විදු නැන නුවණ – Science Literacy for All

සුදු කීවාට එතරම් සුදුත් නැති දරුණුයි කීවාට එතරම් දරුණුත් නැති මහා සුදු මෝරු

සාගරයක් මැද දූපතක ජීවත් වුනත් අප බොහෝ දෙනෙකුට මහමුහුදේ මාළු  ගැන තියන දැනුම නම් ඒ තරම් නැති බවයි හිතෙන්නේ. එදිනෙදා ආහාරයට ගන්න මාළු ගැන තරමක අවබෝධයක් ඇතත් තල්මසුන්,මෝරුන්,  වල්රසයන්, සීල් මත්ස්‍ය‍යන් ආදීන් ගැන නම් දැනුම, අත්දැකීම අඩුයි. අද අපි කතාකරන්නේ අප රටේ දැනුම අඩු එහෙත් ලොව පුරා ප්‍රකට මත්ස්‍යයෙක් ගැනයි: ඔව්, ඒ මහා සුදු මෝරුන් (great white sharks) සම්භන්ධවයි. බොහෝ දෙනෙක් මහා සුදු මෝරුන් හඳුනන්නේ මහා දරුණු, මිනීකන විලෝපියන් හැටියටයි. මිනිසුන් අතරේ ප‍්‍රසිද්ධ තරමටම සුදු මෝරුන් ගැන මිත්‍යා කතා ද එමටයි.

shark 1

මුලින්ම පාට ගැන බලමු. සුදු මෝරාට සුදු කියලා නම යෙදිලා තිබුනාට ඌ ඇත්තටම සුදු නැහැ. මේ නම පටබැඳෙන්න ඇත්තේ උන්ව සුදුපාටට දකින එක අවසථාවක් ගැන හිතලයි. සුදු මෝර මසුන් දැක අැති බොහෝ දෙනෙක් ඔවුන්  දැක ඇත්තේ මිය ගිහින් බෝට්ටුවක උඩ අතට බාවලා ඉන්දෙද්දීයි. එතකොට උන්ව පෙනෙන්නේ සුදු පාටට. මොකද උන්ගේ බඩ සුදු පාට නිසා. මෙම මසුන් වර්ගය විවිධ නම් වලින් හඳුන්වනු ලබන නමුත් ඒ හැම නමකටම සුදු යන්න එකතුවෙලා තියෙන්නෙ මේ නිසා විය හැකියි. Carcharodon carcharias නම හිමි මොවුන් විද්‍යාඥයන් ද සරලව හදුන්වන්නේ සුදු මෝරුන් ලෙසටයි. ඇත්තටම මොවුන්ට කළු මෝරුන් කීම තමයි වඩා උචිත. මොකද මොවුන්ගේ මතුපිට කළුයි. මේ නිසා මුහුදේ මතුපිට ආසන්නයේ ගැවසෙන ගොදුරු සොයා අදුරු අගාධයේ සිට උඩට ඇදෙන මෙම මෝරුන් හදුනාගැනීම ගොදුරුට ලක්වන සතුන්ට අපහසු වෙනවා.

ගොදුරු ගැන කතාකරද්දී කිව යුත්තේ මොවුන් තල්මසුන්, දැල්ලන්, කැසුබු ගණයේ සත්තු හා ඉඳහිට පෙන්ගුවින් ඇතුළුව පුළුල් පරාසයක් ගොදුරු වශයෙන් ගන්නා බවයි. “මොවුන් ආහාරයට ගන්නා දෑ පිළිබඳ ලැයිස්තුවක් හැදුවොත් එය දිග එකක් වේවි” යයි ගේන්ස්විල්හි ප්ලොරිඩා සරසවියේ මුහුදු ජීව විද්‍යාඥ ජෝර්ජ් බර්ගෙස් පවසයි. ඒත් එකක් පැහැදිලියි. ඔවුන්ගේ ආහාර පීළිබඳ අභිරුචිය වයසට යනවිට වෙනස්වෙනවා. “අඩි 7,8,9 වන තෙක්  වැඩෙනතුරු ඔවුන් තනිකරම ආහාරයට ගන්නේ මසුන් තමයි.  විශාලව වැඩී ලිංගික පරිණතභාවයට පත්වත්ම, අවස්ථාව ලද විට ක්ෂීරපායී ගොදුරු ආහාරයට ගැනීම ආරම්භකරනවා” යයි බර්ගෙස් වැඩිදුරටත් පවසයි. වැඩිවියට පත් මේ සුදු මෝරුන් වඩාත් මනපායක් දක්වන්නේ සීල්, මුහුදු සිංහයින් හා වල්රසයන් ආහාරයට ගැනීමට ය. සිය ගොදුරු අල්වා ගැනීම සඳහා සුදු මෝරුන් ‘නොදාන සෙල්ලමක් නැත’(නොකරන දෙයක් නැත).

ඔවුන් දක්ෂ දඩයම්කරුවන්. ඔවුන් සතුව අතිච්ඡුාදනය වන එමෙන්ම අනුපූරකවන ඉන්ද්‍රිය හැඟීම් මාලාවක්ම ඇති බව බර්ගෙස් පෙන්වාදෙයි. ඉන් එක සංවේදීතාවක් සදහන් කළොත් එවුන්ගේ ශ‍්‍රවන ශක්තිය පුදුමය දනවන තරමට තියුණයි. 1963 දී පොදුවේ මෝරුන් ගැන සිදු කළ අධ්‍යයනයකින් ද මෙ බව තහවුරුවෙනවා. එමෙන්ම මෝරුන් ගේ මොළය ගැන සිදු කළ අධ්‍යයනයකින් අනාවරණය වූයේ මහා මහා සුදු මෝරුන්ගේ ආඝ‍්‍රාණ බල්බය සුවිශේෂී අන්දමට විශාල බවයි. තවද සිරුරේ දෙපැත්ත දිගේ දිවෙන පාර්ශ්වික රේඛාවලට ජල පීඩනයෙහි වෙනස්කම් හදුනාගත හැකියි. සිය ගොදුරුවල සංචලනය සොයා ගැනීමට මෙය උපකාරී වෙයි. ගොදුරට වඩාත්ම ළංවෙද්දී ඔවුනට විද්‍යුත්චුම්භක ක්ෂේත‍්‍රද අවබෝධ කරගත හැකිවෙයි.

download (1)

මෙම මොරුන් වර්ගය සතුව මිනිස් අපට සමාන ප‍්‍රජනන මාදිලියක්  ඇති බව හරියාකාරව සොයාගනු ලැබුවේ මෙයට දශක කිහිපයකට උඩදීයි. මොවුන්ගේ ගැහැණු සතුන් පණපිටින් පැටව් බිහිකරනවා. 1980 සහ 1990 ගනන්වලදී ධීවරයන්ට හසුවු ගර්භනී ස්ත‍්‍රී සුදු මෝරුන්  විමර්ෂණය කර බැලීමට විද්‍යාඥයන්ට අවස්ථාව සැලසුණා. 1992 දී ජපානයට ඔබ්බෙන් අල්වා ගනු ලැබූ මීටර් 5ක් දිග එක් සුදු මෝර මවකගේ කුසෙහි සම්පූර්ණයෙන් වැඩුණු භ‍්‍රෑණයන් 10ක්ම සොයා ගනු ලැබුවා. ඒ භ‍්‍රෑණයන්ගේ දිග මීටර් 1.3 සිට 1.5 අතර පරාසයකවුණා. නූපන් පැටවුන්ගේ ජීරණ පථයෙහි විශාල ප‍්‍රමාණයක කහමද ද තිබුණ බව වාර්තාවෙයි. සැර අඩු ස්වජාති භක්ෂකත්වයක් පෙන්නුම් කරමින් මේ මෝරු පැටව් මවගෙන් නිකුත්වූ සංසේචනය නොවූ බිත්තර කා දමා තිබෙනවා.

ඉතින් සුදු මෝරුන් අති දරුණු මිනීමරු සතුන්ද? 1500 ගනන්වල සිට මිනිසුන්ට සිදුවූ මෝර ප‍්‍රහාර  සියල්ල ගැන සදහන් අන්තර්ජාතික මෝර ප‍්‍රහාරක ගොනුව(International Shark Attack File) නමින් ලේඛනයක් තිබෙනවා. එය සංස්කරණය කර තිබෙන්නේ ජෝර්ජ් බර්ගෙස්. මහා සුදු මෝරුන් මීට දායකවී ඇත්තේ සුළු වශයෙන් බවයි බර්ගෙස් එහිදී පවසන්නේ. ඒ කොහොම වෙතත් මොවුන් දරුණු මිනීමරුවන් යන්න පොදු ජනතාව තුළ තහවුරු කිරීමට නම් ‘ජෝස්’(Jaws) චිත‍්‍රපටය ආදිය දායක වී ඇති බව නම් සත්‍යයක්.

 

BBC Earth හි  The truth about great white sharks ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: