අනාදිමත් කාලයක සිටම නාවිකයන් විශ්වාසය තබා ක්‍රියා කළේ සාගර මතුපිට ප්රවාහයන් මතය. ගවේෂකයන් ඒවා මතින් යාත්‍රා කළේ නව රටවල් නව ලෝකයන් සොයා යාම පිණිසය. සිය වෙළඳ භාණ්ඩ ප්‍රවාහනය කඩිනම් කර ගැනීම පිණිස වෙළෙන්දෝ සාගර ප්‍රවාහන මත රඳා පැවතුනහ. අද ද සාගර මතුපිට ප්‍රවාහ ගැන අවබෝධයක් ඇති කර ගැනීම පෙරදා මෙන් ම වැදගත් ය. නැව් ගමනාගමනයේ දී වඩාත් ම කාර්යක්ෂමව ඉන්ධන භාවිත කිරීමට උපකාරීවන මග සෙවීම පිණිස සාගර ප්රවාහයන් ගැන සොයා බලනු ලැබේ. එමෙන් ම සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ද රුවල් ඔරු තරඟ ජය ගැනීම සඳහා ද සාගර ප්‍රවාහ ගැන අවබෝධයක් තිබීම වැදගත් ය. මසුන් ඇල්ලීම පිණිස හොඳම ස්ථාන සෙවීමේ දී ද මෙය ප්‍රයෝජනවත් ය. මේ සියල්ල අතරේ අපේ ලෝකය හැඩගැස්වීමේ දී සාගර මතුපිට ප්‍රවාහ ඉතාමත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි.
වෙරළබඩව පමණක් නොව රට අභ්‍යන්තරයෙහි ද කාලගුණික රටා කෙරෙහි බලපෑමට සාගර මතුපිට ප්‍රවාහ බලපාන ආකාරය ගැන විද්‍යාඥයෝ කරුණු හදාරති. මානව ක්‍රියාකාරකම් නිසා වායුගෝලය උණුසුම් වෙන බවට ලැබෙන සාක්ෂි වැඩිවෙද්දී සාගරය සහ සාගර මතුපිට ප්‍රවාහ කාලගුණය මෙන් ම දේශගුණය හැඩගැන්වීමෙහි ලා ඉටු කරන කාර්ය භාරය අප වටහා ගැනීම වැදගත් වේ. සූර්යයා හැරුණු කොට පෘථිවියේ දේශගුණය කෙරෙහි බලපාන වඩාත් ම වැදගත් බලවේගය සාගරය යි. සාගරය හා වායුගෝලය අතර තාප හුවමාරුව සමස්ත පෘථිවිය පුරාම වායුගෝලීය සංසරණය මෙහෙයවන අතර වාතයේ උෂ්ණත්වය වෙනස් කරයි. සාගරය උරාගන්නා තාපයෙන් කොටසක් යළි බෙදා හැරීමෙන් සාගර මතුපිට ප්‍රවාහ වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. එල් නිනෝ (El Niño) වැනි සංසිද්ධි වලින් තහවුරු වෙන පරිදි සාගර ප්රවාහයන්ගේ සුළු යයි පෙනී යන වෙනස්කම් වුව ලොව පුරා කාලගුණික රටා වෙනස් කිරීමට ප්‍රමාණවත් ය.
මතුපිට ප්රවාහයන් සහ කාලගුණය අතර මෙකී සංකීර්ණ සබඳතාව අවබෝධ කර ගැනීම ගෝලීය දේශගුණ රටා සහ ගෝලීය උණුසුම්වීම නිසා ඒවායේ ඇතිවෙමින් පවතින වෙනස්කම් වටහා ගැනීමේ දී වැදගත් වේ. වෙනස්වන දේශගුණය සහ කෘෂිකර්මය, සෞඛ්‍යය, දේශපාලනය මෙන් ම ලෝකයේ ආර්ථිකයන් මත එහි බලපෑමට මුහුණ දීම සඳහා වූ ක්රමෝපායන් අපට සකස් කර ගත හැක්කේ එවිටයි. එලෙසම, සාගර මතුපිට ප්රවාහයන් අවබෝධ කර ගැනීම සාගරික ජීවිතයේ පාරිසරික විද්‍යාව අධ්‍යයනයට ද එකසේ වැදගත් වේ.
මේ මහා පොළොව මත ජෛවී විද්‍යාත්මකව වඩාත් ම විශාල ගබඩාවට ආධාරකව පවතින්නේ සාගර සහ ගංගා මෝයන්ය(estuaries) මතුපිට ප්රවාහයන් පෝෂක ප්‍රවාහනය සිදුකරන අතර සාගරය තුළ ජීවය බෙදී යන ආකාරය තීරණය කිරීමට උපකාරී වේ. එමෙන්ම සාගර මතුපිට ප්රවාහයන්, සාගරයට එක්වන ධූෂක සහ අනෙකුත් අන්තරාදායක ද්‍රව්‍ය යළි බෙදා හරියි. සාගරයේ භෞතික හා පාරිසරික අන්තර් ක්‍රියාකාරකම් හැදෑරීම, පෘථිවිය මත ජීවිතයේ වඩාත් ම වැදගත් ම ප්රභවය ආරක්ෂා කර ගැනීමට අපට ආධාර වේ. අපේ පරිසරය ගැන අපට තිබෙන දැනුම පදනම් වී ඇත්තේ, කාලයක් තිස්සේ බෙදා හදාගෙන ඇති නිරීක්ෂණයන් මත ය. පුළුල් පදනමකින් සාගරය දෙස බැලීමට අපට ඇති හැකියාව එහි ඇති දෑ මිනිමේ හැකියාව 20 වැනි සියවස තුළ පුදුමාකාර ලෙස වර්ධනය විය.
ඉක්මනින් නිරීක්ෂණය කර කාලගුණය ගැන අනාවැකි කීමට කාලගුණ විද්‍යාව මගින් අපට ලබා දී ඇති හැකියාව විලසම අභ්‍යවකාශ ගත චන්ද්‍රිකා මගින් සිදු කෙරෙන සාගර නිරීක්ෂණය මගින් අපට ලෝකය පිළිබඳ පරිපූර්ණ දර්ශනයක් ලබා දී ඇත. සාගරය අප සැමදෙනාගේ ජීවිත කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ අපේ අවබෝධය එමගින් විප්ලවීය වෙනසක් කරා ගෙන ගොස් ඇත. කාලගුණයේ වෙනස්කම් අධ්‍යයනය කිරීම පිණිස විද්‍යාඥයෝ එන්ට එන්ටම විදග්ධවන්නාවූ පරිගණක ආකෘති වැඩි දියුණු කරති. කෙසේ වෙතත්, මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන දේශගුණික වෙනස්කම් මේ ආකෘති මගින් පුරෝකථනය කරන මට්ටම අභිභවා යන බව ස්ථිරය. වර්ෂණය (precipitation)සහ උෂ්ණත්වය මගින් මුල පුරන ගෝලීය මට්ටමේ ප්‍රධාන පාරිසරික වෙනස්කම් අනුක්‍රමණය ගැන දන්නා දේ අල්පය. කැපී පෙනෙන දේශගුණික විපර්යාසයන්ට ශාක, කෘමීන්, පක්ෂීන්, ක්ෂීරපායියන් සහ කොරල් පර ආදී ජීවින් අනුවර්තනය වන ආකාරය හෝ මෙකී විපර්යාසයන් ලෙඩ රෝග හෝ ජලය බෙදා හැරීම කෙරෙහි බලපාන ආකාරය ගැන විද්‍යාත්මක දත්ත ඇත්තේ ද මද වශයෙනි. එමෙන්ම, දේශගුණ විපර්යාසයන් ජල සහ කාබන් චක්‍ර, මත බලපාන ආකරය ගැන තොරතුරු ද අල්ප ය. සාගර මතුපිට ප්රවාහයන් මේ ප්‍රහේලිකාවේ වැදගත් කොටසක් ය. සාගරය පිළිබඳ වඩාත් සම්පූර්ණ තොරතුරු තිබීම, පෘථිවියෙහි ස්වභාවය හා තත්ත්වය පිළිබඳව අපේ දැනුමෙහි ඇති හිඩැස පියවීමට උපකාර විය හැකි ය. මහා පොළොවෙහි වැඩි කොටස ජලයෙන් වැසී පැවතුණත් සාගරයෙහි වර්තමාන හා අතීත ස්වභාවය මෙන් ම එය අපේ ජීවිත කෙරෙහි කුමන ආකාරයකින් බලපාන්නේ ද යන්න ගැන ප්‍රශ්න ගණනාවක් තවමත් විසඳිය යුතුව ඇත.
සාගර මතුපිට ප්‍රවාහ ගැන අධ්‍යයනය, සාගරයෙහි ජනතාවට වඩාත් හුරුපුරුදු විෂය පථ සම්බන්ධ විය හැකි ය. වස්තුවල චලනය, තරල චර්යාව, සාගර ගමනාගමනය, ගෝලීය බලශක්ති ප්‍රවාහය, තාප ගති විද්‍යාව සහ සාගර ජීවයෙහි බහුලතාව ගැන කෙරෙන අධ්‍යයන ද ආවරණය වන පරිදි ඒවා ගැන හැදෑරීම විවිධ මට්ටම්වල දැනට පවතින ශික්ෂාව හා සම්බන්ධ කිරීමට පුළුවන.
NASA Ocean Motion and Surface Currents Why Study Ocean Surface Currents?
very good post. that helps me to get good knowledge. thanks