විදු නැන නුවණ – Science Literacy for All

සිසරීය සැත්කමින් උපන් බිළිඳුන්ට මවගේ යෝනි ක්ෂුද්ර ජීවීන් තැවරීම

සමහර රටවල, විශේෂයෙන් ම ලතින් ඇමරිකානු රටවල දරු උපත් වලින් සියයට පනහකට වැඩියෙන් සිදුවන්නේ සිසරීය සැත්කම් (caesarean section ) මාර්ගයෙනි. එවැනි සැත්කම් වලින් උපදින බිළිඳුන්ගේ ක්ෂුද්ර ජීවී බියෝමය හෙවත් ජීව සමුදාය වෙනස් කිරීමට පර්යේෂකයෝ සමත් වෙති. ඒ ඔවුන්ගේ මවගේ යෝනියේ ක්ෂුද්ර ජීවීන් පිස්නයකට උරා නව ජනිතයාගේ සිරුරෙහි මාත්තු කිරීමෙනි මෙවැනි පර්යේෂණයක් ලෝකයේ සිදු කළ ප්රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. එහි වාර්තාවක් 2016 පෙබරවාරි 1 වෙනිදා නිකුත් වූ නේචර් මෙඩිසින් (Nature Medicine) සඟරාවෙහි පළ විය.
images
මෙතෙක් මේ ක්රියාදාමයට බඳුන් වී ඇත්තේ බිළිඳුන් හතර දෙනෙකු පමණකි. මේ ක්රියාදාමයේ දී උත්සාහ කරනු ලබන්නේ, සිසරීය සැත්කමින් උපදින දරුවන්ට අහිමි ක්ෂුද්ර ජීවී පරිසරය නිරිමාණය කිරීමටය. යෝනි මාර්ගයෙන් උපන් බිළිඳුන්ට වඩා සිසරීය සැත්කමින් උපන් බිළිඳුන්ට ස්ථුලතාව, ඇදුම සහ අනෙකුත් රෝග වර්ධනය වීම මද වශයෙන් වැඩි බව පෙනී ගොස් තිබේ. තවද, ඔවුන්ගේ සමෙහි, ඔවුන්ගේ බඩවැල් සහ සිරුරේ වෙනත් තැන්වල ඇති ක්ෂුද්ර ජීවී ප්රජාවන් අතින්ද මේ දෙකොට්ටාශය අතර වෙනස්කම් ඇත. එහෙත් සිසරීය සැත්කමින් උපන් දරුවන්ගේ සෞඛ්ය ප්රශ්න සහ ඔවුනගේ ක්ෂුද්ර ජීවී සමුදාය (biome බියෝමය) අතර සම්බන්ධතාව තහවුරු කිරීම වස් අධ්යයන සිදු කර නොමැත.

baby-RF-Getty
“ මෙය සෛදාන්තික වශයෙන් ගත් කළ පරිණාමීයව අර්ථවත් දෙයක්” යයි සන්දියාගෝ හි කැලිෆෝනියා සරසවියේ ක්ෂුද්ර ජීවී විද්යාඥ රොබ් නයිට් කියා සිටියි. මෙම අධ්යයනයේ කොටස්කරුවකු වන නයිට් තව දුරටත් කියා සිටින්නේ “මේ මෑතක් වනතුරු ම දැනට ජීවතුන් අතර සිටින සෑම ක්ෂීරපායියෙකු ම මෙලොවට බිහිව ඇත්තේ නොවැරදීම මවගේ යෝනි මාර්ග ක්ෂුද්ර ජීවී ප්රජාව හා දැවටීගෙනයි” යනුවෙනි. (නයිට්, 2011 වසරේ දී හදිසියේ සිය දියණිය සිසරීය සැත්කමකින් සිය දියණිය ප්රසූත කිරීමට සිදු වූ අවස්ථාවේ මෙම ක්රියාදාමය එනම් යෝනි ක්ෂුද්ර ජීවී නව ජනිතයාගේ සිරුරෙහි දැවටීම සිදු කළ ද එය මෙම අධ්යයනයේ කොටසක් වශයෙන් නොවේ)
කලින් ද දැක්වූ පරිදි ලතින් ඇමරිකාවේ විශේෂයෙන් ම සිසරීය සැත්කම් දරු උපත් මුළු දරු උපත් වලින් අඩකට වඩා වැඩිය. “ස්වභාවික ආදි කල්පිත බැක්ටීරියා (primordial bacteria) නොමැතිව මෙලෙස උපදින දරුවන් සම්බන්ධයෙන් අප කළ යුත්තේ කුමක් දැයි වෙලාවකට විමතියකුත් ඇති වෙනවා” යයි පවසන්නේ නව අධ්යයනයේ ප්රධාන පරීක්ෂක නිව්යෝක් විශ්ව විද්යාලයේ ක්ෂුද්ර ජීවී පරිසර විද්යාඥ මාරියා දුමින්ගුවේස් බෙලෝය. ඇය, දරුවන් අපේක්ෂාවෙන් සිටින ගර්භණීන් මෙම අධ්යයනය සඳහා සහභාගී කරවා ගැනීම ආරම්භ කරන්නේ 2012 වර්ෂයේ දී ය. පර්යේෂක කණ්ඩායම, යෝනි මාර්ගයෙන් දරුවන් බිහි කළ කතුන් 7 දෙනෙකු සහ සිසරීය සැත්කමින් දරුවන් බිහි කළ කතුන් 11 දෙනෙකු මේ සඳහා යොදවා ගනු ලැබීය. මෙකී 11 දෙනාගෙන් සිව් දෙනෙකු දරු ප්රසූතියට ඔන්න මෙන්න කියා තිබිය දී යෝනි ක්ෂුද්ර ජීවීන් හුවමාරුවකට සූදානම් කරන ලද අතර මවගේ යෝනි ක්ෂුද්ර ජීවී ප්රජාවන් ජීවානුහරණය කළ ගෝස් කැබලි වලට ගනු ලැබීය. බිළිඳා ඉපදී විනාඩි දෙකක් ඇතුළත මෙම ගෝස් රෙදි කැබැල්ල නව ජනිතයාගේ සිරුර පුරාවට මාත්තු කරනු ලැබීය. මෙලෙස මාත්තු කරනු ලැබූ බිළිඳුන් සිව් දෙනාගේ සමෙහි, බඩවැල්වල, අධෝමුඛයේ සහ මුඛයේ බැක්ටීරීය ප්රජාව, ස්වභාවික දරු උපතකින් ලද බිළිඳුන්ට වඩාත් සමාන වූ බව සිසරීය සැත්කමින් උපන් අනෙක් දරුවන් හා සැසඳීමේ දී පෙනී ගොස් තිබේ.

newborn-baby_wide-20d63325f1b94dba2f7d13cf8d57519a8e224413-s800-c85
නේචර් මෙඩිසින් සඟරාවේ පළ කළ වාර්තාවෙහි දැක්වෙන්නේ දරුවන්ගේ ජීවිතයෙහි මුල් මාසය තුළ නිරීක්ෂිත වෙනස්කම් පමණකි. එහෙත් ඒවා දිගුකල් පවතින බව දුමින්ගුවේස් බෙලෝගේ අදහසයි. මෙම කණ්ඩායම පසු විමර්ශන අධ්යයනයක ද යෙදී සිටිති. එහි දී දරුවන් 75 දෙනෙකු සම්බන්ධයෙන් මෙම ක්රියාදාමයෙහි බලපෑම වසරකට පසු කෙසේ වේදැයි සොයා බැලේ. කෙසේ වෙතත්, යෝනි ක්ෂුද්ර ජීවී හුවමාරුව දරුවාගේ සෞඛ්ය කෙරෙහි සිදු කරන බලපෑම් නිර්ණය කිරීම පහසු නැත. මේ සඳහා අඩු තරමින් දරුවන් 1250 දෙනෙකුවත් තෝරාගෙන වසර 3-5 දක්වා අතර කාලයකවත් ඔවුන් ගැන සොයා බැලිය යුතු වේ. මෙකී ක්ෂුද්ර ජීවී හුවමාරු ක්රියාදාමය සිරුරේ සංයුතියෙහි හෝ ඇදුම හෝ අසාත්මිකතාව අනුපාතයන් කෙරෙහි බලපෑම සෙවිය හැක්කේ එලෙසයි.
මව්වරුන් අතර පද්ධතිමය වෙනස්කම් නිසා ද සංකීර්ණතා මතුවිය හැකි බව මිනෙසෝටා සරසවියේ ආමාශ හා අන්ත්ර විද්යාඥයෙකු වන ඇලෙක්සැන්ඩර් කෝරූට්ස් පවසයි. මේ නිසාද ක්ෂුද්ර ජීවී හුවමාරුවෙහි සෞඛ්යමය වාසි සෙවීම දුෂ්කර වන බව ඔහුගේ අදහසයි. “ ඇරත්, මෙවැන්නක් තමන් විසින් ම සිදු කිරීමට මව්වරුන් උත්සාහ කළත් නොදැනුවත්ව ම තම ආසාදන අලුතෙන් උපන් බිළිඳාට ද බෝකිරීමේ අවදානම ද ඇත” යනුවෙන් පවසන්නේ හේන්ස්විල් හ,ි ෆ්ලොරිඩා වෛද්ය විද්යාලයේ නවජසූති විද්යාඥ ජොසෙෆ් නියුය.
මේ ක්රියාදාමය ගැන දුමින්ගුවේස් බෙලෝට ගර්භනී මව්වරුන්ගෙන් නිතර විමසීම් ලැබේ. එවැනි අයට ආසාදන බෝවෙන රෝග තිබේදැයි පළමුව සොයා බැලේ. ඒත් ඇය ඔවුන්ට දන්වා සිටින්නේ මෙය තවම සම්මත ක්රියාදාමයක් බවට පත්ව නැති බවයි. එහේ වුවද ක්රියාදාමය තමන් ම සිදුකර ගැනීමට උනන්දුව දක්වන මව්වරු එය සම්මතයක් බවට පත්වන තුරු නොඉඳිති. “එක අතකින් ගත්තාහම මෙතන තේරීමක් නැහැ. මොකද සාමාන්ය උපතක් සිදුවන විට යෝනි ක්ෂුද්ර ජීවීන් අනිවාර්යෙන් ම දරුවාගේ සිරුරෙහි දැවටෙනවා. ආසාදන තිබුනත් නැතත්” යයි රොබ් නයිට් පෙන්වා දෙයි.

Scientific American සඟරාවෙහි Scientists Swab C-Section Babies with Mothers’ Microbes ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: