සැමට විදු නැන නුවණ – Science Literacy for All

ස්කොට්ලන්ත වෙරළබඩ තීරයකින් ඩයනසෝර පා සටහන සොයා ගැනේ

ස්කොට්ලන්තය ගැන කතා කරන කොට මතකයට එන දේවල් අතර ලොක් නෙස් නම් අද්භූත සත්වයා සඳහන් කළ යුතුමයි. ලොක් නෙස් මිථ්‍යා කතාවල එන්නක් හැටියට බොහෝ දෙනා කල්පනා කරන්නේ. ඒත්, මේ මහ පොළොව මත මෙතෙක් ඇවිද ගිය විශාලතම ඩයිනසෝර විශේෂයකට ස්කොට්ලන්තය නිවහන වූ බව නම් මිථ්‍යාවක් නොවෙයි. මෑතක ෆොසිල අධ්‍යායන විද්‍යාඥයන් විසින් ස්කයි දූපත් වෙරළබඩ ෆොසිලගත පා සටහන් (fossilized footprints) සිය ගණනක් සොයා ගැනීමමෙන් මෙය සනාථ වේ. මේ පාසටහන් සෑදී ඇත්තේ (ශාක භක්ෂක ඩයිනසෝර විශේෂයක් වන) සෝරපොඞ් (sauropods) සතුන් පුරාතන වගුරු බිම් මත එහෙ මෙහෙ ඇවිදිමින් සැරි සැරීමෙනි.

මේවා බැලූ බැල්මට සිතෙන්නේ සාගර ඉමෙහි ඇති පාෂාණ මත කෙටී ගිය ගල්වන කිහිපයක් යනුවෙනි. එහෙත්, මැද ජුරාසික යුගයේ දී මෙම ඉසව්ව, කිවුල්දිය කළපුවකි. එය දිගු ගෙල සහිත දැවැන්ත සොරපොඩයන්ගේ නිජ බිමක් විය. මේ ඩයිනසෝර විශේෂය අඩි 50 ක් තරම් විශාලව වැඩුණු අතර බරින් ටොන් 20ක් පමණ විය. ‘ ස්කයිහි මෙම පා මැඩුණු මග (tracksite), මෙතෙක් ස්කොට්ලන්තයෙන් ලබා ගත් වඩාත්ම වැදගත් ඩයිනසෝර සොයා ගැනීමය‘යි. එඩින්බරග් සරසවියේ ෆොසිල අධ්‍යයන විද්‍යාඥ ස්ටීව් බෲසැට් කියා සිටියි. ‘එකිනෙක හරහා යන පා මැඩුණු මං කොපමණ නම් ඇත්ද කීවොත් ගල් මත සුරක්ෂිතව සටහන්ව තිබෙන ඩයිනසෝර පා සටහන් ඩිස්කෝ නැටුමක නටබුන් බඳුය. මෙයට වසර මිලියන 170 පෙර මේ පා සටහන් සෑදෙන්නට ඇත්තේ ස්කොට්ලන්තය අදට වඩා බෙහෙවින් උණුසුම්ව පැවති වකවානුවේ  ඩයිනසෝරයන් කළපුව හරහා ගමන් කිරීමේදීයි.

Dina

මෙතෙක් විද්‍යාඥයන් තොරතුරු ඉතා අඩුවෙන් දන්නා යුගයක් පිළිබඳ කිසියම් ආලෝකයක්  හෙලීමට මේ නව සොයා ගැනීම නිසාවෙන් හැකි වෙයි. මැද ජුරාසික යුගය, ඩයිනසෝර පරිණාමයේ වඩාත්ම අඩුවෙන් අවබෝධ කරගත් කාල වකවානුවකි. ඊට හේතුව එම කාලයෙන් පසුව පාෂාණමය සුරක්ෂිත වූ ඩයිනසේර අස්ථි දුර්ලභ වීම බව බෲසැට් පෙන්වා දෙයි. අහළ පහළ සැකිල්ලක් සොයා ගන්නේ නැතුව පා සටහන් තබා ඇත්තේ කුමන විශේෂයෙක් දැයි නිගමනය කිරීම විද්‍යාඥයන්ට උගහටය. එහෙත් පා සළකුණු කොපමණ නම් විස්තර සහිතව සටහන් වී ඇත්ද කීවොත් බ්‍රොන්ටෝසෝරසයන්ගේ මුල් කාලයේ ඥාති සහෝදර විශේෂයක් වූ සෙටියෝසෝරයන් (Cetiosaurus) වැනි සෝරපෝඩයන්ට ඒවා අයත් බව හඳුනාගැනීම බෲසැට් ප්‍රමුඛ සගයන්ට හැකි වී ඇත. කෙසේ වෙතත්, විද්‍යාඥයන්ට විමතියක් ඇති කළ කාරනාව වුණේ මෙකී ඩයිනසෝරයන් අඩු තරමින් ඔවුන්ගේ ජීවිතයේදී ටික කාලයක්වත් ජලයේ බර අඩි තබමින් එහා මෙහා යන්නට ඇත යන්නයි.

සෝරපොඩයන් කොපමණ නම් විශාලද කියතොත් විද්‍යාඥයන්ගේ විශ්වාසය වූයේ මෙම දිගු ගෙල ශාක භක්ෂකයන්ට සිය ‘බරපතල’ සිරුරු හේතුකොටගෙන වගුරු බිම් හා වෙරළ බඩ එහෙ මෙහෙ යාමට හැකියාව නොතිබූ බවයි. එහෙත් 1970 සහ 80 ගණන්වල දී නව ෆොසිල සොයා ගැනීමක් සමගම එම මතය විසි වී ගියේය. ඒ, සෝරපොඩයන් හොඳ හැටි ගොඩබිම සක්මන් කළ හැකි බව එම ෆොසිල සොයාගැනීම්වලින් තහවුරුවීමෙන්ය. දැන් මෙම නව සොයා ගැනීම සහ වෙනත් එවැනි ෆොසිල අඩවිවලින් සොයා ගත් කරුණු අනුව බෲසැට් විශ්වාස කරන්නේ මේ දැවැන්තයන් වැඩිකොටම ගොඩ බිම ජීවත් වූයේ වී නමුත් ඔවුන්ගේ ජීවිතයෙන් සැලකිය යුතු කොටසක් ජලයෙහි ද ගත කරන්නට ඉඩ ඇති බවයි.

බාගදා මේ කළපුවල ආහාර සුලබව තිබෙන්නට ඇති. එහෙත් නැතිනම් ඒවායේ දී විලෝපියන්ගෙන් ආරක්ෂා වී සිටීමට හැකියාව තිබෙන්නට ඇත. ඒ දෙකෙන් කුමක් වුණත් ස්කොට්ලන්තයෙන් මේ ලැබුණු ෆොසිල මෙන්ම වෙනත් තැන්වලත් මෑතක සොයා ගත් ෆොසිල අපව අනුප්‍රාණවත් කරන්නේ මෙලොව පහළ වූ මේ පුදුමාකාර යෝධ සතුන්ගේ ජීවන රටාවන් යළි සලකා බැලීම  යයි බෲසැට් කියා සිටියි.  හේතු සාධක කුමක් වුවත් ස්කොට්ලන්ත වෙරළ බඩ අවට මෙම ඩයිනසොරයන් සැරි සැරූ බවත් මේ දැවැන්ත උරගයන් ගැන ඉගෙනීමට විද්‍යාඥයන්ට තවත් බොහෝ දේ ඇති බවත් ස්කොට්ලන්ත ස්කයි දූපත වෙරළබඩ පා සටහන් පෙන්වා දෙයි.

Smithsonian, Smart News හි  Hundreds of Dinosaur Tracks Discovered Along the Scottish Coast ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: