අද ලෝකයේ ජනගහනය බිලියන 7.3 ඉක්මවයි. මේ මහා විශාල පිරිස අතුරෙන් සැම දෙනාම පාහේ තම පැවැත්ම සඳහා කෘෂිකර්මාන්තය (ගොවිතැන) කෙරෙහි රඳා පවතිති. අපේ ආහාර අපම නිපදවා ගැනීම අද ජීවත්වන මානවයන් අමුතු දෙයක් හෝ නුහුරු දෙයක් ලෙස නොසලකතත්, භෝග වගාව හා ගෘහාශ්‍රිත සතුන් ඇතිකිරීම මානව ඉතිහාසයේ ඉතා මෑතක වර්ධනයක් ලෙස හඳුන්වා දිය හැකිය. දේහ විෂයික නව්‍ය මානවයා (anatomically modern humans) හෙවත් හෝමෝ සේපියන්ස් (නූතන මානවයන්) මහද්වීප පුරා ජනාවාස පිහිටුවා ගැනීම ආරම්භ කළේ (අපට හුරු විදිහට කියතොත්) ගොවිතැන් බත් කරන්නන් හැටියට නොව ප පශු ආහාර අන්වේෂණය කරන දඩයම්කරුවන් (foraging hunter), මාළු අල්ලන්නන් හා අන්නගවේෂකයන් (gatherers) ලෙසය. ඒ, මෙයට වසර 100,000 (සියක් දහසකට) කිට්ටු කාලයකදීය. එහෙත් පශු ආහාර අන්වේෂණය අතහැර මානවයන්ගේ යැපීමේ ප්‍රධාන මාදිලිය ලෙස ගොවිතැනට යොමුවීම ආරම්භයේ මෙයට වසර 12,000 (දොලොස් දහසකට) පමණ කාලයකට පෙරය.එය මුලින්ම, එමෙන්ම ක්‍රම ක්‍රමයෙන් සිදු වූයේ නිරිත දිග ආසියාවේ ‘සාරවත් චන්ද්‍රවංකය’ (Fertile Crescent) ලෙස හැඳින්වෙන කොටසෙහිය. මධ්‍යම චීනය, උතුරු නිවර්තන අප්‍රිකාව, මෙසෝ ඇමරිකාව (මධ්‍යම මැක්සිකෝවේ සිට දකුණට හා නැගෙනහිරට විහිදෙන, ගෝතමාලාවේ කොටසක්, බෙලීසිය, හොන්දුරාස් හා නිකරගුවාවද අයත් කලාපය) ඇතුළුව ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල ද පශු ආහාර අන්වේෂණයෙන් කෘෂිකර්මාන්තයට සංක්‍රමණයවීම වෙන වෙනම හුදෙකලාව නිරිතදිග ආසියාවේ සිදුවූවාට වඩා පසුව සිදුවුවත් ක්‍රි.ව. 1500 දී යුරෝපීයයන් විදේශීය රටවලට ව්‍යාප්ත වන විටත් ලෝක ජනගහනයෙන් (එකල ජනගහනය මිලියන 350ක් ලෙස ඇස්තමේන්තුකර තිබේ.) බහුතරය සිය යැපීම කෙරෙහි කෘෂිකර්මාන්තය මත රඳා පැවතීමට පටන් ගෙන තිබුණි.
මානවයන් ලෙස අද අපි මේ දෙස බලනවිට, කෘෂිකර්මාන්තය මෙලෙස ඉතා ක්‍රම ක්‍රමයෙන් එමෙන්ම පසු අවධියක ඉස්මතුවීම පුදුමය දනවන්නක් ලෙස පෙනී යාමට පුළුවන. කෘෂිකර්මාන්තය මෙයට කලින් ඉස්මතු නොවූයේ මන්ද යන ප්‍රශ්නය නැතහොත් විලෝම වශයෙන් ඇසුවොත් මානවයා එපමණ කාලයක් දඩයමේ යෙදීම, මාළු ඇල්ලීම හා අන්නගවේෂණය කිරීම කෙරෙහි නැඹුරුව සිටියේ මන්ද යන ප්‍රශ්නය නැගීමට එකී පුදුමය අප පොළඹවයි. මෙවැනි ප්‍රතිචාරයක් මතු වෙන්නේ තදින් මුල් බැසගෙන ඇති එමෙන්ම තවමත් ප්‍රචලිතව පවතින උපකල්පනයක් හේතුවෙනි. එනම්, කෘෂිකර්මාන්තයට සංක්‍රමණය වීම මානව ප්‍රගතියේ අනිවාර්යයෙන්ම සිදු විය යුතු අවධියක් යන උපකල්පනයයි. කෙසේ වෙතත් මානවයන්ෙග් පශු ආහාර අන්වේෂණයේ දීර්ඝ ඉතිහාසය සලකන විට පිළිතුරක් අපේක්ෂා කරන ප්‍රශ්නය වන්නේ කෘෂිකර්මාන්තය මීට වඩා කලින් වර්ධනය නොවූයේ මන්ද යන්න නොව එය ආරම්භ වූයේම මන්ද යන්නයි.
මෙලෙස අලුතෙන් මතුවන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට පළමුව ‘කෘෂිකර්මාන්තය’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි සලකා බැලීම වටනේය.ඒ මොකද කෘෂිකර්මාන්තය යන්නන්, වගාකිරීම සහ ගෘහාශ්‍රිතකරණය(domestication,) වැනි අදාළ අනෙකුත් පදත් නිර්වචනය කිරීමට අපොහොසත් වීමේ හේතුවෙන් කෘෂිකර්මාන්ත මතුවූයේ ඇයිද එමෙන්ම කෙලෙසද යන්න පැහැදිලි කිරීමේ දී ඇතිවෙන පටලැවිල්ලකට, ව්‍යාකූලතාවකට මග පෑදී ඇත. මෙහිදී වගා කිරීම යන්න නිර්වචනය කෙරුනේ වැපිරීම හෝ සිටුවීම(sowing or planting), සාත්තු කිරීම(tending) සහ අස්වනු හෝ ඵලදාව නෙලීම කෙත්වතු ශාක හෙවත් වගා කරන ලද ශාක domesticated plants හෝ වන ශාක wild plants ලෙසය. බිම් කොටා සකස් කිරීමක් ඇතුව හෝ නැතුව සිතාමතාම හෝ නොදැන කෙරෙන සංස්කෘතික වරණයේ(cultural selection) ප්‍රතිඵලයක් ලෙස වන හෝ වල් ශාකයක සිදුවන ජානමය, කායික සහ/හෝ රූප විද්‍යාත්මක වෙනස් කිරීමක් (morphological alteration) සහ එම වෙනස් කිරීමෙන් ඒවායේ දිගුකාලීන පැවැත්ම පිණිස ශාකවලට මානවයන් මත රඳා පැවැත්මට යොමුකිරිම ගෘහාශ්‍රිතකරණය ලෙස අර්ථ නිර්ණය කෙරේ. කෘෂිකර්මාන්තය යන්න විග්‍රහ කෙරෙන්නේ පස සකස්කිරිමට සැමවිටම නොවූවත් සාමාන්‍යයෙන් සම්බන්ධ වගා ක්‍රම මගින් ගෘහාශ්‍රිතකරණයට ලක් කළ බෝග වැවීම ලෙසටය. වගාව හා කෘෂිකර්මාන්තය අතර ප්‍රභේදනය විශේෂයෙන් වැදගත්ය. ඒ මන්ද කීවොත්, ගොවීන් විසින් සිදු කරනු ලබන භෝග නිෂ්පාදන ක්‍රමයත්, පශු ආහාර අන්වේෂකයන් (foragers) විසින් සිදු කරන ලද වන ශාක නිෂ්පාදන ක්‍රමයත් වෙන්කොට හඳුනාගැනීමට අපට ඉඩ සැලසෙන බැනිනි. මේ ප්‍රභේදනය පැහැදිලි කරගැනීමෙන් පසුව අපට ඊළඟට පැහැදිලි කර ගත යුත්තේ එම පශු ආහාර අන්වේෂකයන් සිය ඵලදායීතාව වර්ධනය කර ගැනීම පිණිස වන හෙවත් වල් ශාක වැව්වේ කෙලෙසද යන්නය.
NEXT: PLANT CULTIVATION BY FORAGERS
Encyclopedia of Plant and Crop Science හි Agriculture: Why and How Did It Begin? ලිපිය ඇසුරෙනි