විදු නැන නුවණ – Science Literacy for All

පෘථිවියට ජලය ලැබුණේ කොයිබින්ද?

1447459768137අපේ මේ මහා පොළොවට ජලය ලැබුණේ කෙසේද යන්න දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයන්ට ප්‍රහෙළිකාවක් වශයෙන් පවතින කාරණාවකි. පෘථිවියට ජලය ස්වාභාවිකව දායාද කෙරුණේ මේ මිහිතලය මතට කඩා වැටුණු අයිස්මය ධූම කේතු මගිනැයි ජනප්‍රිය මතයකි. එහෙත්, බොහෝ ධූමකේතුවල ජලයෙහි රසායන සංයුතිය පෘථිවියේ සාගර ජලයෙහි සංයුතියට වඩා වෙනස්ය. ජලය අඩංගු පාෂාණමය ග්‍රහක ළමාවියේදී පෘථිවිය තෙමන්නට ඇත. එහෙත්, උල්කාෂ්ම (meteorites) ඒ කියන්නේ පොළොවට පතිත වන ග්‍රහකවල ඉතිරිවන සුන්බුන් විශලේෂණය කරන විට පෙනී යන්නේ ග්‍රහක කඩාවැටීමෙන් පසුව ඉතිරිවන ද්‍රව්‍ය අද පෘථිවි ග්‍රහයා මත නොමැති බවයි.

2AEEF3D900000578-3316880-Many_scientists_believe_the_early_Earth_was_too_hot_for_water_to-a-10_1447412993363

සයන්ස්(Science) සඟරාවෙහි පළ වූ ලිපියකින් මේ පිළිබඳව වෙනස් සිද්ධාන්තයක් සඳහා වූ සාක්ෂි සැපෙය්. ඉන් කියැවෙන්නේ ග්‍රහයෙකු තැනීමට ප්‍රමාණවත්ව රාශීභූත වු ධුලි කණිකා  (grains)  මත හිර වූ ජලය පෘථිවිය සෑදෙන කාලයේ පටන්ම තිබූ බවයි. යමහල් පාෂාණ මැනීමෙන් හැඟැවෙන්නේ පෘථිවියේ ජලයෙන් අඩුතරමින් කොටසක්වත් එවැනි මූලාවස්තික ප්‍රභවයකින්(primordial origins) යුක්ත බවයි. කොලරාඩෝ බෝල්ඩර් සරසවියේ භූ විද්‍යාඥ ස්ටීව් මොයිසිස් පෙන්වා දෙන්නේ පෘථිවිය ඇවකාඩෝ (අලිගැට පේර) ගෙඩියක් බඳුය කියාය. ඇවකාඩෝ ගෙඩියේ සිවිය(පොත්ත) පෘථිවියේ කබොල (Earth’s crust) බඳුය. එහි ඇටය පෘථිවියේ හරය(core) වැනිය. ඒ දෙක අතරතුර මදය පෙන්නුම් කරන්නේ පෘථිවියේ ප‍්‍රාවරණය(mantle)යි.  පෘථිවි ග්‍රහයාගේ ඉතිහාස තුළ භූ තාරකා බලවේග(tectonic forces) මගින් පෘථිවි කඩොල සහ ප්‍රාවරණයේ උඩ කොටස් එකට කලතන ලද්දේ එම මිශ්‍රනයට  පෘථිවිය සෞර ග්‍රහමණ්ඩලයේ වෙනත් පාෂාණමය වස්තූන් හැටීමෙන් අලුත් ද්‍රව්‍ය එකතු කරමිනි. එහෙත් ප්‍රාවරණයේ ගැඹුරු කොටස් සාපේක්ෂව නොවෙනස්ව පැවතිණ. එහි සිට යමහල් හරහා පෘථිවිය මතුපිටට ගමන් කරන ද්‍රව්‍ය, ග්‍රහයන් මුල්කාලයේ හැඩගැස්වීම ගැන යම් හෝඩුවාවල් සැපයීමට පුළුවන.

mud-volcanoes-isua-greenland

මුල් කාලින ජලයෙහි රසායනික සෙවීම පිණිස ග්‍රාහීය විද්‍යාඥවරියක් (planetary scientist) වන ලිඩියා හැලිස් සහ සගයෝ ඒ ආකාර යමහල් පාෂාණ අධ්‍යයන කළහ. අයිස්ලන්තයෙන් සහ කැනඩාවේ බැෆින් දූපතෙන් ‍ ලබාගත් සාම්පලවල ප්‍රවාරණයේ ගැඹුරුතම ගැබින් මතු වූ ද්‍රව්‍ය අඩංගුව තිබිණ. එවැනි ද්‍රව්‍ය උඩට මතු වී පෘථිවි පෘෂ්ඨය වෙත පැමිණ ලාවා ලෙස පිටාරයාමේදී ඉක්මනින් ඝන වී ද්‍රවිත්ත අන්තර්ගතය(melt inclusions) ලෙස හැඳින්වෙන ස්ඵටිකායිත බුබුළු තුළ ප්‍රවාරණයේ ගැඹුරින් ආ ජලය හා අනෙකුත් සංයෝග හසුකර ගනී. මේවා වාෂ්පීකරණය කොට ස්කන්ධ වර්ණාවලීමානයක් මාර්ගයෙන් ඒවායේ සංයුතිය විශ්ලේෂණය කිරීමට පර්යේෂකයෝ සමත් වූහ. අනතුරුව ඔවුහු හයිඩ්‍රජන් සමස්ථානික දෙකෙහි – සාමාන්‍ය හයිඩ්‍රජන් සහ ඩියුටීරියම්(සාමාන්‍ය සමස්ථානි-කයකට වඩා දෙගුණයක ස්කන්ධයක් ඇති සමස්ථානිකයක්) යන දෙකෙහි අනුපාත විභාග කර බැලූහ. මේ සමස්ථානික දෙකෙන් ඕනෑම එකකට හයිඩ්‍රජන් හා ඔක්සිජන් හා එක්ව ජලය සෑදිය හැකිය. සමස්ථානිකවල අනුපාතයට ජලය ප්‍රභවයෙහි ලෙස ක්‍රියා කළ හැකිය.

අන්තර්ගතයන්(inclusions) හි  ඩියුටීරියම් මට්ටම, පෘථිවියේ සාගරවල ජලය හා සසඳන විට සාපේක්ෂව පහළ පැවතිණ. එහෙත් ඒවා ඇතැම් උල්කාෂ්ම කුලවල ඇති ඒවාට සමානය. ඉන් ඉඟි කරන්නේ පෘථිවිය සහ උල්කාෂ්මයේ මාපිය(මුල්)  ග්‍රහකය සමාන ආකාරවලට සෑදෙන්න ඇත යන්නය. ගැඹුරින් එන ද්‍රව්‍යවල අඩු අනුපාතය හේතුවෙන් පෘථිවියේ මතුපිටට නැග ඒමේදී මෙන්ම ඉහළ ප්‍රවාරණයෙන් ඩියුටීරියම් ගනිද්දී ද්‍රව්‍යවල අනුපාතය තවත් පහළට යන බව පර්යේෂකයෝ තර්ක කරති. ඔවුන්ගේ සාම්පලවල ඇති  ජලයෙන් 20‍%ක් පමණ පෘථිවිය මුලින් සෑදෙන විටත් තිබෙන්නට ඇති බවයි පර්යේෂකයන්ගේ මතය. සෞර ග්‍රහ මණ්ඩලය සෑදෙන අවධියේදී කැ‍රකෙන තැටිය දූවිලි කණිකාවලට ජලය ඇළී තිබීමෙන් මෙය සිදුවන්නට ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

Lava_flow_at_Krafla,_1984

(සෞරග්‍රහ මණ්ඩලය බිහි වූ) ඒ ආදිතම තැටියේ පෘථිවිය තිබූ ස්ථානය අධික රස්නයකින් යුක්ත වුණත්, කණිකාවල  හැඩ පෘෂ්ඨයක් තිබුණි නම් ඒවාට ඕනෑතරම් ජලය රැස්කර ගැනීමට හැකිව තිබෙන්නට ඇති බව ගණනය කිරීම් හඟවයි. ලොස් ඇන්ජලීස් නුවර කැලිෆෝනියා සරසවියේ ග්‍රාහීය විද්‍යාඥ ඩේවිඩ් ජෙවිට් පවසන්නේ අවිනිශ්චතා තිබුණේ වී නමුත් මෙය සිත් ආකර්ෂණය කරන ගණනය කිරීමක් බවයි. පෘථිවියෙහි ඇති ජලය සියල්ල සඳහා එක මූලයක් නොව වැඩි මූල ගණනක් තිබෙන්නට ඇත යන්න ඔහුගේ අදහසයි. අපට දැනට ඇති ජලය මූලයන් කිහිපයකින් ලැබුණු ඒවායේ මෙන්ම තවම අපට සිතා ගන්නට අපොහොසත් මූලයන්ගෙන්ද ලද ඒවායේ සම්මිශ්‍රණයක් වෙන්න පුළුවනි යයි ඔහු කියා හිටියි. තවත් සාම්පල එකතු කිරීම සඳහා බෆින් දූපතට යාමට කැමැත්තෙන් සිටින ලිඩියා හැලිස් කියා සිටින්නේ තව සාම්පල  සපයා ගැනීමෙන් පෘථිවිය ආරම්භයේ තිබූ  ජලය පිළිබඳ මීට වඩා අවබෝධයක් ලබා ගත හැකි බවයි.

Scientific American හි  Volcanic Rock Hints at Source of Earth’s Water ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: