විදු නැන නුවණ – Science Literacy for All

අනාවැකි කියන අලි

ඈත අතීතයේ සිටම අලි ඇතුන්ට ප්‍රසිද්ධියක් උසුළන අපේ මේ රටේ අලි ඇත්තු විවිධ කටයුතු සඳහා යොදවා ගැනෙති. සමහරු පෙරහැරේ යති. අලි ඇත්තු තවත් පිරිසක් කොටන් අදිති. අලුත් අවුරුදු කාලයේ අලි රේස් ගැන ද අසන්නට ලැබේ. එහෙත් අලි ඇතුන් කාල ගුණ විද්‍යාඥයන් ලෙස කටයුතු කරන බව කීවොත් එය පුදුමය ගෙනදෙන පුවතක් විය හැකියි. එහෙත් නැමීබියාවේ විද්‍යාඥයන් පිරිසක් නම් කියා සිටින්නේ ලොවම ජනප්‍රිය මෙම ඝනචර්මිකයන්ට (pachyderm)කාලගුණ අනාවැකි පළ කළ හැකි බවයි.

අප්‍රිකාවේ අලි ඇත්තු ඍතු අනුව දිගු දුරක් සංක්‍රමණය වෙති. එහෙත් මේ සංචලනයන්ට හේතු භූත වන කාරණ ගැන දැනුම සාපේක්ෂව අඩුයි. ඇතුන් නව දෙනෙකුගේ සංචලනයන් නිරීක්‍ෂණය කිරීම පිණිස ගෝලීය ස්ථාන නිර්ණායක පද්ධතිය (GPS වශයෙන් බහුලව දැක්වෙන Global Positioning System) යොදා ගනිමින් ඇමරිකාවේ, වර්ජිනියා සරසවියේ පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුවේ මයිකල් ගාර්ස්ටෑන්ග් හා සගයන් සිදුකළ අධ්‍යයනකින් පසුව ඔවුන් විශ්වාස කරන්නේ අභිරහස විසඳිමට කරුණු කාරණා හෙළි වී ඇති බවයි.

Elephant Climate 1

සෑම වසරකම වියළි ඍතුව අවසන්වීමට දින කිහිපයක් තිබියදී  ඇතුන් සිය පුළුල් සංක්‍රමණය වාර්ෂිකව නොකඩවා සිදුකරන බව වසර හතක කාල ඡේදයක් තුළ කළ අධ්‍යයනයෙන් හෙළිවෙයි. අවස්ථා කීපයකදීම වෙනත් තැන්වල ඇත් රංචු ද මෙවැනිම සංචලනවල යෙදුණු බව නිරීක්ෂණය විය. ඉන් ගම්‍ය වූයේ මෙය අහඹු සිද්ධියක් නොවන බවයි. ඉතින් මින් හැගවෙන්නේ ඇතුන් සංචලනයෙහි යෙදෙන්නේ කිසියම් පාරිසරික සංඥාවකට ප්‍රතිචාර වශයෙන් බවයි. එහෙත් එම සංඥාව කුමක්ද? ඇත්ත වශයෙන්ම වෘක්‍ෂලතාදියෙහි ශාකයෙහි වෙනස් කම් ඇතිවේ. සූර්යා ලෝකයෙහි ප්‍රබලතාව, පසෙහි ආම්ලිකතාව සහ අනෙකුත් සාධක ගණනාවක් අනුව ශාක ආවරණයෙහි හා වර්ගයෙහි වෙනස්කම් දැකිය හැකිය. එහෙත් මෙකී විචල්‍යයන් සංකීර්ණ වන අතර ප්‍රදේශ අතර විශාල වශයෙන් වෙනස්කම් ඇත. එහෙයින් විවිධ ඇතුන් එකවර සංචලනය කරන්නේ  මන්දැයි මෙයින් පැහැදිලි නොකෙරේ. තවද, වැසි පටන් ගැනීම තෙත් කාලයේ ආරම්භය සංඥා කෙරෙන බව උපකල්පනයයි. කෙසේ වෙතත් ඇතුන්ගේ සංක්‍රමණ ආරම්භ වෙන්නේ අදාළ ප්‍රදේශයට වැසි වැටීමට ෙපර තෙත් කාලය ආරම්භ වීමට දින ගණනක් හෝ සති ගණනක් කලිනුයි. එසේ නම් මේ  අලි ඇතුන් තැත් කරන්නේ බිබීසීයේ හිටපු සුප්‍රකට කාලගුණ අනාවැකි පළකරන්නෙකු වන මයිකල් ෆිෂ්ට තරගයක් දීමටද?

ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කිව හැක්කේ පුදුමයි. ඒත් ඇත්තයි, මේ අලි ඇතුන්ට එවැනි හපන්කමක් කිරීමේ හැකියාව තිබෙන බවයි. වර්ෂාව ඇතිවන වේලාව හා ස්ථානය සමග ඇතුන්ගේ චර්යාවන් චන්ද්‍රිකා වර්ෂණ නිරීක්‍ෂණ(satellite precipitation observations) යොදා ගනිමින් සංසන්දනය කිරිමේ දී පෙනී ගියේ වැස්සක් ආසන්න වන විට සතුන්ගේ සංචලනය රටාවෙහි සැලකිය යුතු වෙනස්කම් ඇති වන බවයි. ඇත්තටම මේ ඇතුන්ගේ අනාවැකි පළකිරීමේ හැකියාව කෙතරම් සියුම්ව සැකසී ඇත්ද කිවහොත්, කිලෝමීටර් 300ක් තරම් ඈතින් වැහි කුණාටු ඇති වන විට දී පවා ඔවුන්ගේ සංචලන ආරම්භ වන බව සොයාගෙන ඇත. ඉතින් මේ පුදුමාකාර සතුන්ට පේන කීමේ හැකියාව ඇතිවී තිබෙන්නේ කෙලෙසද? ඔවුනට අධි මානසික බලයක් ඇත්ද? ‍එසේ නැතිනම් ලොවපුරා ප්‍රචාරය වන කාලගුණ වාර්තාවන්ට මොවුන් සවන් දෙනවා වත්ද?

මේ ප්‍රශ්වනවලට පිළිතුරු රැඳී ඇත්තේ ‘අවධ්වනික ශබ්දය(infrasonic sound)’ යන්න මතය. අඩු සංඛ්‍යාත ශබ්දය ලෙස ද ඇතැම් විටෙක හඳුන්වනු ලබන මෙම පදයෙන් විස්තර කෙරෙන්නේ හර්ට්ස් 20ට (හෝ තත්පරයකට චක‍්‍ර) අඩු සංඛ්‍යාතවලින් ශබ්දය. මේවා මිනිසෙකුගේ සාමාන්‍ය ශ්‍රවණ සීමාවට වඩා පහළින් පිහිටි සංඛ්‍යාතය. කෙසේ වෙතත්, අනෙකුත් සතුන් අතර අලින්ට ද එම සංඛ්‍යාත ඇසෙන බව ඔප්පු වී ඇති කාරණාවකි. අකුණු කුණාටු වැනි ස්වාභාවික සංසිද්ධිවලදී නිපදවෙන අවධ්වනිත ශබ්ද බොහෝ දුරක් ගමන් කරයි. එහෙයින්, වර්ෂා-පද්ධතියෙන් ජනනය කෙරෙන මෙකී අවධ්වනිත ශබ්ද නිවර්තන තණබිම්වල ඇතුන්ගේ සංචලනයන්ට මුල පුරවනවා විය හැකිය.

එහෙම වුණත් හෙට වැඩට යන කෙට කුඩයක් අරගෙන යන්න ද කියලා අහන්න ළඟ පාතක අලියෙන් නොසිටියාට කලබල විය යුතු නැත. මන්ද ඉදිරියේදී ඇතිවීමට යන කුණාටු, භුමිකම්පා වැනි ස්වාභාවික ව්‍යසන ගැන අනාවැකි පළකිරීමට වඩාත් නිවැරැදිව කීවොත් එවැනි ව්‍යසන කලින් සොයා ගැනීමට ඇති හැකියාව වෙනත් සතුන් ද ප්‍රදර්ශනය කර ඇති හෙයිනි. ළඟ එන ව්‍යසනයක සේයාව කියාපාන අනතුරු හැඟවීම් ලබා ගැනීම පිණිස පෘථිවිය හරහා ගමන් කරනා අවධ්වනිත තරංග සතුන් විසින් යොදා ගනු ලබන බව සොයාගෙන ඇති කාරණාවකි. මීට හොඳ උදාහරණයක් ශ්‍රී ලංකාවෙන්ම සොයා ගත හැකිය. 2004 වසරේ සුනාමිය පැමිණ වෙලේ යාල වනෝද්‍යානයේ (ඔව් අලි ඇතුන්ද ඇතුළුව) සතුන්ට ආපදාවක් සිදු නොවුනේ වේලාසනින්ම ඔවුන්ට සුනාමිය ගැන දැන ගැනීමට හැකි වීම නිසාවෙනි. ස්වාභාවික විපතක් අත ළඟ පැමිණෙද්දී සතුන් අමුතු ආකාරයකට හැසිරී ඇති බවට වාර්තා ඉතිහාසය පුරාවට දැකිය හැකිය. ගිරාෆ්, හිපපොටේමස්, කොටි, පරෙවියන් තබා කැසොවරයන්ට (cassowaries) පවා අවධ්වනිත තරංග ඇසේ. භුමිකම්පාවකට පෙර බලු බළල් සතුන්ගේ ප්‍රතිචාර සම්බන්ධයෙන් මෑතක කළ පර්යේෂණයකින් හෙළිවූයේ සිද්ධියට පැය කිහිපයකට කලින් ඔවුන් කලබල ස්වභාවයකට පත්වූ බවයි.

කෙසේ වෙතත්, සතුන්ගේ මේ අසාමාන්‍ය චර්යාවක් පිළිබඳ අපේ දැනුම තවමත් පවතිනුයේ ළාබාල අවධියකය. භූ කම්පන සිදුවීම්වලදී සතුන් අමුතු ආකාරයකට හැසිරෙන බව දැන සිටියත් එම හැසිරීම් මුදා හැරෙන්නේ අවධ්වනිත ශබ්දවලින් ද යන්න තවමත් නිශ්චිතව කිව නොහැකිය. එය විද්‍යුත් චුම්භක තරංගවල ප්‍රතිඵලයක් ද විය හැකිය. නො එසේ නම් හුදෙක් පොළොව අභ්‍යන්තරයෙන් එන තීව්ර කම්පන (intense vibrations) විය හැකිය. භූකම්පන අපි කේන්ද්‍රයෙන් (epicentre) පිටතට පැතිර යන Rayleigh waves රේලේ තරංගද අපට හසු නොවුනාට පක්ෂීන්ට, කෘමීන්ට හා අනෙකුත් ක්‍ෂීරපායින්ට හසුවේ. එහෙත් ඉතා දරුණු වර්ෂාවක් පවා එවැනි කම්පන ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නොවේ. එමනිසා නැමීබියානු ඇතුන් සම්බන්ධයෙන් ගත හොත් ඔවුන්ට අනාවැකි කීමට මඟපාදන්නේ බොහෝ විට අවධිවනිය විය හැකිය.Elephant Climate 2

ඉතින් ක්‍ෂීරපායි විශේෂ පෙමණ සංඛ්‍යාවකට මෙම සුපිරි දැනුම පිහිටා තිබියදී මිසින් අප අහස විසින් රවටනු ලබන්නේ ඇයි? අවධ්වනිය අපට ද දැනේ. එහෙත් ගැටලුවක් වන්නේ අප ඒ අත් විඳින්නේ කුමක් දැයි නොදැනීමය. සමහරු එවැනි අධිමානසික බලයක් ගැන කියති. අවධ්වනිය මිනිසුන් තුළ බිය හෝ පුදුමය දැනවීමට තුඩු දෙන බව ඔප්පු වී ඇති කරුණකි. එහෙයින් හදිසියෙන් හෝ අවතාරයක් දුටුවොත් එළිපහළියට යන විට කුඩයක් ගෙන යන්න. ඔබටත් ඇතුන්ට මෙන් කාල ගුණ අනාවැකි කීමට එවැන්නක් යොදා ගත හැකිය.

Naked Scientists හි  Elephants never forget… ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: