතැයි  බොහෝ කාලයක් සිටම සැලකේ. ඉන් අදහස් කෙරෙන්නේ, පිටස්තර ව්‍යාධි ජනකයන් හා පටක ප්‍රවේශවීම මොළයට විඳ දරා ගත හැකිය යන්නයි. මධ්‍යම ස්නායු පද්ධතිය සැලකුණේ පර්යන්ත ප්‍රතිශක්ති පද්ධතියෙන් වෙන් වූ තමන්ගේම ආක්‍රමණශීලී බව අඩු ප්‍රතිශක්ති ආරක්ෂාවන් ක්‍රියාවට නැංවීමට හැකියාව සහිතව පවතින්නක් යනුවෙනි.

මොළයට ලැබී අැති වරප්‍රසාදිත තත්ත්වයට එහි වසා අපවහනය නොමැතිකමද හේතු වන්නේ යැයි සැලකේ. වසා පද්ධතිය යනු අපගේ ශරීරයේ තුන්වැනි එමෙන්ම ඉතාමත් අඩුවෙන් සැලකිල්ලට ලක්වන වාහිනී සමූහයක් වේ. අනෙකුත් වාහිනී දෙක වනුයේ ධමනී සහ ශිරාය. වසා වාහිනී අන්තර් සෛලීය තරල ආපසු රුධිර ධාරාවට යවයි. කාල වාරික වශයෙන් වාහිනී පද්ධති ඔස්සේ රඳවා ‍තබනු ලබන වසා ගැටිති, ප්‍රතිශක්ති සෛල සඳහා ගබඩා සපයයි. සිරුරේ බොහෝ කොටස්වල, අපේ වසා ගැටිති තුළ සුදු රුධිර සෛලවට ප්‍රතිදේහ ඉදිරි පත් කෙරෙන්නේ ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් ඇති කරමිනි. (ප්‍රතිදේහ යනු තර්ජනයන් එල්ල වන විට අපේ ප්‍රතිශක්ති පද්ධතියට අනතුරු හැඟවීම් සපයන ව්‍යාධිජනකවල හෝ බාහිර පටකවල ඇති අණුය.) මොළයෙහි වසාවාහී  ජාලයක් නොමැත යන කාරණාව සැලකිල්ලට ගනිමින් එකී ප්‍රතිචාරය මොළයෙහි ඇති නොවේයයි උපකල්පනය කෙරිණ. ප්‍රතිශක්ති පද්ධතිය සමග මොළය ප්‍රතිචාර දක්වන්නේ කෙලෙසද යන්න තේරුම් ගැනීමේදී නව සොයා ගැනීම පවතින දැඩි මතවලින් වෙනස්වීමක් ලෙස සැලකෙන්නේ එහෙයිනි.

 

immune-systemමේ නව සොයා ගැනීම සිදු කරන ලද්දේ වර්ජිනියා සරසවියේ ස්නායු වෛද්‍ය මහාචාර්ය, වත්මන් අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක මහාචාර්ය වෛද්‍ය ජොනතන් කිප්නිස් සහ කණ්ඩායම විසිනි. මෙනින්ජිවල (meninges) මෙයට කලින් හඳුනා ගෙන නොතිබූ වසා වාහිනී ජාලයක් සොයා ගැනීමට ඔවුහු සමත්ව සිටිති. (මෙනින්ජි වරාශිකාව, ජලාකාර, චිනාශුකාව යන මොළය හා සුෂුම්නාව ආවරණය කරන පටල තුන) අධි ශ්‍රෛවී වසා ගැටිති නම් බෙල්ලෙහි වසා ගැටිති කණ්ඩයකට මස්තිෂ්ක – සුසුම්ණා තරලයෙන් මස්තිෂ්ක – සුෂුම්ණා තරල හා ප්‍රතිශත්ති සෛල එහා මෙහා ගෙන යන ප්‍රතිශක්ති පද්ධතිය ස්නාසවේද (neurological) හා මනෝ චිකිත්සක (psychiatric) රෝගවලට දායකවන්නේ කෙසේද යන විවිධාකාර ව්‍යාධිභෞතිකවේදී තුන් තේරවිලිවලි ගණනාවක් පැහැදිලි කිරිමට අලුතෙන් සොයාගත් වාහිනීවලට හැකිවනු ඇත. ‘මේ ගැන මත පළ කිරීමට ‍තවම කල්මදියි.’ මහාචාර්ය කිප්නිස් පවසයි. මේ වාහිනිවල බලපෑමක් ඇති ලෙඩ රෝග අතර බහු ආංගික ජාරඨ්‍යය(multiple sclerosis ශරීරයේ පටක අසාමාන්‍ය ලෙස ඝනවීම) ස්වේච්චතාව (autism බාහිර ලෝකය හා එක්වීමේ හැකියාව හීන කරන මානසික තත්ත්‍වයක්) ඇල්ට්ස්හඉමස් රෝගයද (Alzheimer’s disease වියපත් වූ විට මොළයේ ස්නායු ෙසෙලවල දුර්වල වීම) අයත් වේ.

Scientific American හි Important Link between the Brain and Immune System Found ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: