පෘථිවිය මත පිහිටා ඇති හෝ අභ්‍යවකාශයේ පිහිටා ඇති හෝ කිසිම ටෙලස්කෝපයකට අපේ සූර්යයා බදු තාරකාවක් වටා කක්ෂ ගතව සිටින පෘථිවි ප්‍රමාණයේ හෝ බ්‍රහස්පති ප්‍රමාණයේ හෝ ග්‍රහයෙක් ප්‍රකාශ තරංග ආයාම ඔස්සේ ප්‍රතිරූපණය කිරීමේ හැකියාවක් දැනට නැති බව ගිය සතිෙය් ලිපිෙයන් අපි පෙන්වා දුන්නෙමු.
කැසිනි යානය මගින් ගන්නා ලද සෙනසුරු ග්‍රහයාගේ ග්‍රහණ අනුරූපය මෙම ප්‍රශ්නය මනාව පෙන්නුම් කරයි. මෙම අනුරූපයෙහි, වළලුවලට මදක් ඔබ්බෙන් තිතක් වන් පෘථිවියක් යාන්තමට දැකිය හැකිය. සෙනසුරුගෙන් සූර්යයා අවහිර කෙරෙන්නේ නැතුව එය දකින්න උත්සාහ කරන්නේ යයි සිතන්න. සෙනසුරුට වඩා 30,000 වාරයක් ඈතින් පිහිටි තරුවේ සිට එය දකින්නේ යයි සිතන්න. පෙනීමෙහි දුබලතාවට හේතු වන්නේ එම ග්‍රහයාගේ ප්‍රමාණය සහ මූලය, පරාවර්තිත සූර්යාලෝකය වීමයි.
අනුරූප ගත කර ඇත්තේ බහීර් ග්‍රහයන් 30 ක් පමණකි. ඒවා සියල්ලම විශාල ඒවා වන අතර තාරකාවලින් ඈත පිහිටි ඒවාය. අනුරූප ගතකිරීම වැඩිකොටම සිදුකර ඇත්තේ අධෝරක්ත කිරණ යොදා ගනිමිනි. වඩාත්ම කදිම නිදසුන HR 8799 බහු බහීර් ග්‍රහ පද්ධතියයි. භූමියේ සිට අධෝරක්තයට ආසන්න විමෝචනය සොයා ගැනීමෙන් 2008 දී බහිර් ග්‍රහයන් තුනක පද්ධතියක් අනාවරණය කරගනු ගනු ලැබීය. එහි සිව්වැනි බහීර් ග්‍රහයා 2010 දී සොයා ගැනිණි. 1998 ලබා ගත් අධෝරක්ත ආසන්න අනුරූපයක් 2009 දී අධ්‍යයනය කළ විට විවෘත බහීර්ග්‍රහයන් තුනෙහි පැවැත්ම තහවුරු විය.
බහිර් ග්‍රහයන් හතරටම බ්‍රහස්පති මෙන් 5 ගුණයක පමණ ස්කන්ධය ඇත. අභ්‍යන්තරයෙහිම පිහිටි ග්‍රහයාගේ කක්ෂ අරය සෙනසුරුගේ මෙන් 15 ගුණයකි. තාරකා පද්ධතියේ යෞවන ස්වභාවය (වසර මිලියන 30ක් පමණ) නිසා ග්‍රහයන් විශේෂයෙන්ම අධෝරක්ත දීප්තිමත්ය.
සූර්යයා බදු තාරකාවක් වටා කක්ෂගත ප්‍රථම බහීර්ග්‍රහයා සොයා ගනු ලැබුවේ 1995 දී ය. කරුණු යෙදුණු අන්දමට මෙම කියන තාරකාව එනම් 51 පෙගාසි (Pegasi) පිහිටියේ පෙගාසස් රාශීය හෙවත් තාරුකා මණ්ඩලයේ මහා චතුරශ්‍රය (Great Square) ආසන්නයේ HR 8799 යෙන් අහසේ අංශක 2.3 ක් ඈතිනි. දීප්තිමත් බව හැරුණුකොට අනුරූප මගින් සුවිශේෂී යමක් හෙළි නොවිණ. ඇත්තටම 51 පෙගාසි විශාල වශයෙන් අප පුදුමයට පත් කළේ වර්ණාවලී මානය මගිනි. මෙහි තාරකාව පැත්තෙන් පැත්තට කුඩා ප‍්‍රවේග ‘සැලීමක්’ (wobble) ප‍්‍රදර්ශනය කළේය. ඒවා ඇතිවන්නේ කක්ෂගත අදිසි (නොපෙනෙන) ග්‍රහයෙකුගේ ගුරුත්වාකර්ෂණ ඇදිල්ල නිසාය.
දින 42 ක් තුළ තත්ත්පරයකට මීටර් 55 ක වේගයෙන් එහාට මෙහාට තැන් මාරුවීම් (shifts) 51 පෙගාසිවල දත්ත මගින් පෙන්නුම් කෙරිණි. එයින් දැක්වුණේ නක්ෂත්‍ර ඒකක 0.05 ක් ඈතින් බ්‍රහස්පතිගේ ස්කන්ධයෙන් 0.5ක ස්කන්ධයක් සහිත ග්‍රහයෙකි. බුද ග්‍රහයා අපේ සූර්යාට ඇති දුරට වඩා මෙම ‘රත් බ්‍රහස්පති’ ග්‍රහයා අට ගුණයකින් 51 පෙගාසි තරුවට ආසන්නය. මෙය එක්තරා අන්දමකට පුදුමය දනවන්නකි. මන්ද සුවිශාල ග්‍රහයන් පිහිටන්නේ (සිය සූර්යයාගේ සිට) ඈතම ප්‍රදේශයක යයි කල්පනා කෙරෙන හෙයිනි.( අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ සුවිශාල ග‍්‍රහයන් පිහිටා ඇත්තේ එලෙස බව සිහිපත් කිරීම වටී)
අරුමය 51 පෙගාසි පද්ධතියද? නොඑසේ නම් අරුමය අපේ සෞර ග්‍රහ මණ්ඩලය ද? (අපේ සෞර ග්‍රහ මණ්ඩලයෙහි නම් බ්‍රහස්පති, සෙනසුරු වැනි දැවැන්ත ග්‍රහයන් පිහිටා ඇත්තේ අපේ තාරකාවට හෙවත් සූර්යයාට වඩාත් ඈතිනි). 51 පෙගාසිට පසුව මුල් ආරම්භයේ හමු වූ ඩොප්ලර් බාහිර් ග්‍රහයන් බොහොමයක්මත් ‘රත් බ්‍රහස්පති’ ග්‍රහයන්ය. එහෙත් ඩොප්ලර් ක්‍රමය එවැනි පද්ධති කෙරෙහි පක්ෂ භජනයක් දක්වයි. ආසන්නව පිහිටි, යෝධ ග්‍රහයන් තාරකා මත තද ඇදීමක් ඇති කරන අතර විශාල ප්‍රවේග විස්ථාපනයන්ගෙන්ද යුක්තයි. ඒවා ඉක්මනින් සොයා ගැනීම පහසු කෙරෙන කෙටි කාලජේද වලින්ද සමන්විතයි.
සංවේදීතාව වර්ධනය වී ඇති හෙයින් එතරම්ම දැවැන්ත නොවන ග්‍රහයන් බොහෝ ගණනක් ද සොයා ගැනීමට හැකි වී තිබේ. ඩොප්ලර් ක්‍රමය යොදා ගැනීමෙන් බහීර් ග්‍රහයන් 500 කට වැඩියෙන් සොයා ගෙන තිබේ. බ්‍රහස්පති වැන්නන් කෙසේ වත් සාමාන්‍යය දෙය හෙවත් සම්මතය නොවේ. එහෙත්, පෘථිවි සමාන ස්කන්ධය සහිත ග්‍රහයන් සෙවීම ඩොප්ලර් ක්‍රමයට බෙහෙවින්ම දුෂ්කරය.
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්