විදු නැන නුවණ – Science Literacy for All

පළාගිය තරුව, ශේටා ඔපියුචි(Zeta Ophiuchi) II

පළාගිය තරුව, ශේටා ඔපියුචි මුල් කොටස පසුගිය (ජනවාරි 6) බදාදා  තතු හි පළවිය

ඩොප්ලර් ආචරණය මගින් අරීය ප්‍රවේගය මැනීම පහසු ය. එහෙත් එසේ කළ හැක්කේ තාරකාව ප්‍රමාණවත් ව ප්‍රභාවත් නම් සහ මනා වර්ණාවලී දර්ශකයක් (spectrograph) සහිත විශාලත්වයෙන් ප්‍රමාණවත් ටෙලෙස්කෝපයක් අපට ඇත්නම් පමණකි. තාරකාව අප වෙතට ගමන් කරන්නේ නම් ආලෝකයේ තරංග ආයාමය කෙටි වන බවත් එහෙයින් තවත් නිල් පැහැ ගන්නා බවත් ඩොප්ලර් ආචරණය අපට කියයි. අනෙක් අතට, තාරකාව අප වෙතින් ඉවතට ගමන් කරන්නේ නම් වඩාත් රක්ත වර්ණ තරංග ආයාම කරා විස්තාපනය වෙමින් ආලෝකයේ තරංග ආයාම ප්‍රසාරණය වෙයි. තරංග ආයාම විස්තාපනයේ ප්‍රමාණය එහි ප්‍රවේගයට අනුපාතික ය. ඒ අනුව රේඛා නීල විස්තාපනයත් රක්ත විස්තාපනයත් ප්‍රවේගය හා දිශාව ලබා දෙයි.

ආසන්නයේ ම ඇති තාරකා පද්ධතිය වන ඇල්ෆා සෙන්ටෝරි ගතහොත් එම තාරකාව වසරකට චාප තත්පර 3.5 ක සාපේක්ෂව විශාල  නියම චලනයක්(proper motion) ප්‍රදර්ශනය කරයි. එපමණක් නොව ආලෝක වර්ෂ 4.3 ක් (පාසෙක් 1.3ක්) දුරින් පිහිටි එය වඩාත් ආසන්න ම තාරකාව යි. මෙකී සංඛ්‍යා එකට එක් කිරීමෙන්, ඇල්ෆා සෙන්ටෝරි තාරකාවෙහි තීර්යයක් ප්‍රවේගය(transverse velocity) තත්පරයට කිලෝමීටර 24 ක් යයි අපට නිගමනය කළ හැකිය.

453249main_p1014a2_full (1)

ඩොප්ලර්  ආචරණය අපට ඇල්ෆා සෙන්ටෝරි හි අරීය ප්‍රවේගය ලබා දෙයි. එම තාරකාවේ අරීය ප්‍රවේගය අප වෙත එන විට තත්පරයට කිලෝ මීටර 31 ක් පමණ වන බව ඇල්ෆා සෙන්ටෝරි හි වර්ණාවලිය අපට කියයි. (අප එය අර්ථ නිරුපනය කරන්නේ ඩොප්ලර් ආචරණයට සම්බන්ධ කරමිනි) එකතුව ගත් කළ ඒවායින් හැඟවෙන්නේ ඇල්ෆා සොන්ටෝරි තාරකාවට තත්පරයකට කිලෝ මීටර 31 ක සත්‍ය අවකාශ ප්‍රවේගයක් ඇති බවයි.

මෙම ප්‍රවේග සංරචක දෙක නීර්ණය කිරීම අධි ප්‍රවේගයක් ඇති      HE 0437-5439 තාරකාව තේරුම් ගැනීමේ දී විශේෂයෙන් වැදගත් වෙයි. මෙම B වර්ගයේ තාරකාව සතුව සූර්යයාගෙන් ඈත් වෙද්දී තත්පරයක කිලෝ මීටර 720 ක අරීය ප්‍රවේගයක් ඇත. එහි වර්ණාවලී වර්ගය සහ මනින ලද ප්‍රභාව පදනම් කර ගනිමින් දුර ආලෝක වර්ෂ 200,000 පමණ වෙතැයි අපට නිගමනය කළ හැකිය. එය මහා මැගලනි වලාකුළෙන් අහසේ අංශක 16 ක් ඈතින් පිහිටියේ ය. එය ආලෝක වර්ෂ 160,000 ඈතින් පිහිටි ක්ෂීර පථය ගැලැක්සියේ චන්ද්‍රිකාවකි.

අධි ප්‍රවේගී  HE 0437-5439  තාරකාව ක්ෂීර පථයෙන් හෝ මහා මැගලනි වලාකුළෙන් ගැලවී ගිය නැතහොත් නෙරපී ගිය එකක් ද? ඒ සා දුරක පිහිටි තාරකාවක චලනය මිනිය හැක්කේ හබල් දුරේක්ෂයට පමණකි. වසර 3.5 ක පමණ පරතරයක් සහිතව ගන්නා ලද මෙම තාරකාවේ අධි-විභේදිත අනුරූප වල තාරකා විද්‍යාඥයන් විසින් සංසන්දනයක් කරනු ලැබුවේ එම තාරකාවට නියම චලනයක් ඇද්දැයි නීර්ණය කරනු පිණිස ය. එම චලනය වසරකට මිලි චාප තත්පරයකට වඩා අඩු වූවද එහි දිශාව නීර්ණය කිරීමට තරම් ප්‍රමාණවත් මිනුමක් ඔවුන් සතුව ඇත. මෙකී අධි ප්‍රවේගී තාරකාව ක්ෂීර පථයේ මන්දාකිණි මධ්‍යයේ (galatic centre) සිට තත්පරයකට කිලෝ මීටර 550 ක ප්‍රවේගයකින් ඉවතට ගමන් කරයි.

ආකාශයෙහි තාරකාවේ පිහිටීම සහ එහි දුර සලකන විට ඉන් පෙනී යන්නේ මෙම තාරකාව වසර මිලියන 100 ක පමණ කාලයක් තිස්සේ ගැලැක්සියෙන් ඉවතට ඇදී යමින් සිටින බවයි. මෙය තරමක ප්‍රහේලිකාවකි. මන් ද, මෙම තාරකාව B වර්ගයේ තාරකාවක් වන අතර B වර්ගයේ තාරකාවලට ඇත්තේ වසර මිලියන 20 ක පමණ ප්‍රධාන අනුක්‍රමයේ ආයු කාලයකි. මේ සම්බන්ධයෙන් තාරකා විද්‍යාඥයන් සිදුකරන පැහැදිලි කිරීම මෙබඳුය: මෙකී තාරකාව මුල දී ත්‍රිත්ව තාරකා පද්ධතියක කොටසකි. ඊට එකිනෙකාට ඉතාමත් ආසන්නයේ කක්ෂගතව එකිනෙකා වටා ගමන් කරන යුගල තාරකාවක් සහ ඒවා වටා ගමන් කරන තවත් තාරකාවක් අයත් විය. සිද්ධ වූ දෙය නම් මෙකී ත්‍රිත්ව තාරකා පද්ධතිය අපේ (ක්ෂීර පථ) මන්දාකිණි මධ්‍යයේ පිහිටි අපේ සූර්යයා මෙන් මිලියන 4 ක් විශාල ස්කන්ධයක් සහිත කළු කුහරය (black hole)  ආසන්නයට ම පැමිණීමයි. කළු කුහරය (ත්‍රිත්ව තාරකා පද්ධතියේ පිටතින් කක්ෂගතව සිටි) තනි තාරකාව අල්වාගෙන ඉතිරි තාරකා යුගලය ගුරුත්වාකර්ෂණීය අන්තර් ක්‍රියා කිරීම හරහා අධි ප්‍රවේගයකින් ක්ෂීර පථය ගැලැක්සියෙන් පිටතට පන්නා දමන්නට ඇත.

452810main_p1014aw-670

මෙම යුගල තාරකාව ක්ෂීර පථයට ඔබ්බෙන් අභ්‍යවකාශයේ වේගයෙන් ඇදී යද්දී මේ දෙකෙන් වඩාත් දැවැන්ත තාරකාව ප්‍රධාන අනුක්‍රමයෙන් මුලින් ම පරිණාමය වන්නට ඇත. එය පිම්බෙමින් විශාල වෙද් දී යුගලයේ අනෙක් තාරකාව ඇත්තට ම එය සමග බද්ධ වී නව තාරකාවක් නිර්මාණය වන්නට ඇත. ඇතැම් විටක නීල ‘දඩාවතේයන්නා‘       වශයෙන් ද හැඳින්වෙන එය B වර්ගයේ නිල් තාරකාවක සියළුම ගුණාංග වලින් සමන්විත ය. යුගල හෝ ත්‍රිත්ව තාරකා සහ කළු කුහර අතර මෙකී ගුරුත්වාකර්ෂණීය ගැටුම් හෝ හමුවීම් පරිඝණක මගින් සමානාකෘත කළ හැකිය. එවැනි ගැටුම් මගින් තත්පරයකට කිලෝ මීටර 1,000 ක් දක්වා වූ වේගයක් සහිත අධි ප්‍රවේගී තාරකා නිර්මාණය කළ හැකිය. අති දැවැන්ත තාරකා සමග යුගල තාරකා ගැටීම් කළු කුහරයක් වෙනුවට නිරීක්ෂිත පළාගිය තාරකා කිහිපයක් ගැන පැහැදිලි කිරීමට සමත් වෙයි. කදිම නිදසුනක් මහා මැගලනි වලාකුළ ආශ්‍රයෙන් දැක්විය හැකිය. එය, වායු බහුල තාරකා බිහි කරන අක්‍රමවත් මන්දාකිණියකි. අප මහා මැගලනි වලාකුළ දෙස ඕනෑකමින් බැලුවහොත්, අපට ඉතාමත් ප්‍රබෝධාත්මක නිහාරිකාවක් දැකගත හැකිය. ඔව්, ක්‍රියාකාරී තරු පිපිරුම් සිදුවෙන සියළු ආකාරයේ තාරකා සෑදෙන නිහාරිකාවක්. 30 ඩොරාඩුස් (Doradus) නම් වූ මෙම නිහාරිකාව ආලෝක වර්ෂ 650 ක් පමණ පළලයි. එහි මධ්‍යය නැතිනම් හරය තුළ R136 නම් තරුණ, අති දැවැන්ත තාරකා පොකුරක් ඇත.

30 ඩොරාඩුස් නිහාරිකාවේ ගැඹුරු ප්‍රකාශ අනුරූපයක සූර්යය ස්කන්ධ 90 ක පළා ගිය තාරකාවක් අපට හමුවේ. මෙය R136 සිට ආලෝක වර්ෂ 375 ඔබ්බෙන් පිහිටා ඇත. එහි නිහාරිකාමය අන්තර් ක්‍රියාව පිළිබඳ හබල් දසුනකින් අපට එහි දිශාව තෝරා බේරා ගත හැකිය. ඒ අනුව එය තත්පරයට කිලෝ මීටර 100 කින් පමණ R136 න් බැහැරව යන බවක් හැඟී යයි. කරුණු යෙදී ඇති අන්දමට මෙම තාරකාව ආලෝක වර්ෂ 375 ක් ගොස් ඇත්තේ වසර මිලියනයක පමණ ගමන් කාලයක් තුළයි. එය මෙම වර්ගයේ තාරකාවක ප්‍රධාන අනුක්‍රමයේ ආයු කාලයට වඩා අඩු කාලයකි.

බාගදා මෙකී පළා ගිය තාරකාව කලක් R136හි දැවැන්ත යුගල තාරකාවක කොටසක් වන්නට ඇත. වඩාත් දැවැන්ත තාරකාවන් යුගලය සමග අන්තර් ක්‍රියාකොට පළා ගිය තාරකාව ගුරුත්වය හේතුවෙන් ඉන් සහ තරු පොකුරෙන් නෙරපී යන්නට ඉඩ ඇත. එසේ වෙද්දී නව තාරකා යුගලයක් ඉතිරි වන්නට ඇත. මේසා කාලයක් අන්තර් ක්‍රියා හේතුවෙන් තත්පරයට කිලෝ මීටර සිය ගණන් ප්‍රවේග වලින් පළා යන තාරකා නෙරපා දැමීමට හැකි ය.

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: