සැමට විදු නැන නුවණ – Science Literacy for All

විද්‍යාවට, ප්‍රමාණකරණයෙහි ඇති වැදගත්කම

රෝගියෙකුට බෙහෙතක් බොන්නට දීමේ දී ඉතා සැලකිල්ලෙන් මැන බලා ප්‍රමාණය නිර්ණය නොකර ‘පෙනෙන ආකාරයට’ නිවැරදි යයි සි‍තන ප්‍රමාණයක් රෝගියාට ලබා දුන්නේ යයි සිතමු. එහෙමත් නැතින්ම්, ගුවන් යානා නියමුවෙකු යානය ගමන් කරන දුර, වැයවෙන ඉන්ධන ප්‍රමාණය හා වෙනත් සාධක හොඳින් මැන බලා, සොයා නොබලා හිතෙට දැනෙන හොඳම ඇස්තමේන්තුව අනුව යමින්  අහස්යානය ගුවන් ගත කළා යයි සිතමු. පැහැදිලිවම, මෙම අවස්ථා දෙකෙහිදීම ප්‍රතිඵල දුර්භාග්‍ය සම්පන්න විය හැකිය. මෙහිදී සාත්තු සේවිකාව වගේම නියමුවාද විද්‍යාඥයන් ලෙස සලකනු නොලැබුවත් දෙදෙනම සිය වෘත්තියේදී විද්‍යාව උපයෝගී කර ගනිති. එහෙයින් ඔවුන්ගේ භාවිතයෙන් ඇති විය හැකි ව්‍යසනකාරී  ප්‍රතිඵලවලින් උද්දීපනය කෙරෙන්නේ  විද්‍යාවේදී ප්‍රමාණික මිනුම් යොදා ගැනීම කොපමණ නම් වැදගත් කාර්ය භාරයක් ඉටු කෙරෙන්නේද යන්නයි.

කිසියම් විද්‍යාත්මක පර්යේෂණයක් හෝ අත්හදාබැලීමකින් ප්‍රයෝජනවත් ප්‍රතිඵල ලබා ගැනීමට නම් එම අත්හදා බැලීම නැවත සිදු කිරීමට හැකියාව තිබිය යුතුය.  එහෙයින්, එවැන්නක් සිදුකරන රසායනඥයෙකුට හෝ වෙනයම් විද්‍යාඥයෙකුට ප්‍රමාණික මිනුම් අත්‍යවශ්‍යය. තවත් මූලද්‍රව්‍යයක් සමග කිසියම් මූලද්‍රව්‍යයකින් මිශ්‍ර කළේ කොපමණ ප්‍රමාණයක් දැයි නිශ්චිත දන්නේ නැතිනම් එම රසායන විද්‍යාඥවරිය හෝ වරයා සිදු කළ අත්හදා බැලීමෙන් ඵලක් සිදුවන්නේ නැත. එහෙම නම් අත්හදා බැලීම පිළිබඳ තොරතුරු සහෝදර විද්‍යාඥයන් හා සෙසු අය සමග බෙදා හදා ගන්නට මෙන්ම එහි ප්‍රතිඵල සංනිවේදනය පිණිස  විද්‍යාඥයන්ට මිනුම් පිළිබඳ සම්මත ‘වාංමාලාවක්’ (vocabulary) අවශ්‍ය වේ.

මේ ‘වාං මාලාවක්’ තමයි අන්තර් ජාතික මිනුම් ඒකක (International System Of Units) යනුෙවන් හඳුන්වන්නේ. එහි ප්‍රංශ නාමය වන Système International d’Unités සලකා SI යන කෙටි නමින් එය වඩාත් ප‍්‍රකටය.  අන්තර් ජාතික එකගතාවකට අනුව ලොව පුරා විද්‍යා ප‍්‍රජාව 1948 පැවති කිරුම් මිනුම් පොදු සමුළුවේදී SI යන කෙටි නමින් පසුව හැඳින්වීමට පටන් ගත් ක්‍රමය පිළිගත්හ. මේ ක්‍රමය 1960 පැවති 11 වැනි පොදු සමුළුවේදී තවත් වැඩිදියුණු කරනු ලැබීය. කෙසේ වෙතත්  SI  ක්‍රමයෙහි බොහෝ අංග අයත් වන්නේ කිරුම් මිණුම් සම්බන්ධ 18 වැනි සියවසේ අග ප්‍රංශයේ පැවැති වඩාත් පැරණි ක්‍රමයකටය.

අන්තර්ජාතික මිණුම් ඒකකය හා ඉංග්‍රිසි මිනුම් ඒකකය සැසඳීම

අප බොහෝ දෙනා දන්නා පරිදි ඇමරිකා එක්සත් ජනපදය මිහිපිට වඩාත්ම පොහොසත් වඩාත්ම බලගතු රාජ්‍යයයි. අනෙක් අතට, ජාවා දූපත්හි ඉතා කුඩා ජාතික රාජ්‍යයක් වන බෲනායි, ඛනිජතෙල් ආදායම නිසා පොහොසත් වුවද සුපිරි බලවතෙක් ලෙස කිසිවෙකු පිළිගන්නේ නැත. අරාබි අර්ධවීපයෙහි පිහිටි නමුත් තෙල් ආදායමවත් නැති යේමනය දුප්පත්, ආර්ථික වශයෙන් දියුණුවෙන රාජ්‍යයකි. අවසාන වශයෙන් ගත්තොත්, දැන් කාලයක් තිස්සේ දැඩි මිලිටරි පාලනයකට යටත්ව තිබෙන, අග්නිදිග ආසියානු රටක් වන බුරුමය ‘දියුණුවෙමින් පවතින’ රාජ්‍යයක් ලෙස හැඳින්වීමට පවා අසීරුය. එය‍ ලෝකයේ වඩාත්ම දුප්පත් රාජ්‍යයක් අතුරෙන් එකකි. එසේ නම් මේ රටවල් හතරට පොදු යයි කිව හැක්කේ කුමක්ද? මේ මිහිපිට කිරුම් මිනුම් පිළිබඳ මෙට්‍රික් ක්‍රමය පිළිගැනීමට අසමත් වී ඇති එකම රාජ්‍යයන් වන්නේ ඒවා පමණි. ඇමරිකාවේ භාවිත වෙන ක්‍රමය හඳුන්වන්නේ ඉංග්‍රිසි කිරුම් මිනුම් ක්‍රමය ලෙසටය. ඇත්තටම එය හැඳින්විය යුත්තේ ඇමරිකානු ක්‍රමය යනුවෙනි. මන්ද ඉංග්‍රීසින් පවා මෙට්‍රික් ක්‍රමය පිළිගෙන ඇති හෙයිනි. ඇමරිකාව තුළ ජනතාව තවදුරටත් ගැලුම්, සැතැපුම් හා රාත්තල් යන ඒකක භාවිත කළත් එහි විද්‍යාඥයෝ වඩාත් පහසුදායක  SI  ක්‍රමයේ කොටසක් වන මෙට්‍රික් ඒකක යොදා ගනිති.

පූර්ව නූතන යුගයන්හි මිනුම් ඒකක බොහොමයකට පාදක වී තිබුණේ මිනිස් සිරුරේ කොටස්ය. පාදය මීට හොඳ නිදසුනකි. අඟලෙහි ප්‍රභවය රජෙකුගේ මාපටැඟිල්ලේ මුල් පුරුක විය. එක් අවස්ථාවකදී යාරය විග්‍රහ කෙරුණේ එංගලන්තයේ 1 වැනි හෙන්රි රජුගේ නාසයේ අග සිට (දිග කළ අතහි) මැද ගිල්ලේ කොණ දක්වා දුරයි. අපේ රටේ ද නිවසක දී රෙදි මැනීමේදී මෙලෙස නාසයට කොනක් තබා අෙනක් කොණ දිගු කළ අතෙහි අගට කොට අල්වා යාරය මැනීමේ සිරිත කලක් ජනප්‍රියව පැවතුණි. පැහැදිලිවම මේවා මිනුම් ක්‍රමයකට පදනම වශයෙන්  කිසිසේත් නොගැළපෙන හිතුවක්කාර, අභුත ප්‍රමනය. ඒවාට සම්බන්ධ වුණේ එකිනෙකින් වෙනස් විය හැකි දේවල්ය. නිදසුනකට පාදය ගතහොත් සම්මත මිනුම වශයෙන් යොදා ගන්නේ කාගේ පාදයද?

Main 28

එහෙත් හිතුවක්කාර වූවක් වුණත් නැතත්, කැමති වුණත් අකැමති වුණත් ඉංග්‍රීසි මිනුම් ක්‍රමය සිය වස් ගණනක් ඔස්සේ වර්ධනය විය. අද මේ අනුව මිනුම් ඒකක විශාල ගණනකි. සැතැප්ම වර්ග තුනක්, අවුන්ස වර්ග හතරක්, ටොන් වර්ග පහක් ඇතුළුව මේ සෑම එකකටම එකිනෙකට වෙනස් අගයක් ඇත.

පහසු මාරු කිරීමේ සාධක නොමැති වීම ඉංග්‍රීසි ක්‍රමයේ තවත් අවාසියකි. නිදසුනක් දක්වතොත් අඩියකට අඟල් දොළහකි. එහෙත් යාරයකට අඩි තුනකි.  සැතැපුමකට යාර 1760 කි. මෙය තවත් සංකීර්ණ කරමින් වෙනත් ඒකක, (උදා අශ්ව බල, බ්‍රිතාන්‍ය තාප ඒකකය) බිහිවන්නට ද විය. කෙසේ වෙතත්, ඉංග්‍රීසි ක්‍රමය ලෝකයේ රටවල් බොහොමයක කලක්ම පැවතියේ එහි ඇති විද්‍යාත්මක පදනම හෝ පහසුව නිසා නොව කලක් පැතිරුණ අධිරාජ්‍යයක් බ්‍රිතාන්‍ය සතුව තිබීමෙන් ලැබුණු දේශපාලන බලය හේතුවෙනි. අනික වඩාත් ක්‍රමවත් විද්‍යාත්මක මිනුම් ක්‍රමයක් බිහිකළ ප්‍රංශය එකල බ්‍රිතාන්‍යයේ සාම්ප්‍රදායානුකූල ප්‍රතිවාදියා විය. ප්‍රංශය බිහිකළ ‍මෙට්‍රික් ක්‍රමය විද්‍යාත්මක පදනමක් සහිත වූවා පමණක් නොව දශම ක්‍රමයක් වන නිසා පහසුව අතින්ද සුවිශේෂී විය. ජාත්‍යාන්තර පිළිගැනිමට ලක් විමට එම සාධකද බලපාන්නට ඇත.

SCIENCE OF EVERYDAY THINGS Real-life chemistry ග‍්‍රන්ථයෙහි MEASUREMENT   නම් පරිච්ජේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: