විදු නැන නුවණ – Science Literacy for All

ලෝකයටම විදුලිය සැපයීමට න්‍යෂ්ටික බලය?

ස්වීඩනය, විදුලිබලය ජනනය සඳහා ඛනිජ තෙල් දැවීම වෙනුවට යුරේනියම් විඛණ්ඩනය කිරීමෙන් විදුලිය ජනනය කිරීම දශක දෙකක් ඇතුළත පටන් ගත්තේය. මුළු ලෝකයම එම නිදසුන අනුගමනය කළොත් ෆොසිල් ඉන්ධන මගින් ක්‍රියාත්මක විදුලිබලාගාර සියල්ල ඉවත්කොට වසර 30කට මඳක් වැඩි කාලයක් ඇතුළත විදුලිබලය ජනනය සඳහා ඒ වෙනුවට න්‍යෂ්ටික බලාගාර පහසුකම් යොදා ගත හැකිවේ. Plos one   සගරාවෙහි පළ කර ඇති නව න්‍යෂ්ටික මහා සැලැස්ම මගින් පෙන්වා දෙන නිගමනයයි ඒ. එවැනි ‘හුවමාරුවක්’ සිදු කළ හොත් හරිතාගාර වායු විමෝචන පුදුමාකාර ප්‍රමාණයකින් කපා හැරීමට හැකිවෙන අතර දේශගුණික විපරියාසයන්ට එරෙහි සටනේ ඉලක්ක සම්පූර්ණයෙන්ම පාහේ සාක්ෂාත් කර ගැනීමට ද  මග පෑදෙයි. සංවර්ධනය වෙමින් පවතින රටවල කේන්ද්‍රගතව ඇති, විදුලි බලය සඳහා එන්ට එන්ටම වැඩිවන ඉල්ලුම පවා මෙමගින් සපුරා ගත හැකිවේ. අඩුව ඇත්තේ ප්‍රාග්ධනය, කැපවීම හා කළමනාදිය පමණකි. විඛණ්ඩනය පදනම් කරගත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (reactors) සිය ගණන් ඉදිකිරීම වළක්වාලන්නේ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් ඇති ආරක්ෂාව හා වියදම ගැන තිබෙන සැක සංකා පමණකි.

දේශගුණ විපර්යාසයන්ට මුහුණදීම සඳහා න්‍යෂ්ටික බලාගාර මගින් ඉක්මනට බලපෑමක් ඇති කළ නොහැකිය යන මන්තරය වහා පිළිගන්නා නමුත් ලැබී ඇති දත්ත පෙන්නුම් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් චිත්‍රයක් යයි පවසන්නේ ස්වීඩනයේ උප්සාලා විශ්වවිද්‍යාලයේ භෞතිකඥ ස්ටෙෆාන් කියුවිස්ට්ය. ස්වීඩනයේ න්‍යෂ්ටික වැඩසටහන වැඩිදියුණු කිරීම පිණිස වෙහෙස වුවත් අතර ප්‍රමුඛත්වයක් මුල්තැනක් ඔහුට හිමි වෙයි. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ඉදිකිරීම ස්වීඩනය ආරම්භ කළේ .1962 දීය. එරට අරමුණු වුණේ විදුලිබලය නිපදවීම සඳහා ඛනිජතෙල් දැවීම අඩුකිරීම සහ ජලවිදුලිය නිපදවීමට වේලී බැදීමෙන් වැළකී ගංගා රැක ගැනීමටය. 1972 වන විට ඔස්කර්ශාම් (Oskarshamn) හි ප්‍රථම නටන ජල ප්‍රතික්‍රියාකාරකය විදුලිය නිපදවීම ඇරඹීය. 1986 වන විට තවත් ප්‍රතික්‍රියාකාරක 11ක් ඉදිවෙද්දි ස්වීඩනයේ විදුලිබල අවශ්‍යතාවයෙන් අඩක්ම සැපයීම න්‍යෂ්ටික බලාගාරවලට හැකි වූ අතර ඒක පුද්ගල කාබන් ‍ඩයොක්සයිඩ් විමෝචන 1970 ඉහළ මට්ටම හා සසදද්දී 75%කින් පහළ වැටිණ.

ස්වීඩනයට වඩා විශාල රාජ්‍යයක් වුවද ප්‍රංශයටද ඇත්තේ ඒ හා සමාන න්‍යෂ්ටික කතාන්දරයකි. ආනයිනික ෆොසිල ඉන්ධන භාවිතය අඩුකර ගනිමින් නෂ්ටික ප්‍රතික්‍රියාකාරක 59 කින් 1970 ගණන්වල සහ 1980 ගණන්වල ඉදිකිරීමෙන් අද වන විට ප්‍රංශයේ විදුලිබල අවශ්‍යතාවයෙන් දළ වශයෙන් 70ක් පමණ සපයා ගැනීමට හැකි වී තිබේ.

මෙම න්‍යෂ්ටික බල පුරෝගාමීන් දෙදෙනා අනුකරණය කරනු වස් ලෝකයා චීනය, ඉන්දියාව හා ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින් අපේක්ෂා කරන්නේ දේශපාලන කැපවීම, උපායමාර්ග ආර්ථික සැලසුම්කරණය සහ මහජන පිළිගැනීම යයි PLOS සඟරාවේ ලිපියේ සමකර්තෘවරු කියා සිටිති. නිදසුනක් ලෙස දක්වතොත්, ස්වීඩනය හා ප්‍රංශය සිදු කළාක් මෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සඳහා එකම මෝස්තරයක් යොදා ගැනීම, න්‍යෂ්ටික පහසුකම් බලාගාර ඉදිකිරමට මහජන වරමක් ලබා ගැනීම හා ජාතික ආණ්ඩුවෙන් ඉදිකිරීම් සඳහා මූල්‍යාධාර ලබා ගැනීමයි. ‍

ස්වීඩනයේ සහ ප්‍රංශයේ දත්ත ගෝලීය මට්ටමකට සම්බන්ධ කළ විට අපේක්ෂා කළ හැකි හොඳම තත්ත්වය වන්නේ, 100% න්‍යෂ්ටික බලයෙන් විදුලිය ජනනය කිරීමට පෙළඹුණහොත් ෆොසිල ඉන්ධන දහනය මුළුමනින්ම නවතා විදුලිය ජනනය සඳහා යුරේනියම් විඛණ්ඩනය කිරීම වසර 34 ක් ඇතුළත සම්පූර්ණ කර ගැනීමට හැකිවීමයි. එවැනි තත්වයක් සඳහා යුරේනියම් කැනීම හා සැකසීම ව්‍යාප්ත කළ යුතු බව සැබවි. එමෙන්ම වේගවත් ප්‍රතික්‍රියාකාරක වැඩි දියුණු කිරීම හා ගොඩනැඟීමද අවශ්‍ය වේ. කාබන් නොමැති වෙනත් විදුලිබල මූලයක් න්‍යෂ්ටික බලාගාර තරම් ඉක්මනින් ව්‍යාප්ත කිරීමට සමත් වී නැතැයි කියුවිස්ට් පවසයි.

ක්‍රි.ව. 2030 වන විට ලොව පුරා න්‍යෂ්ටික බලය ව්‍යාප්ත වනු ඇතැයි ඇත්ත වශයෙන්ම අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරිය (International Atomic Energy Agency (IAEA)) අපේක්ෂා කරයි. ආසියාවේ සහ මැදපෙරදිග ප්‍රතික්‍රියාකාරක වැඩි වැඩියෙන් ඉදිවෙද්දී එමෙන්ම යෝජිත ප්‍රතික්‍රියාකාරක සියල්ල ඉදිකෙරුණොත්, ඒ වන විට න්‍යෂ්ටික බලය උපයෝගී කිරීමෙහි 68%කින් වර්ධනය වනු ඇත. කෙසේ වෙතත් විදුලිබල ජනනයට න්‍යෂ්ටික බලය යොදා ගැනීමේ අනාගතය එතරම් දීප්තිමත් නැත. ලොව වැඩිම  ප්‍රතික්‍රියාකාරක සංඛ්‍යාවක් ඇත්තේ ඇ.එ.ජනපදයෙහිය.  සංඛ්‍යාව 99 කි. විදුලිය ජනනය සඳහා  තවත් ප්‍රතික්‍රියාකාරක 4ක් ඉදිකිරීමට ද නියමිතයි. එසේ වුවද, ඇමරිකාවේද න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම වැඩිවෙනවා වෙනුවට හීනවෙමින් පවති. ඇතැම් ජනපදවල, ලාභ ස්වභාවික වායු හා සුළං බල ජනනයේ විදුලිය නිපදවීෙම් පිරිවැය න්‍යෂ්ටික බලාගාර මගින් නිෂ්පාදනය කරනවාට වඩා අඩුය. ෆුකුෂිමා සිද්ධියෙන් පසුව ජපානය යළි න්‍යෂ්ටික විදුලිබල ජනනය කෙරෙහි නැඹුරුවීමට ප්‍රයත්න දරමින් ඉන්නා මුත් ජර්මනිය විරුද්ධ දිශාවට යමින් සිය න්‍යෂ්ටික බාලාගාර අඩුකිරීමට සැලසුම් කර ඇත. චීනය තාක්ෂණික වශයෙන් විවිධ වූ න්‍යෂ්ටික බලාගාර ඉදිකරමින් සිටියත් ගල් අඟුරු යොදා ගන්නා බලාගාර හා සසඳන විට එය දහයට එකක අනුපාතයක් පමණකි. ආදර්ශ සැපයූ ස්විඩනය හා ප්‍රංශයද සිය විදුලිය අවශ්‍යතා සඳහා න්‍යෂ්ටික බලාගාර කෙරෙහි රඳා පැවැත්ම අඩුකරමින් සිටියි. IAEA හෙවත් අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරිය පවා පුරෝකතනය කරන්නේ ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ සමස්තයක් වශයෙන් මෙම රඳා පැවැත්ම හීනවෙමින් පවතින බවයි. (ෆොසිල ඉන්ධන භාවිතයෙන් සිදුවන) ‘දේශගුණික හානිය ගැන බිය පත් වෙනවාට වඩා න්‍යෂ්ටික බලාගාරයක අනතුරු ගැන ජනතාව, රටවල් බිය වී සිටින තුරු මෙම ප්‍රවණතා දිගටම පවතිනු ඇතැයි ටැස්මේනියා සරසවියේ පරිසර විද්‍යාඥ සහ PLOS වාර්තාවේ සම කර්තෘ බැරී බෲක් පවසයි.

වැඩිදුර සාකච්ඡාවක් සඳහා කියවන්න දේශගුණය අපේ නිපැයුමකි (විජයානන්ද පරිවර්තනය) ග්‍රන්ථයේ 28 වැනි පරිච්ජේදය: න්‍යෂ්ටික බලය?

Scientific American(September 2015)හි The World Really Could Go Nuclear  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: