සාරය වශයෙන් ගත් කළ මිනිස් සිරුර ක්‍රියාකරන්නේ සුවිශාල සමාජයක් ලෙසය. ඔව්, බහුසෛල සමාජයක් ලෙසය. තදින් එකට බැඳී සිටින මෙම ප්‍රජාව තුළ ට්‍රිලියන ගණන් සෛල, සිය ගණනක් වූ විවිධ පටක ලෙස සංවිධානය වි ජීවියාගේ පොදු යහපත පිණිස ක්‍රියාකරයි. සමහර සෛල ආහාර ශක්තිය බවට හරවයි. තවත් සමහරක් සෛල සිරුර පුරා ඔක්සිජන් හෝ පෝෂක ප්‍රවානය කරයි. සමහරකට පැවරී ඇත්තේ ලෙඩ රෝග ආසාදනවලට එරහිව සටන් කිරීමය. ඇතැම් සෛල ජීවියාගේ ජාන තවත් ඉදිරි පරම්පරාවක් වෙත රැගෙන යයි. එහෙත් ජන සමාජයේ මෙන්ම සෛල සමාජයේද හිතුවක්කාර සාමාජිකයන් විරල නැත. එවැනි සෛල ජීවීන්ට උපද්‍රව පමුණුවයි.
සෛලවලට තනිව ප්‍රජනනය කළ හැකි බව අපි දනිමු. කැරලිකාර සෛල, ෙසසු සෛල අනුගමනය කරන මගින් බැහැරව ගොස් යොදා ගනු ලබන්නේ මෙකී ප්‍රජනන හැකියාවයි.
ප්‍රජනනය කිරීමේ හැකියාව එක් තනි සෛලයක් ආක්රමණකාරි ලෙස යොදාගත් විට එමෙන්ම අනෙකුත් පටක ආක්‍රමණය කළ විට පිළිකාව හට ගනී. මෙකී කැරලිකාර සෛලය ඊට පැවරී ඇති භූමිකාව අත්හැර ඒ වෙනුවට බෝවෙමින් අවසානයේදී සිරුරේ ඊට අයත් නැති ප්‍රදේශවලදී ගණාවාස පිහිටුවීමට පටන් ගනී. පාලනයක් සිදු නො කොළොත් මෙකී අරාජිකත්වය පෙරකී බහුසෛල සමාජය විනාශ කිරීමට ක්‍රියා කරයි. එය සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවමින් අවයව විනාශ කර අවසානයේදී ජීවියා මරුමුවට පත් කරයි.
පිළිකා පැතිරෙන්නට පටන් ගත් කළ ඒවා සමුලෝත්පාටනය කිරීම උගහටය. ඊට හේතුව පිළිකා සෛල සිරුරෙන්ම හට ගන්නා නිසාවෙනි. එනිසා සාමාන්‍ය සෛල හා පිළිකා සෛල වෙන්කොට හඳුනා ගැනීමට සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියට නොහැකි වෙයි. ප්‍රතිජිවක භාවිතය ද ඵල රහිතය. මන්ද, ඒවා සකසා ඇත්තේ ක්ෂුද්රජීවී ආක්‍රමණිකයන් ඉවත් කර දැමීම පිණිස නිසාවෙනි. රස චිකිත්සාව (chemotherapy) හා විකිරණ චිකිත්සාව(radiation) මගින් පිළිකා සෛල විනාශ කළ හැකිවේ. එහෙත් ඒවා සිරුරේ අනෙකුත් සෛල ද මරා දමයි.
පිළිකාවට ප්‍රතිකාරයක් සෙවීම සංකීර්ණ වී ඇත්තේ පිළිකාව යනු එක් තනි රෝගයක් නොවන්නේය යන කාරණාව හේතුකොට ගෙනය. වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් විසින් අඩුතරමින් පිළිකා වර්ග 200 ක් වත් හඳුනා ගනු ලැබ ඇත. ඒ කියන්නේ, සිරුරේ පටක වර්ග තිබෙන ප්‍රමාණයට ම දළ වශයෙන් සමාන සංඛ්‍යාවක් පිළිකා වර්ග ද ඇත. බහුලව ප්රජනනයවීමේ හා පිටස්තර පටක ආක්‍රමණය කිරීමේ හැකියාව යන මූලික ගුණාංග අතර සමානකම් තිබුණේ වී නමුත් සෑම පිළිකාවක්ම එහි භාවීප්ල (prognosis) සහ ප්‍රතිකාර(treatment) සම්බන්ධයෙන් ගත් කල එකිනෙකට වෙනස් ය. එය හට ගන්නේ කුමන වර්ගයක පටකයකින්ද අවසානයේ එය ආක්‍රමණය කරන්නේ කුමන පටක ද යන්න මත පිළිකාවේ ගති ලක්ෂණ රඳා පවතී.
ඇත්තට ම මේ අසමානකම් මගින් අභියෝගයක් ඉදිරිපත් කරනු ලබන නමුත් එමගින් බලාපොරොත්තුද ඇති කෙරේ. පිළිකා දිරිගන්වන හෙවත් මොළොවන අණුක විපථන හෙවත් නියම මාර්ගයෙන් පිටපැනීම් ගැන අධ්‍යයනය කිරීමෙන්. ඉගෙනීමෙන් පර්යේෂකයෝ මෙකී ව්‍යාධි ගණයේ මූලික ජිව විද්‍යාව පිළිබඳ වූ අපේ අවබෝධය වර්ධනය කිරීමට සමත්ව සිටිති. එපමණක් නොව, ඒ ඒ අර්බුදයෙහි ස්වභාවය නිරූපණයකිරීමට මඟ පාදන්නා වූ ශිල්ප ක්‍රම ඔවුන් විසින් වැඩි දියුණු කරනු ලැබ ඇත. එනම්, පිළිකාව සෑදීමට මිනිසුන් තුළ ඇති පෙර නැඹුරුව කලින් පරීක්ෂා කර බැලීමට, තවමත් දෘශ්‍යමාන නොවන අර්බුද (පිළිකා) හඳුනා ගැනීමට මෙන්ම සුවිශේෂී පිළිකා වර්ගයක් ඉවත් කිරීම සඳහා වඩාත්ම ඵලදායී ප්‍රතිකාරය තෝරා ගැනීමට අනාගතයේදී වෛද්‍යවරුන්ට ඉඩ සලසා දෙන මෙවලම්ය.
පිළිකාව යනු කුමක්ද?
පිළිකා සෛලවලට පොදු ලක්ෂණ දෙකක් ඇත. එක. සෛල වර්ධනය හා විභාජනය (division) පාලනය කෙරෙන සාමාන්‍ය සංරෝධක නොතකා පිළිකා සෛල ප්රගුණනයවේ (බහුල වේ). දෙක ඒවා අනෙකුත් සෛල මගින් සාමාන්‍යයෙන් නිෂේධිත ප්‍රදේශ ආක්‍රමණය කර විසුම් ගනී. මුලින් සඳහන් කළ ගුණාංග සහිත සෛල යළි යළිත් විභාජනයවෙමින් කුඩා, ස්වයං සමන්විත කැටියක් සාදයි. අර්බුදයක් ලෙස හැඳින් වෙන එය බිනයින(benign) හෙවත් අඛර ලෙස සැලකෙන්නේ ඒවා සිරුරේ කිසියම් ස්ථානයකට සීමාවීමත් එමෙන්ම ශල්‍ය කර්මයකින් සම්පූර්ණයෙන්ම හා කොටස් ඉතිරි නොකරම අඩු සංකීරණතාවක් සහිතව ඉවත් කළ හැකිවීමත් නිසාය. මේ හේතු දෙක නිසා ඒවා නිරුපද්‍රිත ලෙස සැලකෙයි.
එහෙත් සෛල ප්රගුණනයවීම පමණක් පිළිකා ඇතිවීමට ප්‍රමාණවත් හේතු නොවේ. අර්බුදයක් පිළිකාකාරක ලෙස සැලකෙන්නේ එහි සෛලවලට අවට පටක ආක්‍රමණය කිරීමේ හැකියාව ඇත්නම් පමණකි. එවිට එය සපෝද්රව (මාත්සරික malignant) යයි කියනු ලැබේ. මාත්සරික සෛලවලට මූලික අර්බුදයෙන් කැඩී වෙන්වී රුධිර වාහිනියට හෝ වසා වාහිනියට ඇතුල් විය හැකිය. එලෙස ඇතුල් වී සිරුරේ වෙනත් තැන්වල ද්විතියික අර්බුද සෑදිය හැකිවේ. පිළිකාව වඩාත් පුළුල්ව පැතිරෙන තරමට එය සහමුලින්ම ඉවත් කිරීම ද අසීරු වේ. පිළිකාව මෙතරම් මාරාන්තික වන්නේ මෙම රෝග සංක්‍රමණය හේතුවෙනි.
HOWARD HUGHES MEDICAL INSTITUTE BioInteractive යන වෙබ් අඩවියේ Understanding Cancer Diversity ලිපිය ඇසුරෙනි