සැමට විදු නැන නුවණ – Science Literacy for All

මෙලොව දේශගුණ විපර්යාස ගැන හොයන්න අඟහරු ලොවේ අල වගා කරන්න යයි

අර්තාපල් හෙවත් අප නිතර පවසන අන්දමට අල ලොව පුරා කොයි රටක වුණත් බෙහෙවින් ජනප්‍රිය කෑමක්. අපේ රටේ වුනත් අල බැදුම, අල හොද්ද ආදී වශයෙන් අර්තාපල් අපේ එදිනෙදා ආහාරයේ වැදගත් තැනක් හිමිකර ගනී. විවිධාකාරයෙන් සකසා ගැනීමේ හැකියාව පමණක් නොව රස ද එහි ජනප්‍රියත්වයට හේතු වී ඇත. තවද, අර්තාපල් වගා කරගැනීම ද කරදරකාරී නොවේ. අවශ්‍ය වන්නේ සුළු ජල ප්‍රමාණයක් වන අතර  පහසුවෙන් අනුගත වේ. අනෙකුත් එළවළු වගා කිරීමට අපහසු දුෂ්කර තත්තවයක් යටතේ ද අර්තාපල් වැවිය හැකි අතර පෝෂණ ගුණයෙන්ද අනුනය. ඇ.එ.ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන අන්දමට රතු-දුඔරු වර්ගයේ අර්තාපල් ගෙඩියකින් දෛනික නිර්දේශිත කැලරි ප්‍රමාණයෙන් සියයට 10 ක් ද තන්තු ග්‍රෑම් හතරක් ද ප්‍රෝටීන් ග්‍රෑම් පහක් ද එකතුවන නමුත් සීනි එකතුවන්නේ ග්‍රෑම් දෙකක් පමණයි.

අඟහරු ලෝකයේ ඇති තත්ත්වයන්ට සමාන තත්ත්වයන් යටතේ අර්තාපල් වගා කිරීමේ අත්හදා බැලීමක් සිදුකිරීම පිණිස නාසා විද්‍යාඥයන් පෙළඹවීමට මෙකී දත්ත සමත්වීතිබේ. අත්හදාබැලීම් සිදුකෙරෙන්නේ  පේරු රාජ්‍යයේ අන්තර් ජාතික අර්තාපල් මධ්‍යස්ථානය (CIP) හා එක්වය. සෞර ග්‍රහ මණ්ඩලයේ රතු ග්‍රහයා ලෙස හැඳින් වෙන අඟහරු වෙත අනාගතයේ දී මිනිසුන් රැගත් යානා යැවීමේ දී ආහාර ජනනය කිරීමේ හැකියාව සොයා බැලීම මෙහි අරමුණයි. මේ අධ්‍යයනය ජනවාරියේ ආරම්භ වූ අතර මාස තුනක් ඇතුළත මෙහි ප්‍රථම ප්‍රතිඵල අත්පත් කර ගැනීමට බලාපොරොත්තුවන බව CIP ප්‍රකාශක ජොයෙල් රැනෙක් කියා සිටියි.

7360326900_661107931d_o

මෙහි මුල් අදියර සඳහා පර්යේෂකයන් වගා කිරීමට අදහස් කරන්නේ lowland tropic virus resistant(LTVR – පහත්බිම් නිවර්තන වෛරස ප්‍රතිරෝධ)   නම් අර්තාපල් ක්ලෝනය. මෙම වර්ගයේ ඉතා වැදගත් ලක්ෂණයක් වන්නේ PVY, PVX සහ PLRV වැනි අර්තාපල් වගාවට බහුලව හානි පමුණුවන වෛරස සමහරකට එය ප්‍රතිරෝධ දැක්වීමයි. එහි අනෙකුත් ගුණාංග අතර ඉක්මනින් මේරීම – දින 90 ක් 100ක් අතර කාලයක දී පරිණත වීම, ඉහළ උෂ්ණත්වයේ දී ආකන්ද(tubers) නිපදවීමට හැකියාව සහ නියඟයට ඔරොත්තුදීමේ හැකියාව ඉහළ මට්ටමක තිබීම දැක්විය හැකියි. මෙම අර්තාපල් ක්ලෝන සිටවනු ලබන්නේ ඇටකාමා කාන්තාරයේ කොටසක් වන ලා ජොයා පැම්පාස් නම් ප්‍රදේශයෙන් ලබාගත් පාංශු සාම්පලවලය. ජේරු රාජ්‍යය, චිලිය, ආජන්ටිනාව සහ බොලීවියා යන රටවල වර්ග කිලෝමීටර් 105,000 පමණ වසා පැතිර පවතින ඇටකාමා කාන්තාරය මෙලොව ඉතාමත් වියළි එමෙන්ම ජනශුන්‍ය ස්ථානයක් ලෙස සැලකේ. ‘ඇටකාමා කාන්තාරයේ සහ අඟහරුලොව පස අතර සමානකම් බොහොමයි’යනුවෙන් ජුලියෝ වැල්දිවියා සිල්වා පවසයි. ජුලියෝ පේරු රාජ්‍යයේ විදුලි සංදේශ පර්යේෂණ සහ පුහුණු ආයතනයේ ක්ෂුද්‍ර හා අභ්‍යවකාශ ජීව විද්‍යා පර්යේෂකයෙකි. අර්තාපල් වගා ව්‍යාපෘතියේ ප්‍රධාන විද්‍යාඥයා වන්නේ ද ඔහුය. පසුගිය වසර 12 තිස්සේ ඇටකාමා කාන්තාරයේ ගති ලක්ෂණ මෙන්ම අඟහරු ලොව පස්වලට එහි ඇති සමානතා ඔහු අධ්‍යයනය කරමින් සිටියි. ‘දෙකෙහි ම ක්ෂුද්‍ර ප්‍රාණීන් හා කාබනික ද්‍රව්‍ය ඇත්තේ අතිශය පහළ මට්ටමකය. එමෙන්ම ඔක්සීකරණ රසායනික ද්‍රව්‍ය මට්ටම ඉහළයි. මේ හේතු දෙක නිසා ඇටකාමා කාන්තාරයේ පස් අඟහරු පසට තුල්‍යරූපී ලෙස පර්යේෂණ කටයුතුවලදී සලකා තිබෙනවා යනුවෙන් ජුලියෝ ප්‍රකාශ කරයි.

cip-nasa-growing-potatoes-mars-1

මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර තුළ දී අත්හදා බැලීමෙන් ලබාගන්නා අල අධිසීතලේ අක්‍රීය කිරීමට පර්යේෂකයෝ බලාපොරොත්තුවෙති. පෘථිවියේ සිට අඟහරු දක්වා ගමනට මාස නවයක් පමණ කාලයක් වැයවේ.  එම කාලය තුළ දී  අර්තාපල් ප්‍රරෝණයවීමෙන් වළක්වාගත යුතුය. එහෙයින්, ඒවා සීතලේ මිදීමට සලස්වා පසුව සීතල හැර (හිමහරණය කර), නිසි කාලයේ දී අඟහරු පසෙහි සිටුවීමට හැකි ආකාරයට යළි පණ ගැන්විය හැකි දැයි පරීක්ෂා කර බලන බව රැනෙක් කියයි.

220px-Ncube2අත්හදා බැලීමේ තුන්වැනි හා අවසාන අදියරේ දී CIP විද්‍යාඳයන් අභ්‍යවකාශයේ U-පංතියේ අභ්‍යවකාශයානවක් (cubeSats) තුළ අර්තාපල් වගාකෙරෙන්නේ කෙලෙස ද යන්න සොයා බැලෙනු ඇත. ‘පාලිත  වාතාවරණයක් තුළ අල වැඩෙන්න් කෙසේදැයි ගවේෂණය කිරීමට අපට අවශ්‍යයි. අඟහරු ලොවෙහි ඉතාමත් වැදගත් ලක්ෂණයක් වන්නේ එහි අඩුවායුගෝලීය පීඩනයයි. එම නිසා අර්තාපල් ශාකය කෙලෙස ප්‍රතිචාර දක්වන්නේ දැයි අධ්‍යයනය කිරීම පිණිස අපට U-පංතියේ අභ්‍යවකාශයානවක් (cubeSats)  වැනි සීමා කෙරුණු පරිසරයක ඇති වටාපිටාව අපට අවශ්‍ය වෙනවා. ජූලියෝ පෙන්වා දෙයි. මෙම ව්‍යායාමයේදී ලොව පුරා විවිධ විශ්වවිද්‍යාලවල පර්යේෂකයන්ගේ මෙන්ම සිසුන්ගේ ද සහාය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

4B6F1B28-9457-41E6-AD876E49B4B191A7

කෙසේ වෙතත් මෙම අධ්‍යයනය හුදෙක් අඟහරු වාතාවරණය ගැනම පමණක් නොවේ. මෙම අධ්‍යයනයෙන් ලබා ගන්නා තොරතුරු මේ මහ පොළොවේ අර්තාපල් වගාකිරීමේදී මතුවන්නා වූ ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් සෙවීමෙහිලා උපයෝගී කර ගැනීමට ද අදහස් කෙරේ. ගෝලීය උණුසුමෙහි බලපෑම මෙම එක් විමර්ශන මාතෘකාවක් වේ. දරුණු දේශගුණික හා කාලගුණික තත්ත්වයන් අර්තාපල් භෝගයෙහි  සාධ්‍යතාවට බාධා පමුණුවන බව CIP විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත. ‘ලොව බොහෝ ජනතාව කුසගින්නෙන් මුදාගත හැකි බෙහෙවින් පෝෂ්‍යදායි ආහාරයකි අර්තාපල්. පේරු රාජ්‍යයේ පමණක් විවිධ විශේෂ 4,000ක් පමණ තිබෙනවා. අප ලෝකය ගැනම අවබෝධ කර ගැනීමට අඟහරු ලොව දෙසට හැරෙන්නට වීම එක්තරා අන්දමක උත්ප්‍රාසයක්. ඒත්, අනෙක් අතට, එලෙස කරුණු සොයා බැලීම බෙහෙවින් උනන්දුව දක්වන්නක් යයි රැනෙක් වැඩිදුරටත් කියා සිටියි.

Scientific American හි  Scientists Try to Grow Peruvian Potatoes on Mars ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: