විදු නැන නුවණ – Science Literacy for All

පැණි රස ගැන තිත්ත ඇත්ත

මේ උත්සව සමයයි. පාසල් නිවාඩු. විභාග අවසන්. නත්තලේ මිහිර තවමත් පහව ගොසින් නැහැ. ළඟ ළඟම නව වසරක්. උත්සව සමයේ ප්‍රීිතිය සමගම ඉහළ යන තව දෙයක් තමයි, පැණි රස කෑම පරිභෝජනය. සැමදාමත් නත්තල් නෑ කීවා වාගේ සැමදාම පැණි රස කන්නේ නැතැයි කියා හිත හදා ගන්න පුළුවන්. ඒත් එය එහෙම ද? BBC  ආයතනයේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙකු වන (හා වෛද්‍යවයෙකු ද වන) මයිකල් මෝස්ලි පවසන අන්දමට අප සැලකිය යුතු සීනි ප්‍රමාණයක් පරිභෝජනය කළ ද බොහෝ විට අප එසේ කරන්නේ ඒ ගැන හරිහැටි වැටහීමක් නැතිව බවයි. නිදසුනකට ගතහොත් එක්සත් රාජධානියේ වාර්ෂික සීනි පරිභෝජනය ටොන් මිලියන දෙකයි. ඒත් ඉන් කොටසක් ශරීර ගතවෙන්නේ අප නොදැනුවත්මයි.

අනෙක් බොහෝ දේවල් වගේම සීනි පරිභෝජනය ද පමණ දැන සිදු කළ යුතු බව අප බොහෝ දෙනෙකු නොදන්නවා නොවේ. එහෙත් සමහර ආහාර වල සහ බීම වල අප පුදුම කරවන ප්‍රමාණයෙන් පැණිරස අඩංගුව ඇතැයි යන්න ගැන සමහරුනට අවබෝධයක් නැහැ. එම නිසා අපේ සංයමය නොතකා අප නොදැනුවත්වම අවශ්‍ය ප්‍රමාණයට වඩා සීනි කෑමට ගන්නවා විය හැකියි. ඔය අතිරේක සීනි බොහෝ විට ඇත්තේ සෞඛ්‍ය සම්පන්න බවක් නැතහොත් කිසියම් ගුණදායක බවක් හඟවන අඩු මේද යෝගට්(low-fat yoghurt), සෝස් වර්ග වැනි ආහාරපාන වලයි. එපමණක් නොව, සමහර නිෂ්පාදනවලට අතිරේකව සීනි එකතු කරන්නේ එය වඩාත් රසවත් කිරීමටය. මේ හේතුව නිසා පථ්‍ය ආහාර ලෙස අප සළකන බොහොමයක අප හිතනවාට වඩා වැඩි ප්‍රමාණයක් සීනි අඩංගු වීමට ඉඩ තිබෙනවා. දුඹුරු පාන්(brown bread) සහ නිවුඞ්ඩ, ජනක ආදිය ඉවත් නොකළ පූර්ණ ධාන්‍ය පිටි (whole meal) පාන් නිදසුන්ය. ලුණු එකතු කළ විට වාගේ සීනි එකතු කිරීමෙන් ද ආහාර විකිණීම පිණිස තබන කාලය (shelf life රාක්ක කාලය) මෙලෙස සීනි එකතු කිරීමෙන් දික් කළ හැකිය.

Sugar 3

මෙයින් සිදුවන්නේ, අප යම්කිසි පාලනයකින් ආහාරපාන ගත්තත් නොදැනුවත් ම හිතනවාට වඩා සීනි ප්‍රමාණයක් ශරීර ගත වීමයි. ‘ පුදුම වැඬේ කියන්නේ මම එහෙමට පැණි රස කෑවෙත් නෑ. ඒත් සිරුරේ සීනි(blood sugar) වැඩිවෙලානේ ’ කියන අය අපට සමාජයේ දී නොයෙක් විට මුණ ගැසේ. මෙහි අනතුර සිරුරට අහිතකර තරම් සීනි අප නොදැනුවත්වම ශරීර ගත වීමයි. අප වුවමනාවට වැඩියෙන් සීනි ආහාරයට ගත් විට අතිරික්තය සිරුරේ මේද ලෙස තැන්පත් වේ. දිගටම වැඩිපුර සීනි කෑමෙන් බර වැඩිවීම හා ස්ථුලතාව පවා ඇතිවෙන අතර එය දියවැඩියාව, හෘදාබාධ හා අක්මා රෝග ආදියට මග පාදයි. දත් දිරායාම සුලබ ප්‍රතිඵලයකි. අපේ මුඛයේ ඇති බැක්ටීරියා, සීනි බහුල ආහාරවලට බෙහෙවින් මනාපය. බැක්ටීරියා මගින් නිපදවන අම්ල දත්වල ඇනමලය දියකර හැරීමෙන් දත් දිරායාමට මුල පිරෙයි.

මහජන සෞඛ්‍ය සහ ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්යවරයෙකු වන සයිමන් කේප්වල් සමග  BBCයේ මයිකල් මෝස්ලි පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකින් කොටසක් දැන් සටහන් කරමු.

Sugar 2

මයිකල් මෝස්ලි (මමෝ): වෙනත් දේවල් අහිතකර නොවන තරමට සීනි අපට අහිතකර බවට ඇති හොඳම සාක්ෂි මොනවා ද?

සයිමන් කේප්වෙල් (සකේ): සීනිවලින් සිදුවන සෘජු හානිය ගැන සාක්ෂි තිබෙන බව බොහෝ විද්‍යාඥයන් කියන්න පුළුවන්. ඒ හන්දා සාමාන්‍ය බරකින් යුත් පුද්ගලයෙකු පවා වැඩිපුර සීනි පරිභෝජනය කරන කොට හෘදාබාධ වැනි රෝග සෑදීමේ අවදානම ඉහළ යනවා. මේවා මේ සුළු සුළු පර්යේෂණ වලින් කියැවෙන ඒවා ම නෙවෙයි.

මමෝ: නිදසුනක් කියනවා නම් ?

සකේ: ප්‍රෑන්ක් හු සම කර්තෘත්වය දරන අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙනවා ඇමරිකාවේ සීනි පරිභෝජනයේ විවිධ මට්ටම් දෙස සැලකිල්ල යොමු කරන විට හෘද රෝග හා හෘදාබාධ අවදානම දෙගුණයකින් තුන් ගුණයකින් පවා ඉහළ යන බව. ප්‍රශ්නය තියෙන්නේ මේ ගැන මොනවාද කළ හැක්කේ?

මමෝ: හෘද රෝග ගැන කතා කරනවා නම් සීනිවලට වඩා බලපෑම් ඇති කරන සාධක ඇත්තටම තියෙනවානේ ? ව්‍යායාම මදිකම වගේ ?

සකේ: ව්‍යායාම කියන්නේ සුළු සාධකයක්. ලෝකයේ රෝගාබාධ සහ මරණවලට වැඩිම බලපෑමක් ඇති කරන තනි සාධකය ආහාරයයි. එංගලන්තයෙත් එහෙමයි.

මමෝ: දුප්පත්කම නේද ඔය සියල්ලට සම්බන්ධ?

සකේ: ඒක හොඳ තර්කයක්. සීනි පරිභෝජනය කරන්නේ දුප්පත් අය, දුම්පානය කරන අය, ව්‍යායාම නොකරන අය ම වෙන්න පුළුවනි. ඒත් සමීකරණයෙන් අනෙක් සාධක ඉවත් කරහම සීනි වලින් පමණක් වන හානිය ගණනය කරන්න පුළුවනි. වෙන වචනවලින් කියනවා නම් දිනපතා සීනි පරිභෝජනය වැඩිවන තරමට හානියත් වැඩියි.

BBC iWonder හි  Should you worry about how much protein you eat ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: