ඔබේ ජනේලයෙන් එබිකම්කරන විට ඩයිනෝසරයෙක් දැකිය හැකි බව ඔබ නිකමටවත් හිතා ඇත්ද? ඔබේම නිවසේ නැතත් ළඟපාත නිවසක සිටින කුකුළෙකු දකින්නේ නම් ඔබට ඩයිනසෝරයා දැක බලා ගත හැකියි. මීට වසර මිලියන 66 කට පෙර සහමුලින්ම විනාශයට පත්වුණු ඩයිනසෝරයන් අද කෙසේ දැක බලාගන්නද කියා ඔබට සිතන්නට පුළුවන. එය එසේ තමයි. ඩයිනසෝරයන් අද නැත. එහෙත් ඔබ ජනේලයෙන් දකින කුකුළා ඩයිනසෝර පරම්පරාවෙන් පැවත එන්නෙකි. පක්ෂීන් වනාහි ආදිකාලයේ විසූ භයානක ඩයිනසෝර දැවැන්තයන්ගේ නෑ පරපුරේ අය බව දැන් කලක සිට දක්නා කාරණයකි. ඩයිනසෝර උරගයන් පිහාටුධාරීන් බවට හැරීම අධ්‍යයනය කිරීම සඳහා ෆොසිල ආධාර වේ. එහෙත්, ආපස්සට බලාගෙන යාමට ඒ කියන්නේ පක්ෂීන්ගේ මෘදු පටක මෙන්ම ජානවල ලියැවී ඇති සාරවත් පරිණාමීය වාර්තාව යොදාගෙනද මේ සංක්‍රමණය හැදෑරිය හැකියයි සිතන විද්‍යාඥයෝ ද සිටිති..
‘එතරම් නොවැදගත් අංශ ගතහොත් පූර්වජ ඩයිනසෝරයන් සහ අද ජීවත්වන පක්ෂීන් අතර වෙනස අහසට පොළොව වාගෙයි’ යනුවෙන් පවසන්නේ ෙය්ල් සරසවියේ පාෂණධාතු විද්‍යාඥ (paleontologist) භාරත් අන්ජන් භූලාර්ය. ඔහු සිය අධ්‍යයන සඳහා යොදාගන්නේ කාලයක් භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලද පරිණාමීය ජීවවිද්‍යාත්මක තාක්ෂණ ශිල්ප ක්‍රමයි. ‘පක්ෂීන් හුඟක්ම කුඩායි. ඔවුන්ගේ හිස් කබල තවත් හුඟාක් කුඩායි. ඒ වගේම ඔවුන්ට දත් නැහැ. ඇත්තටම ඔවුන්ට ඇත්තේ ඉතා කෙටි මුහුණක්. කොටින්ම ඔවුන්ට තියෙන්නේ බොහොම වෙනස් නිර්මිතයක්’ යනුවෙන් භුලාර් තවදුරටත් පැහැදිලි කරයි. බැලූ බැලීමට පෙනෙන්නේ මෙලෙස වෙනස්කම් මිලියන ගණනක් තිබෙන බවයි. එහෙත්, පක්ෂීන් යනු ජූර්වජ ඩයිනසෝරයන්ගේ යෞවනත්වයට පත් කළ ස්වරූපයක් ලෙස සලකන්නේ නම් මේ වෙනස් කම් බොහොමයක් පැහැදිලි කර ගත හැකි බව ඔහු ඇතුළු සගයන් ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවක සඳහන්. ඒ වාර්තාවට පදනම් කරගෙන ඇත්තේ ඩයිනසෝර හිස්කබල් වෙනස්කම් පිළිබඳ සමීක්ෂණ වාර්තාවකි. පක්ෂීන්ගේ විශාල මොළය, විශාල දෑස් සහ කෙටි මුහුණ ළදරු ඩයිනසෝරයන්ට සමානකම් දන්වන බව පර්යේෂණ කණ්ඩායමට පෙනී ගියේය. එනම් අද පක්ෂීන්ට ඇත්තේ එදා ඩයිනසෝර බිළිදන්ට තිබූ ළදරු මුහුණකි.
භුලාර්, එතැන නොනැවතී තවත් ඉදිරියට යයි: ඩයිනසෝරයන් පක්ෂීන් බවට පරිණාමනයවීමේ අභිරහසෙහි කොටසක් වන්නේ හොටෙහි පරිණාමයයි. පක්ෂීන්ගේ පූර්වොර්ධ්වහනු අස්ථිය(premaxillae) නමින් හැඳින් වෙන උඩ හොට කොටස සෑදී තිබෙන්නේ එක් තනි විශාල අස්ථියකිනුයි. සංසන්දනාත්මකව ගතහොත් ඩයිනසෝරයන්ගේ මේ අස්ථිය කුඩාය. එහෙත් බොහෝ විට එහි දත් ඇත. බොහෝ ඩයිනසෝරයන්ගේ එය හොම්බේ අග්ගිස්ස පමණකි. එහෙත් පක්ෂීන්ගේ පරිණාමයේ දී පූර්වොර්ධ්වහනු අස්ථි යුගලය පුළුල් වී දත් රහිත කොටසක් සඳහා වූ ප්‍රධාන සැකිලි අංකරය හෙවත් ආධාරකය බවට පත්වී ඇත. මෙය කෙලෙස සිදුවීද?
‘මෙය එක්තරා අන්දමකට ෙමා්ස්තර මවන (patterning genes)විශේෂිත ජානවලට සම්බන්ධ දෙයක්’ භුලාර් පෙන්වාදෙයි. මේවා සුහුඹුල් (adult) සත්වයෙකු ‘ඇඹීම’ සඳහා සෛල ක්‍රියා කළ යුත්තේ කෙසේ දැයි මුල් අවධි කලලයට දන්වන ජානමය උපදෙස්ය.
පක්ෂීන්ගේ පරිණාමය සමග වෙනස් හනු අස්ථියක් විපර්යාසයට ලක්වූ අන්දම පර්යේෂක කණ්ඩායම විසින් විස්තර කරනු ලැබ ඇත. මේ අස්ථිය වන මැක්සිලාව හෙවත් ඌර්ධ්ව හනුව(maxilla) ඩයිනසෝරයන්ගේ විශාලය. ඔවුන්ගේ උඩු දත් බොහොමයක් සවි වී ඇත්තේ එයටය. එහෙත් එය පක්ෂීන්ගේ ඉතා ක්ෂුද‍්‍ර අංගයක් ලෙස කුඩා වී ඇත. පෙර සිදු කළ පර්යේෂණ හා වර්තමාන අධ්‍යයන එක්කොට පර්යේෂකයෝ ඩයිනසෝර හොම්බෙහි අග්ගිස්ස, පක්ෂී හොටෙහි ප්‍රධාන කොටසක් බවට පත්ව ඇති අයුරු පෙන්වා දෙති. අනෙක් අතට ඩයිනසෝර හනුවේ දත් බහුලම කොටස නැත්තටම වාගේ නැති වී ගොස් ඇත.
‘කුකුළු සෝරයෙක්’ නිර්මාණය කිරීම භුලාර්ගේ අරමුණ නොවේ. එවැන්නක් ලොව පුරා විවිධ මාධ්‍යයන්හි ක්ෂණික අවධානය ඇදගන්නා බව සත්‍යයකි. එහෙත් එවැන්නකින් සිදුවන්නේ අවධානය වෙනතකට යොමුවී කාලය හා පරිණාමය විසින් අපට ලබා දී ඇති දායාද කෙරෙහි අවධානය යටපත් වීම යයි භුලාර් පවසයි. ‘සතුන්ගේ රූපාකරයේ (morphology) ඉතාමත් කුඩා කොටස්වල ජෙනෝම සාදන නියුක්ලෙයික් අම්ලයෙහි පවා ඊට වඩා වැදගත් අංග ගැබ්ව ඇත. ඒවා බාගවිට ජිවිතයේ ඉතිහාසය පමණක් නොව ජිවිතයේ අනාගතය පවා පැහැදිලි කර ගැනීමේදී මහෝපකාරීවන මහා සම්පතක් බවට පත්විය හැකි යයි භුලාර් විශ්වාස කරයි.
smithsonian.com හි Genetic Tweaks Are Revealing the Dinosaur Traits in Living Chickens