ක්‍රි.ව. 2006 දී ප්ලුටෝට ග්‍රහ තත්ත්වය අහිමිවීමත් සමගම අපේ සෞරග්‍රහ මණ්ඩලයේ නිල ග්‍රහ සාමාජිකයන් සංඛ්‍යාව අටකි. එහෙත් අලුතෙන් ලැබී ඇති සිත් අළවනසුළු සාක්ෂිවලින් කියැවෙන්නේ සෞරග්‍රහමණ්ඩලයේ ඈතම කෙළවරෙහි, අපේ පෘථිවි ග්‍රහයා මෙන් දස ගුණයක ස්කන්ධයක් සහිත නව ග්‍රහ ලෝකයක් පැවතීම ඉඩ ඇති බවයි. කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ තාරකා විද්‍යාඥයන් වන මයික් බ්‍රවුන් සහ කොනියටන්ටයින් බැටිජින් කල්පනා කරන්නේ දිගුකාලයක් තිස්සේ විද්‍යාඥයන් සෙවූ නමුත් සොයා ගැනීමට නොහැකිවූ නම් ගුප්ත ග්‍රහ ලෝකය, කුයිපර් පථය නමින් හැඳින්වෙන දුර ඈත ඉසව්වේ පාෂාණ හා අයිස් කුට්ටි කිහිපයක අසාමාන්‍ය ඇළවුණු කක්ෂ තුළ ඇති බවට සාක්ෂි ඇත යන්නයි. මේ දෙදෙනා නවග්‍රහ ලෝකය නව වැනි ග්‍රහයා ලෙස නිලවශයෙන් හඳුන්වනු ලබන අතර එහි නිල නොවන නාමය වශයෙන් දී ඇත්තේ ෆැටී(Phattie) යන්නයි.

නව ග්‍රහයා සෙවිමේ පරීක්ෂණ 2014 සී ආරම්භ වුණේ කුයිපර් පථයේ ඈතම කලාපයේ වස්තූන් කිහිපයක් සොයා ගැනීමත් සමගය. මෙකී දුරස්ථ වස්තූන් සෞරග්‍රහ මණ්ඩලයේ තලයෙන් බාහිර ඕවලාකාර කක්ෂයක ගමන් කරයි. මේ චලනය, විශාල ආකාශ වස්තුවක පැවතීම පෙන්නුම් කරන්නේ යයි පර්යේෂකයෝ කියති. මෙකී වස්තුවේ ප්‍රමාණය හා කක්ෂය සැලකිල්ලට ගනිමින් ඔවුන් කියා සිටින්නේ සිය ගණන් බැලීම් අනුව මෙකී සුවිශාල වස්තුව සූර්යයා වටා බිත්තරයක හැඩයක් ඇති මගක සෑම වසර 10,000 සිට 20,000 දක්වා ගමන් කරන බවයි.
අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ දුරින්ම පිහිටි වස්තු හයක ඇත්තේ සෞරග්‍රහමණ්ඩල තලයෙන් වික්ෂෝභනය වූ (tilt ගුරුත්වාකර්ෂණ ඇදිල්ල නිසා කක්ෂයෙන් ඉවතට පනින ලද) කක්ෂයන්ය. සමහරවිට නව වැනි ග්‍රහලෝකයේ වින්‍යාසය මෙම ගුරුත්වාකර්ෂණ බලපෑම තුළින් පැහැදිලි කළ හැකිවේ. මෙම විශාල ග්‍රහලෝකයේ ගුරුත්වය, වස්තුන් ඒවායේ වික්ෂෝභිත කක්ෂයන් කරා ‘ගාල්කරනවා’ විය හැකි යයි පර්යේෂකයෝ අදහස් කරති.
සූර්යයා මැදි කර ගත් ග්‍රහ මණ්ඩලයේ ඈත ඉමේ අලුතෙන් තවත් ග්‍රහයන් සෙවීම පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් ඇත. මෙයට ශතවර්ෂයකට පමණ පෙර එය ආරම්භ වන්නේ පර්සිවල් ලොවෙල් සමගය. නෙප්චූන් සහ යුරේනස් ග්‍රහයන්ගේ කක්ෂයන්හි වැනීම නැතිනම් සැලීම හඳුනාගත්තේ ඔහුය. එම සැලීම ඇති වන්නේ ඊනියා X ග්‍රහයා (Planet X) හේතුවෙන් යයි ලොවෙල් විශ්වාස කළේය. වැරදි මිනුම් හේතුවෙන් මෙම සැලීම් සිදුවන බව පසුව පෙනී ගියත් ඈත ඉමේ ග්‍රහලෝක සෙවීම විද්‍යාඥයෝ අත් නොහළහ. බ්‍රවුන් සහ බැටිජින් දෙදෙනාගේ සොයා ගැනීම්වල යම් යම් අඩුපාඩු තිබුණේ වී නමුදු X ග්‍රහයා පිළිබඳ වඩාත්ම බලගතුම සාක්ෂි ඔවුන්ගේ දත්තවලින් සැපයෙන බව Science සඟරාවට ලිපියක් සපයන එරික් හෑන්ඞ් පවසයි.
ඔවුන් දෙදෙනාගේ ගණනය කිරීම් පාදක කරගෙන සලකා බලන විට කුයිපර් පථයේ වස්තු පොකුර හුදු සම්පාතයක් හෙවත් සහසිද්ධියක්(coincidence) වීමට ඇති ඉඩකඩ 0.007%ක් හෙවත් 15,000කට එකක් බව හෑන්ඞ් වාර්තා කරයි. එසේ වුවද නවවැනි ග්‍රහයා සොයා ගැනීමට කිසිවෙක් තවමත් සමත්වී නැත. සොයාගෙන ඇත්තේ මෙකී විස්මිතක කක්ෂයන් පමණකි. නව වැනි ග්‍රහයා එහි සිටී නම් එය සූර්යයාගේ බොහෝ ඈත්ව පිහිටීම නිසා සූර්යාලෝකය පරාවර්තනය කිරීමට තරම් නොහැකිවන අතර බොහෝ ටෙලස්කෝප මගින් දැක බලා ගැනීමට ද නොහැකි තරම්ය. තවද, කුයිපර් පථ වස්තු හය කණ්ඩායමට අයත් නොවන අලුත් තනි වස්තුවක් හමුවුවහොත් දැනට ගොඩ නගා ඇති මතවාද මහා ප්‍රාසාදය බිඳී ඇද වැටෙනු ඇතැයි ද ඇතැම් විද්‍යාඥයන් අතර විමතියක් තිබේ.
එය එසේ වුවද, විද්‍යාඥයන් නව වැනි ග්‍රහයෙකු සෙවීමේ උත්සාහය නතර කර නැත. ඔවුහු තවමත් සෙවිල්ලෙන් සිටිති. ‘අපේ මේ සෞරග්‍රහ මණ්ඩලය තුළ තවත් ග්‍රහයකු සිටිත් නම්, ඒ මෙය තමයි’ යනුවෙන් පවසන්නේ කැලිෆෝනියා සරසවියේ ග්‍රෙග් ලාෆ්ලින්ය. ‘එය ඇත්තටම සුවිශේෂී වනු ඇති. අපි බලාපොරොත්තු තබා ගෙන සිටිමු’ ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Smithsonian Smart News හි Evidence Stacks Up for a Planet Beyond Pluto ලිපිය ඇසුරෙනි