විදු නැන නුවණ – Science Literacy for All

වේදනාව මානවයන්ට අනවශ්‍ය දෙයක් ද?

ජීවිතයේ කොයියම් අවස්ථාවක හෝ වේදනාවක් නොවිඳි කෙනෙකු මෙලොව නොමැත. එය, වැරදීමකින් ඇල්පෙනෙත්තක් ඇනීමෙන් දැනෙන සියුම් වේදනාවේ සිට අනතුරකින් ශරීර කොටස් බිඳීමෙන් ඇතිවන මහා වේදනාව දක්වා විය හැකිය. ඉතින් images (9)පරිණාමීය වශයෙන් ගත් කළ මානවයන්ට පොදුවේ මේ වේදනාවෙන් ඇති ප්‍රයෝජනය කිම? වේදනාව නොදැනෙන අන්දමට මානවයා පරිණාමනය වූයේ නම් මෙයට වඩා හොඳ නැද්ද? අප බොහෝ දෙනෙකු ගේ ක්ෂණික පිළිතුර ‘හපොයි ඔව්’ යන්න විය හැකියි. කෙසේ වෙතත් අපි මේ ගැන විද්‍යාඥයන්ගේ මතය සොයා බලමු.

 

වේදනාව යනු ඇත්තටම කුමක්ද?

වේදනාව පවතින්නේ ඇයි දැයි අවබෝධ කර ගැනීම පිණිස මුලින් අප කළ යුත්තේ, වේදනාව යනු කුමක්ද? එය ක්‍රියාත්මක වන්නේ කෙසේද? යන්න වටහා ගැනීමයි. වේදනාව වර්ග දෙකකි: තීව්‍ර (acute) සහ නිධන්ගත (chronic) යනුවෙනි. ගෙවත්තේ පාවහන් නොමැතිව ඇවිදින විට හදිසියේ කටුවක් ඇනුණු විට ඔබට වේදනාවක් දැනෙයි. ඒ තීව්‍ර වේදනාවයි(acute pain). එමගින් අවිඥානක ශාරීරික ප්‍රතිචාරයක් මතු කරයි. එම වේදනාවෙන් ජිවියෙකුට ලැබෙන පණිවුඩය නම් ‘තමන්ට කුමකින් හෝ හානියක් සිදුවන්නේය ඒ ගැන තමන් කිසිවක් කළ යුතුව ඇත.” යන්නයි. ඉහත උදාහරණයේදී නම්: කකුළ කටුවෙන් වහාම ඉවතට ගන්න යන පණිවුඩයයි. මෙතැනදී  වේදනාව අනෙකුත් ප්‍රතීක උත්තේජක(reflex stimulus) වාගේමයි. එමෙන්ම සිරුරේ ඇතුළත එක සමාන ස්නායු ගමන් මඟක් ගනී‍.

එය මුලින්ම දැනුම් දෙන්නේ, වැඩිකොටම සමෙහි සහ සම්බන්ධ පටකවල ඇති නිදහස් ස්නායු කෙළවරවල්වල නිරාවරණය වූ තන්තු මගිනි.  තොරතුරු ඉන් අනතුරුව විදුලිය ආවේගයක ස්වරූපයෙන් සංවේදක නියුරෝන වෙත යවනු ලැබේ. ඊළඟට  ආවේගය කේන්ද්‍රීය ස්නායු පද්ධතියට ඇතුළු වී නියුරෝනය හරහා ගොස් (වේදනාව ඇතිවුණේ කුමකින්ද යන්න මත) එක්කෝ මොළයට නැතිනම් සුසුම්නාව වෙත යයි. තවද, ඊට පසුව නැවත චාලක නියුරෝනය ඔස්සේ කාරක මාංශපේශියට (effector muscle) ගමන් කරයි. හැකිළෙන (සංකෝචනය) ලෙස පේශියට නියෝගය ලැබෙන අතර පේශීය එසේ කරයි. මෙලෙස සිරුර (වේදනාව ගෙන දෙන දෙයින්) ඉවතට ගන්නා අතර වේදනාවෙහි මුල ඉවත් කෙරේ. මෙකී ක්‍රියාවලිය ඉතාමත් ශීස්‍රයෙන් සිදුවන අතර අපේ සංඥාන චිත්තයෙහි එය සටහන් වන්නේ හුදෙක් ශාරිරිකව දැනෙන අතිශය අසතුටුදායක හැඟීමක් ලෙසින් පමණකි.

Pain

  1. සමෙහි ස්නායු ෙසෙලවලට වේදනා උත්තේජකය දැනේ පණිවුඩය සංවේදක නියුරෝනය හරහා කේන්ද‍්‍රීය ස්නායු පද්ධතිය වෙත යැවෙන්නේ විදුලිමය තොරතුරක් ලෙසය
  2. සංඥව මොළය වෙත ගොස් අපසු චාලක නියුරෝනය ඔස්සේ අදාළ පේශිය වෙත ආපසු යයි
  3. ආවේගය මාංශ පේශිය හකුළුවයි. ඒ මගින් වේදනා උත්තේජකය ඉවත්වේ.

වේදනාවේ වැදගත්කම නැතිනම් කාර්යභාරය මෙම සිද්ධියේදී කෙළින්ම පැහැදිලිය. නිදසුනක් දක්වතොත් අපි රත් වූ හට්ටියක අත තැබූවේ යයි සිතමු. වේදනාව නොදැනෙන්නේ නම් අප අත තබාගෙන ඉන්නේ රත් වූ හට්ටියක බව අපට නොදැනී දිගටම අත තබාගෙන සිටීමෙන් යළි සකස් කළ නොහැකි ලෙස ස්නායු හානියක් අපට සිදු විය හැකිය.

කෙසේ වෙතත් වේදනාව සෑම විටම මෙම ස්වරූපය ගන්නේ නැත. ඒ වෙනුවට පවතින බව අප දැනටමත් දන්නා තුවාලයක් ගැන අපට දිගටම දක්වමින් වද දෙන නොනවත්වා පවතින සංවේදනයක ස්වරූපය ගනී. මෙකී සංවේදනය හැඳින්වෙන්නේ නිධන්ගත වේදනාව(chronic pain) ලෙසටය. එය අපට උපකාරී වනවා වෙනුවට, ප්‍රජනනය, ආහාර ගැනීම, අනතුරින් බේරීම වැනි පරිණාමීය දෘෂ්ටිකෝණයකින් බලන කල පැවැත්මට අවශ්‍යවන චර්යාවන් කිසිවකුත් සම්පූර්ණ කිරීමෙන් අප වළක්වාලීමට පුළුවන. තුවාලය සිදු වූ මොහොතේ පමණක් වේදනාව පැවතීම වඩා අර්ථවත් විය නොහැකිද?

එසේ නම් වේදනාව සදා පවතින්නේ ඇයි?

මේ ප්‍රශ්නයට පිළිතුරු ඇත්තේ අනාගත චර්යාව වෙනස්කර සකස්කිරීමට ඇති අවශ්‍යතාව මතයි. වේදනාව නිසා ජීවියෙකු වෙත ඇති කරන බෙලහීන කරවන සුළු බලපෑම් තිබුණේ වී නමුත් වේදනාව නොතිබෙන්නට (නොදැනෙන්නට) ජනයා තම ජිවිත හා සෞඛ්‍යය අනතුරට හෙළනු වැළැක්විය නොහේ.  කිසිදෙයක් ගැන තැකීමක් නොකර පසුව දිගටම අඛණ්ඩ වේදනාවක් පැවතීමේ බියක් නොමැතිව ජනතාව අනතුරුදායක ක්‍රියාකාරකම්වල යෙදෙනු ඇත. අප දැනටමත් අපේ ශරීර රැක බලා ගැනීමෙහිලා  දක්වන්නේ බෙහෙවින් අඩු කුසලතාවකි. එසේ කිරීමට මේ තරමින් වත් සමත්ව ඇත්තේ අප අපටම හානි කර ගැනීමෙන් වැළකී සිටිමට ඇති වුවමනාව නිසාය. වේදනාව නොමැති නම් අප සිතන්නේ අපට කිසි හානියක් සිදුවිය නොහැක්කේය යනුවෙනි. ඉතින් වේදනාව නිසා එක්තරා ආකාරයට අප දුර්වලවීමක් සිදු වුවත්,  පරිණාමීය කාල සටහන තුළ මානවයන්ට මෙන්ම අනෙකුත් ජීවීන්ටත් කුමන චර්යාවන් ආරක්ෂා කාරිද කුමන ඒවා එසේ නොවන්නේද යන්න උගැන්වීමට සමත්වූයේ වේදනාවයි. මේ තර්කය ඔස්සේම කල්පනා කරන විට තීව්‍ර හා නිධන්ගත යන වේදනා දෙකක්ම අවශ්‍ය වන්නේ මන්දැයි සිතා ගත හැකිය. තීව්‍ර වේදනාව දැනෙන්නේ තුවාලය හෝ හානිය සිදුවන අවස්ථාවේමයි. අනතුරුදායක චර්යාවෙහි  යළි යෙදීම වළක්වාලීම සහතික කරලනු වස් එම වේදනාවම ප්‍රමාණවත් නොවන්නට පුළුවන. තමන්ගේ චර්යාව හේතු කොට ගෙන අත්වන වාසි සලකන විට තාවකාලික තීව්‍ර වේදනාව නොතකා එම චර්යාව සිදුකිරීමට කෙනෙකු පෙළඹිය හැකිය. ශරීරයට හා ශරීර සෞඛ්‍යයට ඇතිවන දිගුකාලීන ප්‍රතිඵල ගැන ඇය හෝ ඔහු නොසලකා සිටින්නට පුළුවන. දිගටම පවතින නිධන්ගත වේදනාව මේ තත්ත්වය මගහරවන්නට මිනිස් අපට උපකාරි වෙයි.

ඉතින්, වේදනාව යනුවෙන් දෙයක් ලොව නොතිබුණේ නම් කොපමණ හොඳදැයි අපටම සමහර වෙලාවට හිතුණත් මෙලෙස දෙයාකාරයකට වේදනාවක් පරිණාමීය වශයෙන් පවතින්නේ මිනිස් අපේ පැවැත්මට, යහ පැවැත්මට එය අවශ්‍ය හෙයින් බව මින් වැටහී යා යුතුයි.

අප වේදනාවෙන් ගැලවී ගන්නේ කෙසේද? තවත් තතු ලිපියකින් ඒ ගැන කතා කරමු.

NAKED SCIENTISTS  හි  The Purpose of Pain   ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: