සැමට විදු නැන නුවණ – Science Literacy for All

ශරීරාභ්‍යන්තරයේ වැසි වනාන්තරය

බඩවැල් ක්ෂුද්‍ර ජීවීන්ගේ කාර්ය භාරය විමසීමක්.

article-2404431-1B80E0F1000005DC-397_306x423මානවයන්ගේ ශරීරය නොයෙක් ආකාරයේ ක්ෂුද්‍ර ජීවීන්ට නිවහන වන බව විද්‍යාඥයන් දැන සිටියේ බොහෝ කාලයකට පෙර සිටය. එහෙත් මේ ක්ෂුද්‍ර ප්‍රාණීන් අපේ සිරුරේ සෛල මෙන් දශ ගුණයක් වශයෙන් පෙරමුණ ගෙන සිටින බව ඔවුන් විසින් වටහා ගනු ලැබුවේ පසුගිය දශකය හෝ ඒ ආසන්න කාලයක සිටය. සැලකිය යුතු ක්ෂුද්‍ර ජීවී ප්‍රජාවන් මහා අන්ත්‍රයෙහි මෙන් ම අපගේ මුඛයෙහි ද වැජඹෙමින් සිටියත්, විශාලතම එමෙන් ම විවිධත්වයෙන් වඩාත් අනූන ක්ෂුද්‍ර ජීව මහා පුරවර පිහිටුවාගෙන ඇත්තේ ප්‍රජනක පථයෙහි(genital tract) සහ සමෙහි ය.

මෙලොවට අප ජනිතවන උපත් මාර්ගයෙන් එළියට පැමිණෙන මෙහොතේ සිට ප්‍රථමයෙන් ම මවගේ බැක්ටීරියා අත්පත් කර ගනිමින් ද අනතුරුව පරිසරයෙන් නව ක්ෂුද්‍ර ජීවී සාමාජිකයන් එකතු කර ගනිමින් ද අප එක් එක් පුද්ගලයා  මුළු ජීවිත කාලය පුරා ක්ෂුද්‍ර ජීවී සුවිශේෂ පර්ෂදයක් ගොඩ නැගීම ආරම්භ කරමු. මෙම විවිධ ආකාරයේ ක්ෂුද්‍ර ජීවීන් සාමුහිකව හඳුන්වනු ලබන්නේ ක්ෂුද්‍ර ජීවී බියෝමයක් හෙවත් ජීව සමුදායක් (microbiome)ලෙසය. මෙම විවිධ ක්ෂුද්‍ර ජීවීන්ගේ ජාන අධ්‍යයනය කිරීම තුළින් වඩාත් ප්‍රචලිත හෙවත් සුලබ නේවාසික ක්ෂුද්‍ර ජීවීන් බෙහොමයක් ම හඳුනා ගැනීමට පර්යේෂකයෝ සමත්ව සිටිති. කෙසේ වෙතත් මෙම ප්‍රාණීහු පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන් ම විවිධ මානව ජනගහනයන් අතර ද බොහෝ සේ වෙනස්කම් දක්වති. සිරුර තුළ ඔවුන්ගේ පැවැත්ම පමණක් පිළිගෙන නිහඬව නොසිට මෙකී මේ අල්ප ප්‍රමාණ ප්‍රාණීන් මිනිස් සිරුර තුළ  ඉටු කරන්නේ කුමන ආකාරයේ කාර්යන් ද සමස්තයක් වශයෙන් අපගේ සෞඛ්‍ය කෙරෙහි ඔවුන් කුමන බලපෑමක් සිදු කරන්නේ ද යන්න නිර්ණය කරනු පිණිස පර්යේෂකයෝ මෑතක වසරවල සිට උත්සුක වීමට පටන් ගෙන සිටිති.

ස්ථුලතාවය කෙරෙහි ක්ෂුද්‍ර ජීවීන් ඉටුකරන කාර්ය භාරය පිළිබඳ මුල්ම ඉඟියක් ලබා ගත හැකි වූයේ කෙට්ටු සහ මහත දේහධාරීන්ගේ අන්ත්‍ර (බඩවැල්) බැක්ටීරියා සංසන්දනය කෙරෙන අධ්‍යයන මගිනි. දෙදෙනාම කෘශ හෝ දෙදෙනාම ස්ථුල නිවුනන් පිළිබඳ අධ්‍යයන වලදී පර්යේෂකයන්ට පෙනී ගියේ කෘශ (කෙට්ටු) පුද්ගලයන්ගේ බඩවැල් බොහෝ විශේෂයන් පිරී ඉතිරි ගිය ක්ෂුද්‍ර ජීවී ප්‍රජාව, හරියට වැසි වනාන්තරයක් බඳු බවයි. එහෙත් ස්ථුල සිරුරක් ඇති අයගේ බඩවැල් ජීවීන්ගේ විවිධත්වය අඩු විය. එය හරියට, සාපේක්ෂව විශේෂ කිහිපයක පමණක් ග්‍රහණයේ ඇති පෝෂක අතිරික්තයක් සහිත පොකුණක් බඳුවිය. නිදසුනක් දක්වන්නේ නම් කෘශ පුද්ගලයන්ගේ අන්ත්‍රයෙහි බැක්ටීරියෝඞ්ට්(bacteroidetes) වඩා පුළුල් විවිධත්වයක් තිබීමට ඉඩ ඇත. බැක්ටීරියෝඞ්ට් යනු ශක්ති ප්‍රභවයක් ලෙස සිරුරට උපයෝගී කර ගැනීමට හැකිවන අයුරු ශාක වල  ඝන පිෂ්ඨය හා තන්තු  කෙටි අණු බවට හැරවීම පිණිස කඩා බිඳ දැමීමේ විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති ක්ෂුද්‍ර ජීවී විශාල ගෝත්‍රයන්ය.

25924_sci101915b2rainforestcanopycourtesypattyrgbf

කෙසේ වෙතත් එවැනි විවිධත්වයන් ලේඛන ගත කළ පමණින් ම මෙකී විසංගතාවන් ස්ථුලභාවයට වගකිව යුතුය යන්න අදහස් නොකෙරේ. හේතුව මෙන්ම ඵලය ද ප්‍රදර්ශනය කිරීම වස් සිය සගයන් හා එක්ව වොෂින්ටන් සරසවියේ ජෙෆ්රි ගෝඞ්න් ඊනියා මානුෂිකෘත මීයන් යොදා ගනිමින් විශිෂ්ඨ අත්හදා බැලීම් ගණනාවක් ම සිදු කළේය. මේවායේ ප්‍රතිඵල සයන්ස් (Science) සඟරාවේ පසුගිය සැප්තැම්බර් කලාපයේ පළ විය. මෙහිදී ඔවුන් ප්‍රථමයෙන් සිදු කළේ ජානමය වශයෙන් අනන්‍ය වූ (සමාන වූ) මී පැටව් විෂබීජ වලින් තොර පරිසරයක ඇති දැඩි කිරීමය. අරමුණ වූයේ ඔවුන්ගේ සිරුරු බැක්ටීරියා වලින් තොරව තබා ගැනීමයි. අනතුරුව සිදුකෙරුනේ මීයන්ගේ බඩවැල් වල, ස්ථුල කාන්තාවන් සහ ඔවුන්ගේ කෘශ නිවුන් සොහොයුරියන්ගෙන් එකතු කරගත් ආන්ත්‍රික ක්ෂුද්‍ර ජීවින් ගහණ පිහිටුවීමයි. ( භානෘක නිවුන් ස්ත්‍රී (fraternal female twins)ජෝඩු තුනක් ද සර්ව සම නිවුන්නු(identical twins) එක ජෝඩුවක් ද අධ්‍යයනය සඳහා යොදා ගැනිණ): මීයන්ට එකම වර්ගයේ ආහාර එකම ප්‍රමාණයෙන් කන්නට ලැබිණ. එහෙත් ස්ථුල නිවුන්නන්ගෙන් ලබාගත් බැක්ටීරියා සහිත මීයන් බර වැඩිව වර්ධනය වූ අතර ඔවුන්ගේ සිරුරේ මේදය ද කෘශ නිවුන්නකුගෙන් ලබාගත් බැක්ටීරියා සහිත මීයන්ට වඩා වැඩි විය. බලාපොරොත්තු වූ පරිදිම ස්ථුල මීයන්ගේ අන්ත්‍රයෙහි වූයේ විවිධත්වයෙන් අඩු ක්ෂුද්‍ර ජීවී් ප්‍රජාවක් ය. ගෝඞ්න්ගේ කණ්ඩායම මේ අත්හදා බැලීම එක් සුළු වෙනස්කමක් පමණක් ඇතිව නැවත සිදු කළහ: මෙවර මී පැටවුන්ට ඒ ඒ නිවුනන් ගෙත් ලබාගත් ක්ෂුද්‍ර ජීවීන් වෙන වෙනම ලබා දුන් නමුත් ඇති දැඩි කිරීම පිණිස හවුලේ කූඩු ගත කෙරිණ. එවිට ප්‍රතිඵලය වූයේ කණ්ඩායම් දෙකේ ම මීයන් කෘශ වීමයි. මෙය සිදු වූයේ කෙසේ ද? අධ්‍යයන මගින් හෙළි වූයේ ස්ථුල මානවයන්ගෙන් ලබාගත් ක්ෂුද්‍ර ප්‍රාණීන් සහිත මීයන් කූඩුවේ එකට සිටි තම කෙට්ටු සගයන්ගේ අන්ත්‍ර බැක්ටීරියා  –  විශේෂයෙන් ම විවිධ බැක්ටීරියෝඞ්ට් වර්ග – ලබා ගන්නට  ඇති බවයි. ඒ කෙට්ටු සගයන්ගේ මළ අනුභව කිරීමෙනි. මෙය මීයන් අතර ආකෘතික(typical) චර්යාවකි.

කාරණාව තව දුරටත් ඔප්පු කරනු වස් පර්යේෂකයෝ කෙට්ටු මීයන් කිහිප දෙනෙකුගෙන් බැක්ටීිරියා වර්ග 54 ක් ස්ථුල මාදිලියේ ක්ෂුද්‍ර ජීවී ප්‍රජාවන් සහිත මීයන් වෙත මාරු කිරීමක් කළහ. එවිට පෙනී ගියේ ස්ථුල භාවයට පැමිණීමට නම නියමව සිටි මීයන්ගේ බර සෞඛ්‍ය සම්පන්න මට්ටමට පැමිණි බවයි. වර්ග    39 ක් පමණක් මාරු කිරීමෙන් ප්‍රතිඵල අත්කර ගත නොහැකි විය. “සමස්ථයක් ලෙස ගත් කළ මෙම අත්හදා බැලීම් වලින් සැපයෙන්නේ, ඉවත දැමිය නොහැකි හේතුඵල සම්බන්ධතාවක් පවතින බවත් එමෙන් ම එය ස්ථුල භාවය වර්ධනය වීම වැළක්වීමට හේතු වන්නට ඇති බවත්“ යයි ගෝඞ්න් පවසයි.

Scientific American හි  An Inner Rain Forest: Gut bacteria ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: