විදු නැන නුවණ – Science Literacy for All

මළ රුක් වගාව(Morticulture) වඩාත් සජීවී, ජීවත්වන වෘක්ෂයක්ද? මළ වෘක්ෂයක්ද?

මෙයට ලැබෙන පිළිතුරු ඔබ පුදුමයට පත් කරන්න පුළුවනි. කියවන්න

මළ දෙයක් සජීවී වෙන්නේ කොහොමද? ඉතින් මළ රුකක් වුණත් එහෙමනේ? අපි සොයා බලමු. ජීවත් වන වෘක්ෂයක හෙවත් ගසක වර්ධනයවන්නේ කෘෂ්ඨ (ලි) සහ පොත්ත  තුනී  ස්තරයක් පමණයි.   ඒවා තමයි ගසෙහි මුල් වල සිට පත්‍ර (කොළ) වෙත ජලය හා පෝෂණ කොටස් රැගෙන යන්නේ. එසේ වුවත්, මළ වෘක්ෂයක් ජීවයෙන් පිරිලා. ඔව්, කෘමීන්, දිලීර, බැක්ටීරියා සහ අනෙකුත් ජීවීන්ගෙන් පිරී පවතිනවා. ඇද වැටුණු ගස් බොහොමයක මතුපිට හරිත වර්ණ ශාක පලසකින් වැසී පවතී. මළ වෘක්ෂයක් වන බිමෙන් සැඟවී යාමට බොහෝ කාලයක් ගත වන අතර ඒ අතරවාරයේ ඒවා තුළ නව ජීවිතය හට ගැනීමට මං සැලසේ. ඔරිගන් රාජ්‍ය සරසවියේ ජෛව විද්‍යාඥ මාක් හර්මොන් ගස් දිරාපත්වීම (හෙවත් වියෝජනය) පිළිබඳව අධීක්ෂණය කිරීම පිණිස වසර 200ක් මුළුල්ලේ පැවැත්වෙන අධ්‍යයනයකට සහභාගි වෙයි. වනයේ මර්ත්‍යතාව (mortality) පිළිබඳව විද්‍යාත්මක උනන්දුවක් දක්වන හර්මොන් “ආචාර්ය කාලක‍්‍රියා” (Dr. Death) ලෙස ද හඳුන්වනු ලැබේ.

wood 3මෙය දීර්ඝ කාලයක් ගත වන ව්‍යාපෘතියක් ලෙස පෙනී යා හැකි වුවත් ගස් කඳන් තුළ වෙනස්කම් සිදුවන වේගය ඉන් පිළිබිඹු වෙයි. ‘දිරාපත්වන ලී කඳක් ඇතුළත ජීවිතය, ක්ෂුද්‍ර ජීවී ස්වරූපවලින් ගහණ ‘වනාන්තරයක් ඇතුළත වනාන්තරයක්’ ලෙස හැඳින්විය හැකියි. යයි ඇ. එ. ජනපදයේ ජාතික විද්‍යා පදනමෙහි(National Science Foundation) පරිසරාත්මක  ජීව විද්‍යා අංශයෙහි මැට් කේන් පවසයි. ‘මෙම ඉතාමත් කුඩා ජීව ස්වරූප – ඒ කියන්නේ කෘමීන්, දිලීර සහ බැක්ටීරියා තමයි අපේ ‍ජෛවිගෝල‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්නා වූ විවිධත්වයේ සංචිතය.’ කේන් වැඩිදුරටත් කියා සිටියි.

මරණින් මතුවන ජීවිතය

1980 ගණන්වල මැද හර්මොන් සහ සහෝදර විද්‍යාඥයෝ එක්ව ඔරිගන්වල පිහිටි පැරණි ෆර් ගස් පිරි වනයක් වෙත ලී කඳන් සිය ගණනක් රැගෙන ගියහ. මේ මළ ලී කඳන් වෙත කුරුමිණියෙක් ඇදෙනු ඔවුහු නිරීක්ෂණය කළහ. ‘ලී කඳන් ඇතුළටම කුරුමිණියන් අරගෙන යන දිලීරමය බීජාණු මගින් ඔවුන් වියෝජනය (දිරාපත්වීම) වර්ධනය කරනවා.’ හර්මොන් කියා සිටියි. ‘කෘෂ්ඨයෙහි හෙවත් ලීයෙහි (wood) තදම කොටස තමයි දිලීර ආහාර වශයෙන් යොදා ගන්නේ. එසේ කිරීමේදී ඔවුන් පසට පෝෂණ කොටස් මුදා හැරීමට ආධාර‍ වෙනවා’.

වසර තිහක් තිස්සේ සිදු කරනු ලැබූ නිරීක්ෂණ මත පදනම්ව විද්‍යාඥයන් ඇස්තමේන්තු කරන්නේ ජීවී විශේෂ සිය ගණන් කඳන් ඇතුළට පදිංචියට පැමිණ මළ රුක් සිය නිවහන කරගෙන ඇති බවයි.  සියලුම මළ ලී කඳන් මන්දගාමීව එහෙත් අනවරතව දිරාපත් වෙමින් යන බව අපේක්ෂා කෙරෙන නමුත් ගස් දිරාපත්වීම හෙවත් වියෝජනය සුවිශේෂී ක්‍රියාදාමයක් බව හර්මොන් අනාවරණය කරගෙන ඇත. එය රඳා පවතින්නේ, රුක් ජීවී විශේෂ, පදිංචියට පැමිණෙන දිලීර, තෙතමන ප්‍රමාණය, භූගෝලීය පිහිටීම සහ ගසෙහි ප්‍රමාණය මතය.

දිරාපත්වන කඳන් පස සරු කරයි

wood main

දිරාපත්වන කඳක ඇතැම් පෝෂක කොටස් පස ක්ෂණිකව වාගේ පුනර් පූර්ණය(replenish)පිණිස වන බිමට යළි එක්වන බව විද්‍යාඥයෝ දැන් දනිති. හර්මොන්ගේ අධ්‍යයනය සිදුකිරීමට පෙර වන වෘත්තිකයෝ (foresters) මැරුණු ගස් සහ දිරා පත් කඳන් ශේෂයන් වනයෙන් ඉවත් කිරීම පිණිස බොහෝ විට සැලකිය යුතු ශ්‍රමයක් සහ මුදලක් වැය කළහ. එහෙත් දැන් බිම හෙළන ලද ගස් වන වෘත්තිකයන් වනයේම තබා යාම සුලබ සිද්ධියකි. මෙම භාවිතය හර්මොන් විසින් හඳුන්වනු ලබන්නේ “මරුක් වගාව”(“morticulture”) ලෙසටය. මෙම භාවිතය, විවිධත්වයෙන් වැඩි භූ දර්ශනයක් නිර්මාණය කිරීමට, පසට පෝෂක එක්කිරීමට මෙන්ම කොට්ටෝරුවන් වැනි පක්ෂීන්ට කඳන් බෙන තුළ කූඩු තැනීමට ද මග සලසයි.

මළ ලී කඳ වැදගත් සම්පතකි.

මළ ලී කඳන් බොහෝ කාලයක සිට සැලකුණේ නාස්ති වී ගිය සම්පතක් සහ වන බිමෙහි නොතිබිය යුතු උවදුරක් ලෙසටය. එහෙත් ඒවා පුළුල් පරාසයක පරිසරාත්මක කාර්යභාරයක් ඉටු කරයි. බොහෝ ගොඩබිම හා ජලයේ ජිව විශේෂයන්ට ඒවා නිවහන් මෙන්ම ආහාර ද සපයයි. මළ ලී කඳ, ඇතැම් ශාකවලට  ඇට තවානකි; මුළු වනාන්තරයටම ජල, ශක්ති, කාබන් සහ පෝෂක මූලයකි. මේ වැදගත්කම හේතුවෙන් මළ ලී කඳන් පිළිබඳ පර්යේෂණ දැන් ගෝලීය මට්ටමින් සිදු කෙරේ. වන විවිධත්වය, කාබන් චක්‍රීකරණය සහ ගංඟා පද්ධති ක්‍රියාකාරීත්වය (stream systems function) අවබෝධ කර ගැනීමෙහිලා දැන් වැදගත් සාධකයක් ලෙස සැලකේ.

wood2මළ ලී කඳන්වල පරිසර විද්‍යාත්මක වටිනාකම අවබෝධ කර ගැනීම, වන විද්‍යාත්මක භාවිතයන් හා සංවර්ධනය කෙරෙහි බලපෑම් ඇති කරයි. ඉන් ඇවෑමෙන් එය බලපෑම් ඇතිකරන්නේ ලොව පුරා වන කළමනාකරණ සැලසුම් මතය. ‘මිය ගියාට පසු ගස් දිව්‍ය ලෝකයට යන්නේ නැහැ. ඒවා මෙහිම තිබෙනවා. සමහර විට කොළ රොඩුවලින් වැසී තිබෙන්න පුළුවන්. ඒත් ඒවා එලෙසම තිබෙනවා. ඉතින් මළ ලී කඳන් කියන්නේ අවතාර හොල්මන් නොවෙයි. ජීවයෙන් පිරී ඉතිරී අප අතරම පවතින සම්පත්’ හර්මොන් හෙවත් ආචාර්ය කාලක්‍රියා ප්‍රකාශ කරයි.

US National Science Foundation වෙබ් අඩවියේ DISCOVERY යටතේ පළවූ Morticulture: Forests of the living dead ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: