මෙයට ශත වර්ෂයකට පෙර ගත්තොත්, දරුණු බරපතළ තුවාල ලත් අය හෝ දරුණු රෝගාබාධවලට ලක්වූ අය ඒ හා සමගම වාගේ ජීවිතක්ෂයට පත් වූහ. බොහෝ දෙනා අස්වැසුමකට වැඩි යමක් වෛද්‍යවරුන්ගෙන් බලාපොරොත්තු නොවූහ. අද වෛද්‍ය වෘත්තියේ ප්රගමනයත් සමගම බරපතළ රෝගාබාධවලින් පෙළෙන අයගේ ජීවිත කාලය දීර්ඝ කිරීමේ හැකියාව වර්ධනය වී ඇති හෙයින් එවැනි රෝගීන් අතර මරණය වනාහි (දින නියමක් නොමැතිව) අනියතව කල් දමා ගත හැකි සිද්ධියක්ය යන වැරදි මතය ප්‍රචලිත වී තිබේ. මරණය යනු ජීවිතයේ නෛසර්ගික අංගයකි. එමෙන්ම මරණය හා මරණය කරා ළඟාවීම (dying) ඇතුළුව රෝගාබාධවල ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි තත්ත්වයන් (විපාක) ගැන සාකච්ඡා කිරීම සුව උවටැනෙහි (health care) වැදගත් කොටසකි.
එවැනි සාකච්ඡාවක් සම්බන්ධයෙන් ඔවුන් භාවිත කරන වදන්වල (භාෂාව) මෙන්ම ඔවුනට පහසුවක් දැනෙන මට්ටම ගැන වෛද්‍යවරුන් හා රෝගීන් අතර වෙනස්කම් පවතී. තවද, තොරතුරු ප්‍රමාණය හා තමන්ට අවශ්‍යවන තීරණය ගැනීමේදී ඊට සම්බන්ධවන ප්‍රමාණය සම්බන්ධ පහසුවක් දැනෙන මට්ටම සම්බන්ධයෙන්ද වෙනස් කම් පවතී. බරපතලව රෝගාතුර වී සිටින්නන් මෙන්ම ඔවුන්ගේ නෑ හිතවතුන් ද රෝගයේ ඉදිරි මග කුමක් විය හැකිද යන්න එලෙසම ඔවුනට සුවිශේෂීවන දුබලතා හා පවුල් තත්ත්වයන් ගැන ද අවබෝධ කර ගැනීමට පොදුවේ උත්සාහ කළ යුතුය. ප්‍රතිකාර සහ පවුලේ සහයෝගය ගැන දැනගැනීමට ඇති දෑ පිළිබඳව ජනයාගේ තේරීමක් හෙවත් වරණයක් (විශේෂ කැමැත්තක්) ඇතොත් එය දැක්විය යුතුය. සිය ජීවිත කාලය අවසානය ආසන්නයේ දී ලබා ගැනීමට වුවමනා උවටැන් ගැනඇති තම මනාපය පිළිබඳව සිය පවුල්වල අයවළුන් හා සුවසේවා උවටැන් සපයන්නන් සමගත් කතා බහ නොකරන පුද්ගලයින් තමන්ට වුවමනා නොවන්නා වූ (රස චිකිත්සාව, ශල්‍ය කර්ම වැනි) ප්‍රතිකාර ක්‍රම ලබා ගැනීමට හෝ (රෝහලක හෝ පෞද්ගලික හෙද නිවාසයක වැනි) ස්ථානයක ගතකිරීමට සිදු වෙන්නට ඉඩ තිබේ.
මරණය සඳහා සූදානම් වීම යන්නෙන් බොහෝ විට හැඟෙන්නේ ජීවිත කාලයක වැඩ නිමා කිරීමයි. පවුල හා හිතවතුන් සමග සබඳතා තේරුම් බේරුම් කර ගැනීම හා නොවැළැක්විය හැකි යථාර්තය පිළිගැනීම ඇතුළුව මරණාභිමුඛව සිටින්නන් හා ඔවුන්ගේ පවුලේ අයවළුන් බොහෝ දෙනෙකුට අධ්‍යාත්මික හා ආගමික කරුණු කාරනා වැදගත්ය. පූජක පක්ෂයේ සාමාජිකයෙකු යනු ඇතැම් ගිලන් නිවාස සහ රෝහල්වල සුවසේවා කණ්ඩායමේම සාමාජිකයෙකි. පූජකවරයෙකු හෝ වෙනත් අධ්‍යාත්මික නායකයෙකු සමග සබඳතා නොමැති මරණාසන්න රෝගීන්ට හා පවුලේ අයවළුන්ට මේ සම්බන්ධයෙන් සහාය දැක්වීමට වෘත්තිය උවටැන් සේවා සපයන්නන්ට හැකියාව තිබේ.
මරණාපේක්ෂාව ජිවිතයෙහි ස්වභාවය හා අර්ථය එමෙන්ම වද වේදනා විඳීම හා මරණයට පැමිණීම පිළිබඳව ප්‍රශ්න මතු කරයි. මේ මූලික ප්‍රශ්නවලට පහසු විසඳුම් ඇත්තේ ද නැත. බරපතළ ලෙස රෝගාතුරව සිටින්නන් සහ ඔවුන්ගේ පවුල්වල අයට විසඳුම් සොයා යාමේදී තමන්ගේ සම්පත්, ආගම, උපදේශකයන්, මිත්‍රයන් සහ පර්යේෂණ උපයෝගී කර ගැනීමට හෝ ඒවා වෙත නැඹුරුවීමට පුළුවන. ඔවුනට කතාබහ කිරීමට, ආගමික හෝ පවුලේ වතාවත්වලට සහභාගිවීමට හෝ අර්ථවත් ක්‍රියාකාරකම්වල නිරත වීමට හැකිය. වෙනත් අයෙකු විසින් ආදරයෙන් ඇල්මෙන් රැක බලා ගනු ලබන්නේය යන හැඟීම නෂ්ටාපේක්ෂාව මග හරවා ගැනිමට බොහෝ විට ඇති හොඳම මගයි. වඩාත් වැදගත් හා පුළුල් ප්‍රශ්න, අර්ථවත් අත්දැකීම් සහ වැදගත් මානව සම්බන්ධතා නිමක් නැති රෝග විනිශ්චයන් සහ වෛද්‍ය ප්‍රතිකාර මාලාවන් මගින් අකාමකා යටපත් කර දැමීමට ඉඩ නොදිය යුතුය.
කම්පාවීම, අපේක්ෂිත මරණයට කලින් සාමාන්‍යයෙන් ආරම්භ වන ක්රියාදාමයකි. මරණය සහ මරණයට පැමිණීම ගැන අධ්‍යයනය කරන පුරෝගාමී විද්‍යාඥවරියක වන එලිසබෙත් කුබ්ලර්-රෝස් පෙන්වා දෙන අන්දමට මරණය කරා ළඟා වෙන පුද්ගලයෝ බොහෝ විට චිත්ත වේගී අවධි පහක් අත් දකිති : ප්‍රතිෂේධනය (නොපිළිගැනීමdenial), කෝපය(anger), හෙට්ටු කිරීම හෙවත් කේවල් කිරීම(bargaining), මානසික අවපාතය (විශාදය depression) සහ ප්‍රතිගහණය(පිළිගැනීම acceptance).
මෙම අවධි දළ වශයෙන් පෙළට අත් දකින නමුත් ඕනෑම පිළිවෙළකට සිදු විය හැකිය. ප්රතිෂේධන අවධියේ සිටින අය, තමන් මිය නොයන්නේය යන සෙයියාවෙන් ක්‍රියාකිරීමට, කතා කිරීමට හෝ සිතීමට පෙළඹෙති. සාමාන්‍යයෙන් ප්‍රතිෂේධනය යනු, ජීවිතයේ කටයුතු තම පාලනයෙන් මිදීම ගැන, ප්‍රියයන්ගෙන් වෙන්වීමගැන, අපැහැදිලි අනාගතය ගැන සහ වද වේදනා විඳිම ගැන ඇති වන අතිමහත් බිය කෙරෙහි දක්වන තාවකාලික ප්රතිචාරයකි. වෛද්‍යවරයෙකු හෝ වෙනත් සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු හා කතා බස් කිරීමෙන් ජීවිතයේ කටයුතු තමන්ගේ පාලනය යටතේ තබා ගැනීමට තවදුරටත් හැකි බව, අස්වසා සිටීමට හා අස්වසනු ලැබීමට පාත්රවීමට හැකි බව මරණයට පත්වෙමින් සිටින්නන්ට අවබෝධ කරවීම පිණිස උපකාරී විය හැකිය. කෝපය දනවන්නේ අසාධාරණයක් පිළිබඳ හැඟීමකි. ‘ඇයි මටම මෙහෙම වෙන්නේ?’ හෙට්ටු කිරීම මරණය සමග තර්ක විතර්කවලට එළඹීමේ සංඥාවක් විය හැකිය. එයින් අදහස් කරන්නේ තවත් කල් පමා කර ගැනීමයි. හෙට්ටු කිරීම සහ අනෙකුත් උපාය මාර්ග සාර්ථක නොවන බව ඒත්තු ගිය කල මානසික අවපාතය (විශාදය) වර්ධනය විය හැකිය. අනිවාර්යයෙන් සිදුවන දෙයට (නියතය) මුහුණ දීම යනුවෙන් ද ඇතැම්විට විස්තර වෙන (පිළිගැනීම) පවුලේ අය මිතුරන් සහ උවටැන් සේවා සපයන්නන් හා කතාබස් කිරීමෙන් පසුව එළඹිය හැකි අවධියයි.
මරණයට සූදානම්වීම යනු චිත්තවේගී උච්චාවචනයන් (උස්පහත්වීම්) සහිත අසීරු කටයුත්තකි. එහෙත් බොහෝ අයට එය අලුත් අවබෝධයකට එළඹීමට සහ ඒ අවබෝධය ඔස්සේ ඉදිරියට යාමට ඇති කාලයකි. අතීත වේදනා සමනය කර ගැනීමෙන්, සම්බන්ධතාවල අඩුපාඩු මකා ගැනීමෙන් සහ තමන් ආදරයකරන්නන් සඳහා කටයුතු සම්පාදනය කිරීමෙන් මරණයට ළඟා වන්නට සහ ඔවුන්ගේ පවුල්වල අයට බොහෝ විට ඉමහත් සැනසිලිදායක හැඟීමක් ඇතිකර ගත හැකිය.
MSD Manual (Consumer Version) හි Acceptance of Death and Dying – Fundamentals ලිපිය ඇසුරෙනි