විදු නැන නුවණ – Science Literacy for All

මර්ස් MERS වෛරසයට එරෙහි සාර්ථක වැක්සිනයක්?

වසර තුනකට පෙර සෞදි අරාබියාවෙන් අභිරහස් වෛරසක් ප්‍රථම වතාවට සොයා ගත් අවස්ථාවේ පර්යේෂකයන්ට ඒ ගැන කිසිම වැටහීමක් නොවීය. MERS මර්ස් හෙවත් Middle East respiratory syndrome (මැදපෙර දිග ශ්වසන සින්ඩ්‍රෝමය) ඇතිකරවන මෙම වෛරසය, පසුව අනාවරණය වී ඇත්තේ SARS හෙවත්(severe acute respiratory syndrome) (උග්‍ර තීව්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය)හි ඥාතියෙකු බවයි. එම වෛරසය මූලිකව අරාබි අර්ධද්වීපයෙහි මරණ 500ට වැඩියෙන් වග කිව යුතුය. මේ රෝගයට එරෙහිව බලාපොරොත්තු තැබිය හැකි වැක්සිනයක් ගැන පර්යේෂකයෝ පසුගිය සතියේ කරුණු අනාවරණය කළහ. අඩුතරමින්, වඳුරන්, මීයන් හා ඔටුවන්ට ඉන් ආරක්‍ෂාව සලසන බව දැනටමත් ‍තහවුරු වී ඇත. වැක්සීනය අඩු මෙන්ම වැඩි මාත්‍රාවලින් ලබා දුන් කළ වඳුරන් MERS මගින් රෝගීවීම වළක්වා ගත හැකි විය.

මෙම අන්තර්ජාතික පරීක්‍ෂක කණ්ඩායම දැන් සැලසුම් කරන්නේ මෙකී වැක්සීනය මිනිසුන්ට එකලෙස සාර්ථකව යොදා ගත හැකි දැයි පරීක්‍ෂා කිරීමටය. එවැනි සහතිකයක් නැතුව වුවද අත්හදා බලන වැක්සීනය හදසියේ රෝගය පැතිර යන අවස්ථාවකදී (an outbreak) ‍යොදාගත් විට එමගින් ඔටුවන් තුළ රෝගය යටපත් කොට තබා ගැනීමට හා මිනිසුන්ට රෝගය සම්ප්‍රේෂණය වීමේ දාමය සිඳ ලන්නටද හැකියාවක් ඇතිවීමට ඉඩ ඇතැයි පර්යේෂකයෝ අදහස් කරති.

වෛරසයට නිරාවරණය වීමට සති පහකට කලින් කිහිප විටක් මේ වැක්සීනය කුඩා වඳුරු විශේෂයකට(rhesus macaques) ලබා දුන් අවස්ථාවේ අට දෙනෙකු රෝගයෙන් ආරක්ෂා කිරිමට එමගින් හැකි විය. ප්‍රතිශක්තිකරණය ලබා නොදුන් වඳුරන් හතරදෙනෙකු ආසාදිතව රෝගාතුර විය. අත්හදා බැලෙන වැක්සීනය මීයන් හා ඔටුවන් තුළ වෛරසයට එරෙහිව ප්‍රතිදේහ ගොඩ නැංවීමට මග පෑදීය.

ප්‍රතිශක්තිකරණය ලබා දිය හැකි වැක්සීනයක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් නොමැති කමින් පසුගිය වසර කිහිපය තුළ පුද්ගලයන් 1,400ට වැඩි පිරිසක් අතරේ වෛරසය පැතිරයාමට සමත් විය. මෙයින් බොහොමයක්ම වාර්තාවුණේ මැදපෙර දිගිනි. එහෙත්, මැද පෙරදිග සිට රෝගී වූ සංචාරකයකු ආපසු පැමි‍ණීමෙන් පසුව දකුණු කොරියාවේද එය පැතිරිණි. තවමත් හේතුව සෙයාගෙන ‍නැතත් වසන්තයේදී වෛරසය මගින් මිනිසුන් ආසාදනය වන සංඛ්‍යාවෙහි වැඩි වීමක් ඇති වන බව අනාවරණය   වී තිබේ.

MERS හට ගන්නේ කිරීට වෛරසයකිනි(a coronavirus). ඒ නම යෙදී ඇත්තේ වෛරස ප්‍රෝටීනයේ පිටත කබොල්ලෙහි කිරීටයක ලකුණෙනි. බොහෝ විශේෂඥයන් සැක කරන්නේ වෛරසය වවුලන් හා ඔටුවන්ගේ ශරීර ගත වුණොත් මිනිසුන්ගේ ශරිරයට ඇතුල්වන්නේ කලාතුරකින් පමණක් බවයි. පුද්ගලයකුගෙන් තවත් කෙනෙකුට මෙම රෝගය වැළදෙන අතර එය සිදුවන්නේ MERS රෝගය වැළදුණු අයෙකු ආසන්නයේ ගැවසෙමින් වෛරස විශාල ප්‍රමාණයක් ආශ්වාසය කිරීමෙනි. ව්‍යාධි ජනකය, සතුන්ගෙන් මානවයන් වෙත ආරම්භක වශයෙන් පැනගන්නේ කෙසේද යන්න අපැහැදිලිය. එහෙත් වෛරස විශේෂඥයන් සැකකරන්නේ ඔටු කිරි පානය කිරීම, ඔටුවන්ගේ ස්‍රාවයන්ට නිරාවරණය  වීම ඊට හේතුවන බවයි. MERS වැළඳෙන මානවයන් ප‍්‍රරූපීව අධික උණ හා නිව්මෝනියාවෙන් මියයතත් වෛරසයට ගොදුරුව මරුමුවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ වෙනත් සෞඛ්‍ය ගැටලු ඇතිවිටය.  MERS

මිනිසුන් යොදවා ගෙන කෙරෙන අධ්‍යයනවලින් පමණකි, වැක්සීනයේ ප්‍රබලතාව කොපමණ කලක් තිබේද එමෙන්ම රෝගය වැළැක්වීම සඳහා බූස්ටර එන්නත් (වර්ධක) කොපමණ ලබා දිය යුතු ද යන්න තීරණය කළ හැක්කේ. පර්යේෂක කණ්ඩායම විසින් සකසා ඇති නව වැක්සීනය සක්‍රිය වෛරසයක් පදනම් කර නොගන්නා හෙයින් එය රෝගය ඇති කිරීමට හෝ ශරීරය තුළ අනුකෘති තැනීමටද අසමත්ය. MERS ප්‍රෝටීනයේ මතුපිට තැනක් අනුකරණය කෙරෙන ඇමයිනෝ අම්ල කෙටි දාමයක් එකට ඈදිමෙන් එය සංශ්ලේසණය කර ඇත. එම ඇමයිනෝ අම්ල රුධිරධාරාවට එක්කිරීමෙන් සිරුරට වෛරස ප්‍රහාරයක් එල්ල වෙතැයි සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මුලාවට පත්කොට ප්‍රතිදේහ ගොඩනැගීම පූරනය(trigger) කරයි.

එන්නත ලබාදීම හුදෙක් කටුවෙන් විදීමට පමණක්  සීමා නොකෙරේ. ඒ සමග කුඩා විදුලිධාරාවක කම්පනයක් ද ලබා දෙයි. එම කම්පනය සෛලවල කූප හෙවත් සිදුරු මිලිතත්පර ගණනකට විවර කරයි. එවිට DNA වැනි විශාල අණු වඩාත් කාර්යක්‍ෂමව අභ්‍යන්තරය වෙත ගමන් කිරීම පහසු කෙරේ. කෙසේ වෙතත්, ප්‍රතිකාරයක් ලෙස ලබා දෙන්නක් නොව ආරක්‍ෂාව සදහා ලබා දෙන වැක්සීනයක් වෙනුවෙන් රෝගීන් මේ විද්‍යුත් කම්පනයට ලක්කිරීමට කැමතිවේද නැද්ද යන්න සොයා බැලිය යුතුව ඇති කාරණාවකි.

Scientific American හි Vaccine against Middle East Mystery Disease Shows Promise ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: