විදු නැන නුවණ – Science Literacy for All

පැන්ඩා වලසුන් කැමති මනාප අය එක්ක ජෝඩුවන්නයි

පැන්ඩා වලසුන්ට ලිංගික ආශාව නැතුවා නොවෙයි. එහෙත් ලිංගිකව එක්වීමට ඔවුන් එකිනෙකාට මනාප අය අවශ්‍යවන බව පර්යේෂණයකින් හෙළිවෙයි. පක්ෂීහු එසේ කරති. මීමැස්සෝද එසේ කරති. එමෙන්ම යෝධ පැන්ඩා සතුන්ද එසේ කරන නමුත් ඔවුන්ට තමන් කැමැති අයෙකු තෝරා ගැනීමට අවස්ථාව සැලසිය යුතුය. එහෙත් ලොව පැන්ඩා සතුන් හිඟ නිසා අභිජනන වැඩ සටහන්වලදී සාමාන්‍යයෙන් සිදුකරන්නේ මනාපයට, ආකර්ෂණයට තැන දෙනවා වෙනුවට අඩුම ඥාති සබඳතා මෙන්ම ජානමය සමානතා අනුව තෝරා ගැලපීම කෙරෙහි අවධානය යොමු කිරීමයි.

ප්‍රජනනය අතින් ගත් කළ පැන්ඩා සතුන් පසුවන්නේ ඉහළ තැනක නොවේ. ව්‍යාජ ගර්භනී තත්ත්වයන්ගේ සිට හුදු උදාසීනකම දක්වා වූ සිත් අධෛර්ය කරවන සුළු ක්‍රියා දාමයක් තුළ මෙම පසුබැස්ම දැකිය හැකිය. එහෙත් එසේ ලේබල් ඇලවීම අප ඔවුන් ගැන වුවමනාවට වඩා නොපැහැදීමකින් ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක්  විය හැකි යයි නවතම පර්යේෂණයෙන් කියැවේ. තමන්ගේ සහකරු / සහකාරිය තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙන්නේ නම් ලිංගිකව එක්වීම දැනට වඩා දෙගුණයක් පැන්ඩා සතුන් උනන්දුව දක්වන බව ඉන් හෙළි වෙයි. මෙම සොයා ගැනීම පැන්ඩා අභිජනන වැඩසටහන් දිරිගැන්වීමට මෙන්ම පැන්ඩා සතුන් යළි වනගත ජීවිතයකට යොමු කිරීමේ වෑයම්වලට ද සහායක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පර්යේෂණ මෙහෙයවන්නේ එක්සත් ජනපදයේ ඔරිගන් හි PDXWildlife  නම් වනජීවී සංරක්ෂණ වැඩ සටහනෙහි මෙගන් මාටින් වින්ටල්ය. අභිජනනය කිරීමේ ස්ථානවලදී බොහෝ විට අසාර්ථක ප්‍රතිඵල ලැබෙන බවක් ඇයට පෙනී ගියේ චීනයේ චෙංඩු හි යෝධ පැන්ඩා අභිජනනය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි අවධියේය. ‘බොහෝ විට පැන්ඩා ගෑනු සතෙක් පිරිමි සතුන් දෙදෙනෙකු මැද තැබූ විට ජානමය වශයෙන් වඩාත් යෝග්‍ය පිරිමි සතාට වඩා අනෙකා කෙරෙහි ධනාත්මක චර්යාවන් දක්වන බව මාටින් – වින්ටල් පවසයි. එහෙත් මෙකී ගෑනු සතුන් ජානමය වශයෙන් වඩාත් යෝග්‍ය සතුන් හා ලිංගිකව එකතුවීමට උනන්දු කළ ද එය බොහෝ විට සිදු නොවන අතර දි එහෙයින් පැන්ඩා පැටව් බිහි වන්නේ ද නැත. යෝග්‍ය යයි තෝරා දෙනු ලබන සහකරුවන් වෙනුවට අනෙකුත් පැන්ඩා සතුන් හා ලිංගිකව එක්වීමට අවස්ථාව ලදොත් කුමක් සිදුවේ දැයි මාටින් වින්ටල් ඇතුළු පර්යේෂකයන් පිරිස කල්පනා කරන්නට වූහ.

සංවාස සහකරු තෝරා ගැනීමේ හැකියාවෙන් ඇතිවන බලපෑම කෙබඳු දැයි සොයා බැලීම පිණිස මෙම පිරිස පැන්ඩා සතුන් 80කට වැඩි සංඛ්‍යාවක් යොදා ගෙන අධ්‍යයනයක් සිදු කළහ. ජෝඩු වීමට ඉඩ තිබෙන තවත් පැන්ඩා සාමාජිකයන් දෙදෙනෙකු කොටු කර තිබූ ස්ථානයේ ජනේලයකින් පර්යේෂණයට යොදාගත් පැන්ඩා සතුන්ට දකින්ට සලස්වනු ලැබීය. අනතුරුව පිරිස සතුන් අතරින් වඩාත්ම ලිංගික උනන්දුව ඇති පැන්ඩා කවුදැයි නිරීක්ෂණය කළේ, සලකුණු කිරීම, මුත්‍රා කිරීම, ස්වයං සම්භෝගය, ලිගු ප්‍රාණවත්වීම වැනි චර්යා මගින් දැක්වෙන පරිදිය. දින දෙක තුනකට පසුව පැන්ඩා සතුන් දෙදෙනෙකු එකම කොටුවක තැබුවේ අභිජනනය සඳහාය.

Panda-Breeding

(මෙසේ එක් කිරීමට පෙර) ජනේලයෙන් දැක ලිංගික උනන්දුවක් දැක්වූ සතුන් සමග ලිංගිකව එක්වීමේ සම්භාවිතාව දෙගුණයක් බව පර්යේෂකයෝ සොයා ගත්හ. එමෙන්ම තමන්ට කැමති පිරිමි සතා සමග ලිංගිකව එක්වීමට අවස්ථාව ලබාදුන් ගැහැනු සතුන් පැටව් ලැබීමේ සම්භාවිතාව ද දෙගුණයක් විය. වඩාත්ම හොඳ ප්‍රතිඵල ලැබුණේ ගැහැනු සතුන්ට මෙන්ම පිරිමි සතුන්ට ද තමන්ට කැමැති අය සමග එක්වීමට අවස්ථාව ලබාදුන් විටය. එවැනි අන්‍යෝන්‍ය ආකර්ෂණයක ප්‍රතිඵල ලෙස පැටවෙකු බිහිවීමේ ප්‍රකාශනය සියයට 75ක් විය. බලපෑම් ඇති කළ තවත් සාධක ද විය. සිය දෙමාපියන් විසින් ඇතිදැඩි කරගනු ලැබූ හෙවත් හදාවඩා ගනු ලැබූ පැන්ඩා ගැහැනු සතුනට පැටවෙකු ලැබීමේ සම්භාවිතාව මිනිසුන් විසින් ඇති දැඩි කළ ගැහැනු සතුන්ට වඩා වැඩි විය. පර්යේෂක කණ්ඩායමේ සාමාජික, කැලිෆෝනියාවේ සැන් දියාගෝ සත්ව උද්‍යානයේ රොනල්ඞ් ස්වායිස්ගුඞ් ද පැන්ඩා අභිජනන වැඩ සටහන්වලට  ලිංගික සහකරු සහකාරිය ස්වයංව තෝරා ගැනීමේ අදහස හඳුන්වා දීමට අදහස් කරයි. ‘අපි ජානමය ගැලපීම් බලලා ජෝඩු කරනවාට වඩා ඒ අයම කැමැත්තෙන්ම ජෝඩු වුනාහම පැන්ඩා ගහනය වැඩි කර ගැනීම පහසු යයි හෙතෙම කියා සිටියි.

මෙය පැන්ඩා වලසුන් යළි වනයට හඳුන්වාදීම පිණිස චීන රජය අරඹා ඇති වැඩ සටහනටද සුබ ආරංචියක් විය හැකියි. චීනය දැනටමත් පැන්ඩා සතුන් කිහිප දෙනෙකුම වනයට මුදා හැර තිබේ.

New Scientists  හි   Pandas don’t lack sex drive, they just need to fancy each other ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: