විදු නැන නුවණ – Science Literacy for All

සතුන්ගේ ලෙයත් අපේ වගේම රතු පාටමද?

රුධිරය හැම සතෙකුගේම රත් පැහැ නොගනී. සත්ව විශේෂ පරිණාමය වෙද්දී විවිධ සාධක හේතු කොට ගෙන නොයෙක් වර්ණවල රුධිරය සතුන් අතරේ දැකිය හැකියි. එසේ වන්නේ ඇයි? මෙම ලිපියෙන් සලකා බලන්නේ ඒ ගැනයි.

ඉංග්‍රීසියෙන් නිල් ලේ ඇත්තෝ (blue bloods)යයි කියන්නේ සමාජයේ ඉහළ පෙළේ වැජඹෙන්නනන්ටය. එහෙත්, එකෙකුවත් නෑර සෑම මිනිසෙකුගේම ලේ රතුපාටමය. සත්ව රාජධානියේ නම් මෙයට වෙනස්ව දේදුනු වර්ණයෙන් ලේ ඇති සාමාජිකයන් සොයා ගත හැකියි. නිල් ලේ ගැන කතා කරද්දී මතක් වන්නේ බූවල්ලන්. රතු ලේ වෙනුවට බූවල්ලන් (octopus) විශේෂ ගණනාවකටම ඇත්තේ නිල් ලේය. ඔවුන්ගේ නහර තුළ ගලා යන්නේ නිල් ලේය. මේ නිල් පැහැය එන්නේ තඹ පිරි ප්‍රෝටීනයක් වන හෙමෝසයනින්  (hemocyanin) වලිනි. බූවල්ලාගේ පෙනහළුවල සිට රුධිරධාරාවටත් අනතුරුව බූවල්ලාගේ සිරුරේ සෛලවලටත් ඔක්සිජන් රැගෙන යනු ලබන්නේ හෙමෝසයනින් මගිනි. මානවයන් ඇතුළු අනෙකුත් සතුන්ගේ රුධිරයෙහි දැකිය හැකි යකඩ අඩංගු ප්‍රෝටීනයක් වන හෙමොග්ලොබින් මෙකී ඔක්සිජන් ප්‍රවාහනය කාර්යම ඉටු කළ ද එය රුධිරයට ලබාදෙන්නේ රතුපාටයි. හෙමොග්ලොබින් සහ හෙමෝසයනින් යන දෙකම ඒවා  අවශ්‍යවන පටක මත පැමිණි විට ඒවායේ බන්ධිත ඔක්සිජන් මුදාහරියි.

green-blooded-lizard-600x401

කෙසේ වෙතත්, ඇන්ටාක්ටිකාවේ බූවල්ලෙකු වන Pareledone charcoti විශේෂයට ඇන්ටාක්ටිකාවේ (ශුන්‍යයට අඩු)අධික ශීතල හමුවේ හෙමෝසයනින් මගින් ඔක්සිජන් ප්‍රවාහනය කිරීමේදී ගැටලු ඇතිවෙයි. ඒකට හේතුව, ධ්‍රැව ප්‍රදේශවල ජලයේදී ඔක්සිජන් කෙතරම් තදින් හෙමෝසයනින්වලට බැඳෙයිද කියතොත් එය පහසුවෙන් ඔක්සිජන් අත්නොහරියි. ඉතින් ඔවුන්ගේ පටකවලට ඔක්සිජන් ලබාගැනීමට නොහැකි වුණොත් සිදුවන්නේ මේ විශේෂය මිය යාමයි. මෑතක සිදු කළ පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ මෙම ගැටලුව විසඳීම පිණිස මෙකී සීතල ජලවාසීන් හෙමෝසයනින් ඉතා අධිකව නිපදවන බවයි. මෙම සීතල අභිරහස විසඳීම වස් අධ්‍යයනයේ ප්‍රධානියා වන ජර්මනියේ පාරිසරික භෞතවේදී මයිකල් ඔලේමාන් මෙකී ()P. charcoti විශේෂ හෙමෝසයනින් රැගෙන යන තවත් බූවල්ලන් විශේෂ දෙකක් වන  Octopus pallidus and Eledone moschata හා සංසන්දය කළේය. කෙසේ වෙතත් එම විශේෂ දෙක වඩාත් උණුසුම් ජලයෙහි වසන බූවල්ලන් ය. මෙහිදී ඔහුට පෙනී ගියේ සාමාන්‍යය ගත් කළ P. charcoti විශේෂයෙහි O. pallidus or E. moschata යන අනෙක් විශේෂ දෙකට වඩා රුධිරයෙහි සියයට 40 ක් වැඩිපුර හෙමෝසයනින් තිබූ බවයි. ‘ඇත්තටම එය අප අපේක්ෂා නොකළ දෙයක්’ ඔලේමාන් කියයි.

octopusblood01.adapt.768.1

මෙන්න පුදුමය දනවන තවත් දෙයක්: රතු හැර වෙනත් වර්ගයක ලේ වගුරවන සත්ව විශේෂ ගණනාවක්ම වෙති. උදාහරණයක් ලෙස ocellated icefish ගමු. මේ විශේෂය ඇන්ටාක්ටිකාවේ බූවල්ලන් සමග එකට සැරිසැරුවද එකම ශීතල පරිසරයක ජීවිතය ගත කළ ද රුධිරය සම්පූර්ණයෙන්ම වෙනස්ය. එම විශේෂයේ නහර දිගේ ගමන් කරන රුධිරය සම්පූර්ණයෙන්ම අවර්ණය. මේ ධ්‍රැව වාසී සත්වයාට හෙමොග්ලොබින් සහ හෙමෝසයනින් යන දෙවර්ගයම නොමැති නිසා ඔවුන්ගේ රුධිරයට කිසිම පැහැයක් එක්වී නොමැත. ‘සීතල ජලය උණුසුම් ජලයට වඩා ඔක්සිජන් බහුලයි. මේ හා සමාන ගැඹුරක කොපමණ නම් ද්‍රාවිත වූ ඔක්සිජන් ඇත් ද කියතහොත් මෙම මත්ස්‍යයන්ට ඔක්සජන් ප්‍රවාහනය සඳහා හෙමොග්ලොබින් වැනි ක්‍රියාකාරි ඔක්සිජන් වාහකයක් අවශ්‍යවන්නේ නැහැ’ යනුවෙන් ඔලේමාන් කියා සිටියි. මෙකී මත්ස්‍ය විශේෂය වෙනත් ආකාරවලින් ද අමුත්තක් දක්වයි. අනෙකුත් බොහෝ මත්ස්‍යයන්ට මෙන් නොව මේ මත්ස්‍ය විශේෂයට කොරපොතු නොමැත. එලෙස කොරපොතු නොමැතිකම නිසා එම මත්ස්‍යයාගේ සම හරහා ඔක්සිජන් විසිරීම (diffuse) සිදුවන බව විද්‍යාඥයෝ විශ්වාස කරති. සිරුර පුරා  මෙලෙස රුධිරය පොම්ප කිරීම පිණිස මොවුනට අසාමාන්‍ය මට්ටමක විශාල හදවත් සතුය.

කොළපැහැති ලේ සහිත හිකනල්ලු  පැපුවා නිව්ගිනියාව සිය නිජබිම කරගෙන සිටිති . ලූසියානා රාජ්‍යය සරසවියේ ජීව විද්‍යාඥ ක්‍රිස්ටෝපර් ඔස්ටින් සිය වෘත්තීය ජීවිතය කැපකර ඇත්තේ මේ හිකනලුන් අධ්‍යයනය උදෙසාය. වෙනත් බොහෝ සතුන් මෙන් හිකනලාද ඔක්සිජන් ගෙන යාම සඳහා හෙමොග්ලොබින් යොදා ගනියි. එමෙන්ම වෙනත් බොහෝ සතුන් මෙන් හිකනලාගේද අක්මාවේදී  හෙමොග්ලොබින්, බිලිරුඩින්(bilirubin), බිලිවර්ඩින්(biliverdin) වැනි අතුරු ද්‍රව්‍ය වශයෙන් බෙදීයාම සිදුවේ. මානවයන් සාමාන්‍යයෙන් මෙම ද්‍රව්‍ය අන්ත්‍රයට බහිස්ස්‍රාවය කරයි. මන්ද ඒවා රුධිරය තුළ ගොඩ ගැසුනොත් සම සහ ඇහේ සුදු කොටස කහ වර්ණ ගන්නා හෙයිනි. අනෙක් අතට, සිය රුධිරයෙහි අධික ප්‍රමාණයක් බිලිවර්ඩින් තිබීම ගැන හිකනලා මනාප බවක් පෙනෙයි. රුධිරයට කොළ පැහැය එන්නේ මේ නිසාවෙනි. ‘මේ තරම් ප්‍රමාණයක් බිලිවර්ඩින් අපේ ලේවල තිබුණොත් අපව මැරිලා යාවි’ ඔස්ටින් කියා සිටී. මේ ඉහළ මට්ටමකින් බිලිවර්ඩින් පවත්වා ගෙන යාමට හිකනලුන්ට බලපාන සාධක මොනවාදැයි සෙවීමට ඔස්ටින් මේ දිනවල වෙහෙසෙමින් සිටියි. ඔහු දැනට දිරිපත් කරන උපන්‍යාසය හෙවත් උපකල්පනය වන්නේ මැලේරියාව වැනි රෝග ඇති කරවන පරපෝෂිතයන්ට එරෙහිව ආරක්ෂාවක් බිලිවර්ඩින් රසායනයෙන් සැපයෙන බවයි. මේසා විශාල ජිවීන් විශේෂ ගනනාවක් අධ්‍යයනය කිරීමට තවමත් ඉතිරිව සිටිද්දී එකක් ස්ථිරවම ප්‍රකාශ කළ හැකිය: ලේ පිළිබඳ පර්යේෂණ තව බොහෝ  කාලයක් පවතිනු ඇත යන්නයි , ඒ.

ඒ කෙසේ වෙතත් වෙනස් නොවන දෙයක් ඇත. ජාතිය, ආගම, ප්‍රමාණය, හඩරුව සහ සමේ වර්ණය, කුමක් වුවත් මිනිස් වර්ගයාට අයත් සැම සාමාජිකයෙකුගේම රුධිරය එකම එක පාටය: ඔව්, නොවැරදීම රතුය!

National Geographic  හි  In Animal Kingdom, Blood Comes in a Rainbow of Colors ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: