විදු නැන නුවණ – Science Literacy for All

පිපිරමක් හේතුවෙන් පසුකාලීනව මොළයට සිදුවන හානිය කෙබඳු ද?

කුහරණ(cavitation)  සිද්ධාන්තය ගැන නව දෘෂ්ටියක්

බෝම්බ පිපිරීම්, වෙඩි තැබීම් ලොවේ බොහෝ රට වලින් නිතර අසන්නට ලැබේ. විශේෂයෙන් ම සිවිල් වැසියන් පීඩාවට පත්වන විට මෙම සිද්ධි වාර්තාවීම ද වැඩිය. එවිට මරණයට පත්වූවන් තුවාල ලැබූවන් කෙරෙහි අවධානය යොමු වේ. දැන් දැන් සිවිල් වැසියන් ඉලක්ක කර ගත්තත්, මෙම සිද්ධිවලට වැඩියෙන් ගොදුරු වන්නේ සොල්දාදුවන් ය. යුද සන්නාහ හෙවත් ආරක්ෂක ආවරණ සහ හිස් ආවරණ නිපදවීමේ නව වැඩිදියුණු කිරීම් මගින් පිපිරුම් හා සතුරු වෙඩි තැබීම් වලින් ගැලවීමේ අවස්ථා වැඩි වී ඇතද බෙහෝ දෙනෙකු සටන් බිමේ සිට ආපහු එන්නේ බැලූ බැල්මට පැහැදිලි තුවාල ආදිය නොමැතිවය. වැඩි දියුණු කළ ස්කෑන් පරීක්ෂා මගින් ද අභ්‍යන්තර හානි සොයා ගැනීම පහසු නැත. ප්‍රශ්නය වී ඇත්තේ පිපිරුම් තරංගයකින් මොළයට සිදුවන හානිය කුමක්ද යන්න පැහැදිලි නැතිවීමයි.

දැන් මෙම තත්ත්වය වෙනස් කිරීමට එක්සත් ජනපදයේ බ්‍රවුන් සරසවියේ ඉංජිනේරූ සහායක මහාචාර්යවරයෙකු ඉදිරිපත් වී සිටියි. ක්‍රිස්ටියන් ප්‍රෑන්ක් නම් මොහු මොළ සෛල කුඩා කාණ්ඩ  ත්‍රිමාණව අනුරූප ගත කිරීමටත්, සුළු කම්පනවලට නිරාවරණය කෙරුනු නියුරෝන චිත්‍රපට ගත කිරීමටත් උත්සාහ දරමින් සිටියි. මෙයින් බලාපොරොත්තු වන්නේ, එක් එක් තනි මොළ සෛල හැඩය වෙනස් කරන්නේ කෙසේ ද හා ක්ෂතිය චිත්තවේගී  කම්පනය හමාරවීමෙන් ගතවනු පැය කිහිපය තුළ ප්‍රතික්‍රියා කරන්නේ කෙසේ ද යන්න නිශ්චිතවම සොයා බැලීමටයි.

එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වාර්තා කරන අන්දමට 2014 වර්ෂයේ දී ආරක්ෂක සේවාවේ නියැළි ස්ත්‍රී පුරුෂයන් 25,000 ක් පමණ ක්ෂතික මොළ අනතුරු වලට ගොදුරු වූහ. ‘පසාරු වූ’ හෙවත් ඇසට පෙනෙනසේ තුවාල ඉතිරි වූ පිරිස මින් 303 දෙනෙකු පමණකි. අනෙක් පිරිස පුපුරායාම්, ඇදවැටීම්, රිය අනතුරු ආදී සිද්ධීන් නිසා සංහනනය(concussion තිගැස්සීම, අවිඥානක බව ප්‍රකට කරන්නා වූ ස්නායු ක්‍රියාකාරීත්වයේ අක්‍රමිකතාවන්) විවිධ ස්වරූප පෙන්නුම් කළ අයයි. මෙම තුවාල වලින් බහුතරය –  21,000 ක් පමණ –  සැලකුනේ බරපතල නොවන වශයෙනි. ඉන් අදහස් වන්නේ පුද්ගලයා පැය 24 කට අඩු කාලයක් සිහි අවුල් ගතියෙන්, දිශානති හරණයට ලක්ව(disoriented) හෝ ස්මෘතිය නොමැතිව සිටීම හෝ විනාඩි 30 කට අඩු කාලයක් සිහි මුර්ජව ගත කිරීමයි. එවැනි රෝගීන් සාමාන්‍යයෙන් ස්කෑන් පරීක්ෂාවන්ට ලක් නොකෙරන අතර ලක් කෙරුණේ වී නමුත් ඒවායේ අනුරූප සාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කරයි. ‘මෙතැන තමයි ප්‍රශ්නය’ ප්‍රෑන්ක් පැහැදිලි කරයි, ‘මන්ද කීවොත් සංහනනමය ශීර්ෂ හානිවලින් මතුවන මනෝ විද්‍යාත්මක ප්‍රශ්න සෛල මට්ටමේ හානියක් නිසා ඇතිවිය හැක්කේ මොළය සුවවීමට උත්සහා දරද්දී නැවත ‘සැකසෙන‘ නිසාවෙනි.

පිපිරුම් මගින් මොළයට සිදුවන හානි විශේෂයෙන් ම(මතකයන් හා ඉච්ඡානුගත ක්‍රියා ආදිය මෙහෙයවන්නේ යැයි සැලකෙන කොටස වන) හිපොකැම්පසයට සිදුවන හානි මීයන් යොදා අතීතයේ දී සිදු කළ පරීක්ෂණවල දී පෙන්නුම් කළත් සෛල මට්ටමින් විමසීමක් සිදු නොවීය. මානවයන් සම්බන්ධයෙන් පෙර කළ අධ්‍යයනවල දී හිසට තුවාල සිදු වූ අවස්ථාවල මොළ සෛල ගැන සොයා බැලුන ද පටල ලබාගෙන තිබුණේ මියගිය රෝගීන්ගෙන් ය. ආඝාතයට පත්වෙමින් තිබිය දී සිදුවන්නේ කුමක් දැයි විමසීම පිණිස අපට ජීවත්වන අයෙකුගේ මොළය ඇතුළට එබී බැලීමට නොහැකි නිසා ප්‍රෑන්ක් මීයන්ගෙන් ලබා ගත් මොළ සෛල ජෙල් වැනි ද්‍රව්‍යයක් ඇතුළත ජීව විද්‍යාත්මක පලංචියක් මත වැඩෙන්නට ඉඩ හැරියේ ය. මොළය ඇතුළත දී එකට එකතුවන ආකාරයට සෛල වලට පොකුරු ලෙස වර්ධනය වීමට මෙම ඇටවුමේ ඉඩ සැලසේ. මොළයේ දී තරම් ඝනව සෛල ගොණු වී නැතත්, මොළ සෛල සාමාන්‍යයෙන් සිදු කරන සියල්ල මෙහි දී සිදු නොවුණත් මෙමගින් දළ අදහසක් ලබා ගත හැකි වේ. එවිට ප්‍රෑන්ක් ට මොළ වැනි පොට්ටනි(brain-like bundles) කම්පන තරංග වලට නිරාවරණය කර ඒ අවස්ථාවේ සිදු වන්නේ කුමක් දැයි බැලිය හැකිය. පිපිරුමකින් ඇතිවන කම්පන තරංගය වෙනත් යමකින් ඇතිවන – උදාහරණයකට ගඩොලක් හිසට වැදීමෙන් ඇතිවන තරංගයන්ට වඩා වෙනස් වෙයි. ඊට හේතුව කාල පරාසය බෙහෙවින් කුඩාවීම බව ප්‍රෑන්ක්  පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් හිසට වදින පහරක් සඳහා තත්පරයකින් දහස් ගණනකින් කොටසක් ගත වෙතත්, පිපිරුම් කම්පනයක් සඳහා ගත වන්නේ තත්පරයකින් මිලියනයක පංගුවක් පමණකි. තව ද, ශාරීරිකව ඇතිවන ප්‍රහාරයක දී මෙන් නොව කම්පන තරංගයක ඇතිවන බලපෑම් එක් තනි තැනකට යොමු නොවේ.

2110-Nature-Comm-simple

පිපිරුමක් මගින් ඇතිවන කම්පන තරංග මගින් මිනිස් මොළය තුළ කුහරණය (cavitation) යන සංසිද්ධියක් ඇති වන්නේය යන උපකල්පනය මත ප්‍රෑන්ක්  සිය පරීක්ෂණ කරගෙන යයි. බෝට්ටුවක අවර පෙත්ත ආසන්නයේ ජලයෙහි බුබුළු  ඇති වන්නේ ද මෙකී කුහරණය යන ක්‍රියාදාමය නිසා ය. මොළයෙහි කුහරණය(cavitation in the brain)  යන සිද්ධාන්තය අළුත් එකක් නොවේ. එමෙන් ම කුහරණය සිදුවන බවට පැහැදිලි සාක්ෂි ද ඇත. එහෙත් සෛල හානිය සිදු වන්නේ එමගින් බවට තීරණය කළ හැකි නියම නිරීක්ෂණ අප සතුව නැත. මෙම කුහරණ සිද්ධාන්තය අනුව හේවායෙකු අසළ දී(හෝ වෙනත් අයෙකු අසළ දී වුවත්)  පිපිරීමක් සිදුවන විට හිස් කබල හරහා කම්පන තරංග ගමන් කර මොළය වටකොට ව්‍යාප්තව ඇති ද්‍රව්‍ය තුළ අඩු පීඩන කලාප නිර්මාණය කරයි. එක් කලාපයක පීඩනය ප්‍රමාණවත් ව අඩු වූ විට කුඩා අවකාශයක් හෙවත් කුහරයක් ඇති වෙයි. තත්පරයකින් ඉතා සුළු කොටසක් ගත වෙත්ම ඝනත්වය අඩු කොටස බිඳ වැටෙයි. කුහර, පූර්ණ වශයෙන් ගෝලාකාර නොවන නිසා ඒවා බිඳ වැටෙන්නේ ඒවායේ දිග අක්ෂය දිගේ ය. එවිට, අසල සෛල වෙතොත් ඒවා එක්කෝ කුහරය තුළ වැඬේ. නැතහොත් දෙකොනෙන් විදින අධි ඝනත්ව ද්‍රව පහරකට ලක්වේ. එවැනි සිද්ධියක දී සෛල හානියට පැමිණ මිය යන බව පැහැදිලි නමුත් එම හානිය කෙබඳු දැයි කෙසේවත් පැහැදිලි නැත. ප්‍රෑන්ක් ගේ උත්සාහය එය හෙළි කර ගැනීමයි. එවිට පිපිරුමකින් මොළයට සිදුවන හානිය නිසියාකාරව දැනගත හැකිවේ.

Smithsonian Science හි Shock Waves May Create Dangerous Bubbles in the Brain ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: