විදු නැන නුවණ – Science Literacy for All

උපතේ දී ඇතිවන දෝෂ හා සිකා වෛරසය අතර සම්බන්ධතාව සොයන අධ්‍යයන ඇරඹේ

සිකා වෛරසය හා දරු උපතේදී බිළිඳුන්ට ඇතිවන දෝෂ තත්ත්වයන් ගැන එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පර්යේෂකයන් සහ බ‍්‍රසීලියානු විශේෂඥයන් එක්ව අධ්‍යයනයක් අරඹති. හිස අසාමාන්‍ය ලෙස කුඩාවීමේ රෝගය හෙවත් මයික්‍රොසෙෆලි  (microcephaly) සහිතව උපන් දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් මොවුන් විසින් පරීක්ෂණයට ලක් කරනු ලබන්නේ මෙම මයික්‍රොසෙෆලි තත්ත්වයට හේතුව ඇත්තටම සිකා වෛරසයද (Zika virus) එසේ නොමැති නම් වෙනත් ආසාදනයක්ද යන්න නිර්ණය කිරීම පිණිසය. බ‍්‍රසීලයේ පැරයිබා ජනපදයේ දී සිදුකෙරෙන මෙම අධ්‍යයනය මෙතෙක් රජය මූලිකව සිදුකරන විශාලතම අධ්‍යයනය වේ. මෙවර හදිසි ව්‍යසන තත්ත්වය බ‍්‍රසීලයේ පැතිරයාම ආරම්භ වීමෙන් අනතුරුව මයික්‍රොසෙෆලි වැළඳුණු අවස්ථා 500කට වැඩියෙන් වාර්තා වී තිබෙන අතර රෝගයට ගොදුරු වී ඇතැයි සැක කෙරෙන තවත් 3,000කට අධික පිරිසක් ගැන සොයාබැලීම ආරම්භ වී තිබේ. බ‍්‍රසීලය තුළ  සාමාන්‍යයෙන් වසරක් තුළ වාර්තාවන්නේ අවස්ථා 150ක් පමණය.

Zika 1

එකවර මෙසේ රෝගී සංඛ්‍යාව ඉහළයාම හේතුකොටගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය සිකාව ජාත්‍යන්තර වශයෙන් හදිසි තත්ත්වයකැයි ප‍්‍රකාශයට පත් කළේය.

මෙම අධ්‍යයනය  සති කිහිපයක් මුළුල්ලේ සැලසුම් කරමින් කරමින් තිබුණි. ‘අපි මේ උත්සාහ කරන්නේ, මයික්‍රොසෙෆලි වැළදී ඇතැයි රෝග විනිශ්චය කරනු ලැබූ දරුවන් සහ රෝගය අතර සම්බන්ධතාව වඩා හොඳින් විග‍්‍රහ කිරීමයි.  එමෙන්ම ඔවුන් සතුව ආජන්මජ සිකා වෛරසය(Zika virus) ආසාදනය පිළිබඳ සාක්ෂි ඇත්තේද නැද්ද යන්න තීරණය කිරීමටයි’ යනුවෙන් ඇ.එ.ජ. රෝග පාලන හා වැළැක්වීමේ  මධ්‍යස්ථාන වෛද්‍ය වසංගතවේදී(medical epidemiologist) එරින් ස්ටේපල්ස් පවසයි. අධ්‍යයනය මෙහෙයවන්නේ එරීන්ය. ඇය සම්මුඛ සාකච්ඡුාවකදී කරුණු දක්වමින්  දැන් කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටින මෙම අධ්‍යයනය පිළිබඳ මූලික් අදහසක් සැපයූවාය. මයික්‍රොසෙෆලි වැළඳුණු බිළිඳුන් 100ක් සහ ඔවුන්ගේ මව්වරුන් අධ්‍යයනයට සම්බන්ධ කර ගැනීමට පර්යේෂකයෝ අපේක්ෂා කරති. මින් ලැබෙන තොරතුරු සෞඛ්‍ය සම්පන්න බිළඳුන් හා මව්වරුන් යුගල 300ක හෝ 400 ක දත්ත හා සංසන්දනය කිරීමට නියමිතය. මුල්ම ප‍්‍රතිඵලය එළැඹෙන වසන්ත සමය වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මධ්‍යස්ථාන නිලධාරියෙක් ප‍්‍රකාශ කළේය. මෙහිදී කණ්ඩායම් දෙකෙහිම මව්වරුන්ගේ මෙන්ම බිළිඳුන්ගේ ලේ සාම්පල සිකා ආසාදන ලක්ෂණ සෙවීම පිණිස පරීක්ෂා කෙරේ.

සිකා ප‍්‍රතිදේහ ගැන සොයා බලන රෝග (දෝෂ) විනිශ්චය පිළිබඳ පරීක්ෂණ වර්තමානයේ සීමිතය. ඊට හේතුව බ‍්‍රසීලයේ බහුල ඩෙන්ගු ප‍්‍රතිදේහවලට ඒවා බොහෝ සේ සමාන වීම නිසාවෙනි. මවගෙන් මෙන්ම බිළිඳාගෙන්ද මේ සාම්පල ගැනීම නිසා සිකා රෝගය සම්බන්ධ දැයි යන්න ගැන වඩාත් නිවැරදි යථාතත්ව චිත‍්‍රයක් ලබා ගැනීමට හැකිවෙතැයි පර්යේෂකයෝ අදහස් කරති. එමෙන්ම බිළිඳකු තුළ මයික්‍රොසෙෆලි වර්ධනය වන්නේ මන්දැයි පැහැදිලි කිරීමට මඟ පාදන අනෙකුත් සාධක ගැනද ඔවුන් සොයා බලනු ඇත.

සිකා වෛරසයෙන් ආසාදිත මව්වරුන් ජනිත කරන බිළිඳුන් රෝගයට ගොදුරුවීමේ සාපේක්ෂ අවදානම නිර්ණය කරනු වස් මෙම අධ්‍යයනයේ සැලැස්ම ආධාරවනු ඇත. රෝගය හා සිකා අතර සම්බන්ධතාවය වඩාත් බලවත්ව තහවුරු කිරීමට අධ්‍යයනය මගින් ප‍්‍රස්තාව සැපයුනේ වී නමුත් ඇත්තටම සිකා වෛරසය රෝගය ඇති කිරීමට හේතුවන්නේද යන්න විද්‍යාත්මකව ඔප්පු කිරීම පිණිස වසර ගණනාවක් ගත වෙනු ඇතැයි ස්ටේපල්ස් කියයි. මේ අතරවාරයේ රෝගය හා වෛරසය අතර සම්බන්ධතාව පිළිබඳ සාක්ෂි ගොඩ නගන්නට පටන් ගෙන තිබේ. පර්යේෂකයන්ට භ‍්‍රෑණයාගේ මොළ පටකවල (fetal brain tissue) කලලාවාරික දියවරයෙහි (amniotic fluid and) සහ කලල බන්ධනයෙහි (වැදෑමයෙහි placenta) වෛරසය හමු වී තිබේ. ගබ්සා වූ භ‍්‍රෑණයෙකුගේ (සති අටකට වැඩි කාලයක් ගත වූ කලලයකි) මරණ පරීක්ෂණයකදී හෙළි වූ අන්දමට වෛරසයේ පූර්ණ ජානමය කේතය මොළයෙහිද එමෙන්ම වෛරසය අනුකෘති තනන බවට සාක්ෂිද සොයා ගෙන තිබේ.

Zika 2

සිකා වෛරසය හා සුවිශේෂීව සම්බන්ධයක් තිබිය හැකි මයික්‍රොසෙෆලි රෝගයේ වඩාත් සුලබ ගති ලක්ෂණ මොනවාදැයි තීරණය කිරීමට පර්යේෂකයන් වෙහෙසක් ගනු ඇත. එමෙන්ම, වෛරසයට නිරාවරණය වීමෙන් අසාමාන්‍යතා (abnormalities) ඇති විය හැකි දැයි යන්නද සොයා බැලෙයි. අධ්‍යයන සඳහා මව්වරුන් (හා බිළිඳුන්) පූර්ණ වශයෙන් සහභාගි කරවා ගැනීමට සති හතරක් පහක්වත් ගත වෙතැයි ඇතැම් විට ඊටත් වැඩි කලක් ගත වන්නට පුළුවනැයිද ස්ටේපල්ස් කියා සිටියි. සිදුවන්නේ කුමක්දැයි කිසියම් නිශ්චිත භාවයකින් කීමට නම් අධ්‍යයනට නිසි සංඛ්‍යාවක් සහභාගි කරවා ගත යුතු යයිද ඇය පෙන්වා දෙන්නීය.

Scientific American හි  CDC, Brazil Start Big Study to Test Zika Link to Birth Defects ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: