විදු නැන නුවණ – Science Literacy for All

දේශගුණ ගැටළුවලට පිළියම් ලෙස න්‍යෂ්ටික බලය කෙරෙහි යළි අවධානය

ලොව කාබන් විමොචන අඩුකිරීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා තාක්ෂණ විකල්ප සියල්ලම උපයෝගී කර ගත යුතු යයි විද්‍යාඥයන් පිරිසක් කියා සිටිති. ක්‍රි.ව. 2030 වන විට උෂ්ණත්වයක ඉහළ යාම සෙල්සියස් 2 කට (2 ක්‍ ) සීමා කරගැනීමේ ඉලක්කයක් සපුරාගැනීම අරමුණයි. මෙහිදී න්‍යෂ්ටික බලය කෙරෙහි යළි අවධානය යොමු කළ යුතු යයි නාසා (NASA)ආයතනයේ හිටපු දේශගුණ විද්‍යාඥ ජේම්ස් හැන්සන් කියා සිටියි.  පැරිසියේ  දේශගුණික සාකච්ඡාවලට සහභාගිවන ඔහු කණ්ඩායම් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ‘කාලගුණික විපර්යාසයන්ට  විසඳුම් සෙවීමේදී න්‍යෂ්ටික බලයට විශේෂයෙන්ම මීළඟ පරපුරේ න්‍යෂ්ටික බලය යොදා ගැනීම පිණිස ඉමහත් විභවයක් ඇත.’ යනුවෙනි. “ෆොසිල  ඉන්ධනවලින් සිදුවන අනතුර අප අභිමුඛයට පැමිණි ඇති අවධියේ න්‍යෂ්ටික බලයද ඇතුළුව අප සතු සියලු විකල්ප යොදා නොගන්නවා කියන්නේ විශාල මෝඩකමක්“ යයි හැන්සන් සහ සගයෝ කියා සිටිති. මේ මතය දරන පිරිසට කාලගුණ විද්‍යාඥයන් සහ වායුගෝලීය විද්‍යාඥයන්ද ඇතුළත්ය. න්‍යෂ්ටික බලය යොදා ගැනීම ගැන විරුද්ධවන ග්‍රීන් පීස් වැනි කණ්ඩායම්වල මතය හා මෙම විද්‍යාඥයන්ගේ මතය ගැටේ.

පැරිස් සාකච්ඡාවලදී ක්‍රි.ව. 2030 දක්වා සිදු කළ යුතු විමෝචන අඩුකිරීම ගැන ලොව රටවල් යෝජනා ඉදිරිපත් කර ඇති අතර 2100 වන විට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.7 සිට 3.7  දක්වා ඉහළ යාමට දෙකට එකක හැකියාවක්, ඉඩකඩක් ඇතැයි විද්‍යාඥයන් විසින් ගණන් බලා තිබේ. උෂ්ණත්වයක ඉහළ යාම සෙල්සියස් අංශක 2කට සීමා කිරීම සහ වායුගෝලීය කාබන් ඩයොක්සයිඞ් මට්ටම මිලියනයකට කොටස් 450ක මට්ටමේ ස්ථාවරව තබා ගැනීම රටවල අපේක්ෂාවයි. දැනට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් මට්ටම මිලියනයකට කොටස් 400 කි. එහෙයින්, ක්‍රි.ව. 2030ට පසු සෙල්සියස් 2ක උෂ්ණත්ව ඉලක්කය සපුරා ගැනීම පිණිස සිදු කළ යුතු කාර්යයන් ගැන දැන් විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබේ එනම් කාබන් අඩුවෙන් විමෝචනය කරන බලශක්ති පද්ධති පරිණාමනයක්. මේ සඳහා සියලු විකල්ප ඒ කියන්නේ න්‍යෂ්ටික බලයද ඇතුළත් සියලු විකල්ප යොදා ගත යුතු යයි යන්න මෙම විද්‍යාඥයන්ගේ මතයයි.

මෙම ඉලක්කය සපුරා ගැනීම පිණිස පුනර්ජන බලශක්තිය පමණක් ප්‍රමාණවත් වේ යනුවෙන් ප්‍රබල මත රැල්ලක් පවතී. මෙය කනස්සල්ල ඇතිකරන්නකි යයි ඇඩිලේඞ් සරසවියේ දේශ ගුණ විද්‍යාඥ ටොම් විග්ලි පවසයි. ‘හරිතාගාර විමෝචන අඩුකිරීමේ සිය වැඩසටහන්වලට න්‍යෂ්ටික බලය යොදා ගැනීමේ හැකියාව ඇතුළත් කර ඇති ආණ්ඩු ලොව ඇත්තේ ඉතාමත් ස්වල්පයක්. න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට යන දීර්ඝ කාලය සැලකිල්ලට ගෙන මෙම තාක්ෂණය කෙරෙහි ලොවේ රටවල් ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු යයි ඔහු කියා සිටී. විවෘතව තිබෙන සියලු මාර්ග මේ ඉලක්ක සපුරා ගැනීම පිණිස යොදා ගත යුතු යයි මෙම විද්‍යාඥයන් පිරිස අවධාරණය කරන්නේ එම ඉලක්කය සපුරා ගැනීම පවා ප්‍රමාණවත් නොවන බැවින් යයි කියති. සිදුවිය හැකි මුහුදු මට්ටමේ ඉහළ යාම හේතුවෙන් ලොව ඇතැම් ප්‍රදේශවල වෙරළබඩ ප්‍රදේශවලට තර්ජන එල්ල වන බව හැන්සන් අවධාරණය කරයි.

ලොව රටවල් පැරිස් ප්‍රතිඥාවන් සපුරාලමින් 2030 න් පසුවද සියයට 5 ක අනුපාතයකින් දිගටම කාබන් ඉවත්කිරීම සිදු කරගෙන යන්නේ නම් සෙල්සියස් අංශක 4ක උෂ්ණත්වය කරා ළඟා වීම මග හරහා ගත හැකි වීමට හතරෙන් තුනක අවස්ථාවක් ඇතිවීමට බොහෝ දුරට ඉඩ තිබේ. ි එවැනි උෂ්ණත්වයකින් පෘථිවි පද්ධතියට නැවත නිවැරදි කළ නොහැකි හානි සිදුවන අතර විපත්තිදායක දේශගුණික විපර්යාසයන්ටද මුල පුරයි.

ස්ටැන්ෆර්ඞ් සරසවියේ සිවිල් හා පාරිසරික ඉංජිනේරු මහාචාර්යවරයකු වන මාක් ජේකබ්සන් මෙයට වෙනස් මතයක් දරන්නෙකි. පුනර්ජනය බලශක්තිය පමණක් යොදා ගනිමින් සෙල්සියන් අංශක 2ක ඉලක්කය සපුරා ගැනීමට පමණක් නොව මිලියනයකට කොටස් 450 ක නොව 350ක ස්ථාවර භාවයක් අත්පත් කර ගැනීමට පවා හැකි යයි ඔහු තරයේ කියා සිටියි. මෙම පරිණාමනය සඳහා යෝජනා කෙරෙන තාක්ෂණය වනුයේ සුළං, ජලය හා සූර්ය බලශක්ති යයි. ඒවා දැනටමත් පවතින ඒවාය. ෆොසිල ඉන්ධන පදනම් කරගත් බලශක්ති පද්ධති වෙනුවට 2050 වන විට සම්පූර්ණයෙන්ම ඒවා ආදේශ කළ හැකි යයි ඔහු තර්ක කරයි. ඔහුගේ යෝජනාවලට න්‍යෂ්ටික බලය ඇතුළත් නොවේ. න්‍යෂ්ටික බලශක්ති බලාගාර ගොඩ නැගීමට දශක දෙකක් ගතවෙන අතර ඒවාට අවශ්‍ය යුරේනියම් ඉන්ධන කැණීම් කාබන් දූෂණය ඇති කරවන්නකැයි ඔහු පෙන්වා දෙයි. මෙම ඉලක්ක සපුරා ගැනීමට ඇති එකම බාධා ඇතැමුන් සාමාජයීය හා දේශපාලන සාධක මත එය ක්‍රියාත්මක කිරීම විරුද්ධවීම යයි ජේකබ්සන් අදහස් කරයි.

එහෙත්, අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීම වස් සිදු කළ යුතු න්‍යෂ්ටික බලය යොදාගැනිම වැනි බලශක්ති පරිණාමනයන් වෙනුවෙන් වැයවෙන වියදම අඩුකිරීම පිණිස වඩ වඩාත් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කළ යුතු බව අනෙක් මත දරන විද්‍යාඥයන් පෙන්වා දෙති. ඉතා මෑතක පවිත්‍ර බලශක්ති පර්යේෂණ (clean energy research) සඳහා  ඩොලර් බිලියන 2ක අරමුදලක් ලබා දීමට බිල් ගේට්ස් ප්‍රමුඛ Breakthrough Energy Coalition නම් සන්ධානය ඉදිරිපත් වී ඇත. මෙම ඉලක්ක සපුරා ගැනීමේදී වඩාත් වැදගත් වන්නේ නව තාක්ෂණය යොදා ගැනීමේ පිරිවැය අඩු මට්ටමක ගෙන ඒම යයි මෙම මතය දරන විදයාඥයෝ කල්පනා කරති.

Scientific American හි  Nuclear Power Must Make a Comeback for Climate’s Sake ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: