විදු නැන නුවණ – Science Literacy for All

ජෛව විවිධත්වය ජීවයේ හරයයි

diversity 1

ජෛව විවිධත්වය යන්නෙන් ජාන හා ජීව විශේෂවල සිට පරිසර පද්ධති දක්වා මේ මිහිතලය මත ජීවයේ  හා ඒ මගින් ඉටුවන වැදගත් කාර්යභාරය පිළිබඳ අතිවිශේෂ විවිධත්වය දැක්වේ. ජෛව විවිධත්වය(“biodiversity”) යන පදය නිර්මාණය කළ සුප්‍රකට ජෛව විද්‍යාඥ ඊ.ඕ. විල්සන් එය පැහැදිලි කරන්නේ ජීවයේ හරය ලෙසටයි. වසර බිලියන 3.8 ක් තිස්සේ පෘථිවිය මත සංකීර්ණ ජීව ජාලයක් පරිණාමය වෙමන් පවතී. ගොඩබිම, මිරිදිය සහ සාගර පරිසර පද්ධති තුළ ජීවි විශේෂ මිලියන ගණනාවක් වාසය කරති. මානවයන් ද ඇතුළුව සියළුම ජීව විශේෂ එකිනෙකා අතර හා ඔවුන් ජීවත්වන පරිසර සමග ඔවුන්ගේ අන්තර් ක්‍රියාකාරකම් මගින් සංකීර්ණ ආකාරයට සම්බන්ධය.

ජෛව විවිධත්වය හෙවත් ජෛව විද්‍යාත්මක විවිධත්වය යනු සියළුම සජීවයන් හා ඔවුන්ගේ අන්තර් ක්‍රියාකාරකම් වල ඇති එකිනෙකට වෙනස් වූ ස්වරූපයි. කාලයාගේ ඇවෑමෙන් නෂ්ට ප්‍රාප්ත වීම් සිදුවෙද්දී එමෙන් ම නව විශේෂ පරිණාමය වෙද්දී ජෛව විවිධත්වය වෙනස් වේ. විද්‍යාඥයෝ බොහෝ විට ජෛව විවිධත්වයේ මට්ටම් තුනක් ගැන සඳහන් කරති: විශේෂයන්ගේ විවිධත්වය, ජානවල විවිධත්වය සහ පරිසර පද්ධති විවිධත්වය යනුවෙනි. ඇත්තට ම මෙම මට්ටම් එකිනෙකෙන් වෙන් කරගත නොහේ. ඒ සෑම එකක් ම වැදගත් ය. සෑම එකක් ම එකිනෙක හා අන්තර් ක්‍රියා කරන අතර අනෙක් ඒවාට බලපෑම් ඇති කරයි. එක මට්ටමක දී ඇතිවන වෙනස්කම් වලින් අනෙකුත් මට්ටමක වෙනස්කම් හට ගනී.

animals-biodiversity-28900966

ජීව විශේෂයක් යනු කුමක් ද? ජීව විශේෂ අනේක වූ හැඩ සහ ප්‍රමාණයන්ගෙන් යුක්තයි. බලගතු අන්වීක්ෂයකින් පමණක් දැක බලා ගත හැකි තරමට කුඩා ජීවියාගේ සිට යෝධ රෙඞ්වුඞ් ගස දක්වා පරාසයක් දැකිය හැකිය. මෙම පරාසයට බැක්ටීරියා, ප්‍රොටෝසෝවා, දිලීර, සපුෂ්පක ශාක, කූඹීන්, කුරුමිණියන්, සමණලයන්, පක්ෂීන්, මත්ස්‍යයන් මෙන් ම අලි ඇතුන්, තල්මසුන් හා වලසුන් වැනි විශාල සතුන් ද අයත් වේ. සෑම විශේෂයක් ම අනන්‍ය වූ ලාක්ෂණික සහිත කණ්ඩායමකි. විශේෂයක තනි එකෛකයෙකුට(individual) සාර්ථකව ප්‍රජනනය කරමින් ජීව්‍ය ජනිතයන් බිහි කළ හැක්කේ එම විශේෂයේ ම තවත් එකෛකයෙකු සමග පමණකි.

ලොව කොපමණ නම් ජීව විශේෂ පවතී ද? එමෙන් ම ඒවා එකිනෙකා සහ ඒවාගේ පරිසර සමග සම්බන්ධ වන්නේ කෙසේ ද යන්න ගැන අපි තවම ඉගෙන ගනිමින් සිටින්නෙමු. වර්තමාන ඇස්තමේන්තු අනුව නම් පෘථිවිය මත ජීව විශේෂයන්ගේ සංඛ්‍යාව මිලියන දහයක් පමණ වේ. මෙයින් මිලියන 1.9 ක් නම් කොට ලැයිස්තු ගත කර ඇත. විශේෂයන් ලැයිස්තු ගත කිරීමට විද්‍යාඥයන් ඉක්මන් වන්නේ විශේෂ ‘නෂ්ටප්‍රාප්ත’ වීමට පෙර එය ඉටුකිරීමටය. කිසියම් විශේෂයක් පවතින්නේ, වෙන කිසි තැනක නොමැතිව එක්තරා ප්‍රදේශයක පමණක් නම් එම විශේෂය ‘ඒකදේශික’ (endemic )යයි කියනු ලැබේ.

ජානමය විවිධත්වය යනු කුමක් ද? විශේෂයක සෑම එතෛකයෙකු ම සිය දෙමාපියන්ගෙන් උරුම කරගෙන ඊළඟ පරපුරට උරුම කරන ජාන ද ජෛවී විවිධත්වයට අයත් ය. ජාන විවිධත්වය සෑම තැනකම දැකිය හැකිය. පක්ෂීන් ගයන ගී වල විවිධත්වය මෙන් ම උන්ගේ පිහාටු වර්ණයන්ගේ විවිධත්වයේ සිට ඇපල් හා අනෙකුත් පළතුරු වල වර්ණය, රසය හා වයනය (texture) දක්වා විශාල පරාසයක් තුළ එය දිස්වේ. විශේෂයක ඒකෛයකයන් තම පරිසරයන්ට කෙතරම් දුරකට අනුගත විය හැකි ද යන්න තීරණය කරන්නා වූ ජානමය විවිධත්වය විශේෂයේ පැවැත්මට අතිශය වැදගත් වේ.

පරිසර පද්ධති විවිධත්වය යනු කුමක් ද? විශේෂයක ගහණය සැදුම්ලත් ඒකකයන්ගේ ගතිලක්ෂණ තීරණය වන්නේ ජාන මගිනි. එකිනෙකට වෙනස් විශේෂයන්ට අයත් ඒකෛයකයන් අන්තර් ක්‍රියා කිරීමෙන් ප්‍රජාවන් සෑදෙයි. මෙකී ප්‍රජාවන් ජලය හෝ ඛනිජ වැනි පරිසරයේ අජීවි සංඝටක හා ගතිකව අන්තර් ක්‍රියා කිරීමෙන් පරිසර පද්ධතියක් සෑදෙයි. නිවර්තන වනාන්තර, කොරල් පර වැනි ඇතැම් පරිසර පද්ධති විශේෂයෙන් ම සංකීර්ණ වන අතර විශාල සංඛ්‍යාවක විශේෂයන් ට ධාරක වේ. අනෙක් අතට කාන්තාර හා ආක්ටික් ප්‍රදේශ වැනි අනෙකුත් පරිසර පද්ධති සංකීර්ණතාවෙන් අඩුවන අතර ඒවායේ විශේෂයන් ඇත්තේ අඩු සංඛ්‍යාවකි. එහෙත් එම විශේෂ සියල්ලම පරිසරාත්මකව වැදගත් වන අතර එම පරිසර පද්ධතියට ඒකදේශික වෙයි.

ජෛවී විවිධත්වය ගැන සෙවිල්ලෙන් සිටීම. ස්මිත්සෝනියානු විද්‍යාඥයන් කාලයක් තිස්සේ ජෛව විවිධත්වය ගැන සෙවිල්ලෙන් සිටීමට මෙන් ම මැන බැලීම පිණිස මාර්ග සොයමින් සිටිති. එහි සංරක්ෂණ ජීව විද්‍යා ආයතනයේ විද්‍යාඥයන් දෙදෙනෙකු විසින් ජෛව විවිධත්වය ඇගැයීම හා සෙවිල්ලෙන් සිටීම සම්බන්ධයෙන් පාදක ව්‍යුහයක් හෙවත්  රාමුවක් නිර්මාණය කර ඇත. ඇගයීමේ හා සෙවිල්ලෙන් සිටීමේ වැඩසටහන් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙන්ම එකතු කරගත් තොරතුරු වාර්තා කරන්නේ කෙසේ ද සහ එකතු කරගත් විද්‍යාත්මක තොරතුරු පරිසර පද්ධතිවල සහ ඒවායේ පදිංචි විශේෂයන්ගේ තත්ත්වයන් ගැන සොයා බලන්නේ කෙසේද යන්න ගැන ගවේෂණය කරන්නේ කෙසේද යන්න ගැන එකී රාමුව මග පෙන්වයි. ගවේෂණය රට රටවල විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් නවතම කොන්සෝටියමක් ජෛව විවිධත්වය ගැන පරීක්ෂා කර බලා මානවයන් ජෛවී ගෝලය හා දිගටම අන්තර් ක්‍රියාකිරීම කරගෙන යද්දී ජෛවී විවිධත්වයට හානි පැමිණීම පිළිබඳව යෙදිය හැකි ප්‍රතිකර්ම ගැන ගවේෂණයක යෙදෙයි.

Smithsonian National Museum of Natural History files හි  Biodiversity ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: