වැට බැන්දා වැනි අපේ සිරුරේ ඇට

අස්ථි නොහොත් ඇට ගැන කියද්දී අපේ මතකයට නිතැතින්ම නැගෙන්නේ අස්ථි කංකාලය හෙවත් අස්ථි පඤ්ජරය යනුවෙන් හැඳින්වෙන ඇට සැකිල්ලයි. එහෙත් අස්ථි හෙවත් ඇට යනු පිටකොන්දක් ඇති සතුන්ගේ ශරීර කූඩුව වූ ඇටසැකිල්ලේ කෙටස්වලට යෙදෙන නමයි. අස්ථි ගැන මතක් කළහම ඇට සැකිල්ල සිහිගැන්වෙන නිසාදෝ අප බොහෝ දෙනෙකු අස්ථි ගැන හිතන්නේ වියළි, ජිවයෙන් තොර කැබලි සමූහයක් ලෙසටයි. අපේ සිරුර තුළ තියන ඇට ගැන වුණත් එහෙමයි. එහෙත් ජිවත් වන පුද්ගලයෙකුගේ සිරුරෙහි ඇට වියලිගොස් හෝ ජීවයෙන් තොර නැත. ඒවා සෑදී ඇත්තේ ජිවි සෛල මගිනි. මෙම සෛලවලට, අපේ සමේ සෛලවලට මෙන් වෙනස්වන්ටත් ස්වං ප්රතිෂ්ඨාපනයටත් හැකියාව තිබේ. කෙනෙකු වයසින් වැඩෙත්ම සිරුරේ ඇට ද විශාල වීමට මින් මග පෑදේ. එමෙන්ම කැඩුනොත් හෝ බිඳුනොත් ඉබේටම සුව වීමට ද ඉන් ඉඩ සැලසේ.
වැඩිහිටියන් බොහෝ දෙනෙකුට අස්ථි 206ක් ඇත. හැඩය ගත්තොත් සිරුරේ අස්ථි පංච මහා හැඩයෙන් යුක්තය. අපේ අත් පා සැදුම් ගන්නේ දීර්ඝ අස්ථිවලිනි. ඔබේ මැණික් කටුව, ඇස්වටය වැනි අස්ථි කෙටි සහ මහතය. ඉළ ඇට වැනි පැතැලි ඇට ඔබේ අවයව ආරක්ෂා කිරීමට උපකාරී වෙයි. තවත් සමහර අස්ථි නිශ්චිත හැඩයක් නොගනී. ඒවා හඳුන්වන්නේ අක්රමික අස්ථි ලෙසය. අපේ පිටකොන්ද (කශේරුව) සෑදී ඇති අස්ථි මෙයට නිදසුන්ය. අපේ දණහිසෙහි ඇතැම් අස්ථි ඊයක හැඩය ගනි. ඒවාට තිලාභ හෙවත් තිලසම(sesamoid) අස්ථියයි කියනු ලැබේ.
අස්ථි ඝන ලෙස පෙනුනාට, පෙනෙන තරමට ම තද නැත. අස්ථි අභ්‍යන්තරයේ ඇට මිදුළු (bone marrow) යනුවෙන් දැක්වෙන මෘදු ස්ථරයකි. ඇට මිදුළු ඇතුළුව සියලුම අස්ථි සෛලවලට ජිවත්වීම සඳහා ආහාර අවශ්‍යය. අස්ථි සෛලවලට ආහාර ගෙන ඒම පිණිස පිහිටවන්නේ ඇට මිදුළු ඔස්සේ විහිදෙන රුධිර නාලය. එමෙන්ම අස්ථි සෛලවලින් අපද්‍රව්‍ය ඉවතට ගෙන යාම සඳහා උපකාරීවන්නේ ද මේ රුධිර නාලමය. ඇටමිදුළු රතු සහ කහ යනුවෙන් වර්ග දෙකකි. රතු ඇට මිදුළු සාමාන්‍යයෙන් දැකිය හැක්කේ ඉළ ඇට වල වැනි පැතැලි අස්ථිවලය. ඔබේ අත් පා වල ඇති දීර්ඝ අස්ථි තුළ කහ ඇට මිදුළු දැකිය හැකිය.
ඇත්ත වශයෙන්ම වඩාත් වැදගත් වන්නේ රතු ඇට මිදුළුය. රුධිරයෙහි ඇති රතු රුධිර ෙසෙල හෙවත් රක්තානු(red blood cells), ශ්වේතාණු(white blood cell), හා පට්ටිකා (platelets) තනනු ලබන්නේ එමගිනි. ඔබේ සිරුර පුරා ඔක්සිජන් රැගෙන යන්නේ රක්තානු මගිනි. පිටතින් එන ආක්රමණවලට එරෙහිව සටන්වැද අප අසනීපවීම වැළැක්වීමට ආධාර වන්නේ ශ්වේතානුය. කැපුමක්, සීරිමක් ඇති වූ විට ලේ කැටිගැසීමට මුල්වන්නේ පට්ටිකාය. මේ සෛල සියල්ල බිහිවන්නේ ඇට මිදුළු තුළය.
ඇට ශක්තිමත් වීම සඳහා පානය කළ යුතු දෑ ගැන නොයෙකුත් වෙළඳ දැන්වීම් ඔබත් දැක ඇතුවාට සැකයක් නැත. එහෙත් අපට ශක්තිමත් අස්ථි අවශ්‍ය වන්නේ ඇයි? අස්ථි තමයි අපේ මාංශපේශීවලට ඈදී සිටීමට හැකි ස්ථානයි. අපට චලනය වීමට හැකියාව ලැබෙන්නේ මෙමගිනි. අප ඇවිදින විට නගින විට, කෙළින් වාඩි වී සිටින විට අප ඒ සඳහා යොදා ගන්නේ අපේ අස්ථිය. එපමණක් නොව අස්ථි ඔබව ආරක්ෂා කරයි. නිදසුනක් දක්වන්නේ නම්, ඔබේ හිස් කබල ඔබේ මොළයද ඉළ ඇට හෘදය හා පෙනහළුද ආරක්ෂා කරයි. ඔබේ සිරුරට පසුවට ප්‍රයෝජනයට ගත හැකි මේදය හා ඛනිජ වර්ගද අස්ථි තුළ ගබඩා කෙරේ.
ඔබේ අස්ථි සාමාන්‍යයෙන් ශක්තිමත් වන නමුත් ඒවා කැඩීමට බිඳීමට ලක්විය හැකිය. ඒ හදිසි ගැටීමකින් හෝ වුවමනාවටත් වඩා පාවිච්චිය නිසාද විය හැකිය. අතොරක් නොමැතිව අභ්‍යාසවල හා ක්‍රීඩාවල යෙදෙන මලල ක්‍රීඩකයන් මෙවැනි ගැටලුවලට මුහුණපායි. ක්‍රමයෙන් වයසට යද්දී හෝ නිසි පෝෂණ කොටස් නොලැබීමෙන්ද අස්ථි ලෙඩ වීමට, දුර්වලවීමට පුළුවන. අස්ථි බිඳෙන විට දෙයාකාරයකට එය සිදු විය හැකිය. බිඳුණු අස්ථි සිරුර තුළම පවතී නම් එය සරල භග්නය (simple fracture) ලෙස දැක්වේ. සම පසාරු කරගෙන අස්ථිය බිදුණු විට එය සංයුක්ත භග්නයකි (compound fracture).
කොයි ආකාරයට වුණත් අස්ථි බිදුණු විට වෛද්‍යවරයෙකුගේ පිහිට පැතිය යුතු වේ. එහෙත්, ඔබේ අස්ථි සුව වීම ස්වයංවද සිදුවේ. අස්ථිය බිදුණු වහාම රතු ඇට මිදුළුවල ඇති පට්ටිකා, භග්නය සිදු වූ තැන වටා කැටි ගැසෙයි. එම කැටිය, තුවාලයක කබොල්ල මෙන් අස්ථියේ බිදුම වසාගෙන ඝන පටකයක් සාදයි. සති 6-12 ක් යන විට මෙය තවත් තද වී විශාලවෙයි. මෙය අස්ථිය ශක්තිමත් කරයි. ඉදිරි වසර කිහිපය තුළ විශේෂ සෛල මගින් අතිරේක අස්ථි කොටස ඉවත් කෙරේ. බිදුණු අස්ථිය යථා තත්ත්වයට පත්වීමට වසර නවයක් පමණ ගත විය හැකිය.
ඇට 300 පමණ ඇතිව ඉපදුණා ද බොහෝ වැඩිහිටියන්ට ඇත්තේ ඇට (ඉහත ද සදහන් කළ පරිදි) 206 ක් පමණකි. සිරුරේ අස්ථි කිහිපයක්ම එකට එක්වී විශාල, ශක්තිමත් අස්ථි සාදයි. අප කුඩා අවධියේ දී අපේ අස්ථි බොහොමයක් සැදුම් ගන්නේ කාටිලේජ නම් සම්බන්ධක පටකවලිනි. කර්ණයෙහි, නාසයෙහි මේවා බොහෝ දැකිය හැකිය. කාටිලේජ් වැඩෙන විට ඒවා ඝන වී අස්ථි බවට හැරේ. කෙනෙකුගේ වැඩිමක් සමගම අස්ථි ද වර්ධනය වේ. ඒවා වැඩෙන්නේ ‘වර්ධක පට්ටක’ (growth plates) යනුවෙන් දැක්වෙන ප්‍රදේශ තුළයි. පුද්ගලයාගේ වැඩීම නතර වූ විට වර්ධක පට්ටක ඝන වන අතර අස්ථි වර්ධනය නතර වේ.
අපේ අස්ථි සෑදී ඇත්තේ පටක වර්ග තුනකිනි. සුසංහත, සවිවර හා මිදුළු යනුවෙනි. අස්ථිවලින් 80%ක් පමණ සුසංගත අස්ථිය. මෙම උඩ ස්තරය තමයි වඩාත්ම ශක්තිමත්. සවිවර අස්ථි දැක ගත හැක්කේ අස්ථි කොන්වලය. අස්ථිය මැද මිදුළුවලින් පිරී ඇත. කෙසේ වෙතත් සෑම සත්වයෙකුගේම අස්ථි එක හා නොවේ. පක්ෂීන්ගේ අස්ථි ඇතුළත මිනිස් ඇටවලට වඩා හිස් ඉඩකඩ ඇත. මේ නිසා ඒවා බරින් අඩුවන අතර පියඹා යාම පහසු කරයි. අස්ථියේ බාහිර පෙනුම අපගේ අස්ථි වගේ වුවද අභ්‍යන්තරයේ මිදුළු නොමැත. කෘමීන් පණුවන් වැනි සතුන්ට අස්ථි ඇත්තේම නැත.
දැන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකදී ඇසිය හැකි ප්‍රශ්නයක් : ශරීරයේ විශාලතම හා කුඩාම අස්ති මොනවාද? පිළිතුර : සාමාන්‍ය වැඩිහිටියකුගේ විශාලතම අස්ථිය උකුළේ සිට දණ හිස දක්වා ඇති (femur) උර්වස්මය (කලවා ඇටයයි)’ අස්ථිය දිගින් සෙන්ටිමීටර් 50 ක් (අගල් 20 ක්) පමණ වේ. කුඩාම අස්ථිය මි.මි. 3ක්(අඟලකින් 7/10ක්) පමණ වන ධරණකය (stapes) යි.
Bite-size Science Biology Bits හි Busy Bones ලිපිය ඇසුරෙනි
2 Responses to “වැට බැන්දා වැනි අපේ සිරුරේ ඇට”
මගේ අතේ අස්ථියක් බිඳී ඇත මේ කඩිනමින් වර්ධනය කරගැනීම සඳහා භාවිතා කිරීම සඳහා සුදුසු බෙහෙත් වර්ගයක් හෝ පිටි වර්ගයක නම් ලබා දෙන්න පුලුවන්ද
මේ අඩවියෙන් පුද්ගලික වෛද්‍ය උපදෙස් දීම සිදු නොවේ. ඔබට නුදුරු රෝහලකට ගොස වෛද්‍යවරයෙකු හමුවී ඔබේ ප්රශ්නය යොමු කරන්න.