ක්‍රි: පූ: 632 දී ඇතන්ස් හී බලය පැහැර ගැනීමට කුමන්ත්‍රණය කළ ඔලිම්පික් ශූරයෙකු වන සයිලන්ගේ අනුගාමිකයන් යයි කිව හැකි, විලංගු ලූ ඇටසැකිලි 36 ක් ඇතන්ස් නුදුරු නගරයක සමූහ මිනීවලකින් සොයා ගැනේ.
ඇතන්ස් නුවරට සැතැපුම් හතරක් පමණ ඈතින් පිහිටි පැලීරොන් නම් වරාය නගරයෙහි පුරාතන සමූහ මිනීවලක තිබී ඇටසැකිලි 80 ක් පුරා විද්‍යාඥයන් විසින් මෑතක සොයා ගන්නා ලදී. එහෙත් මෙය සාමාන්‍ය සමූහ මිනීවලක් නොවේ. එකක් අසළ එකක් එක දිගට පෙළ ගන්වා තිබූ මෙම ඇටසැකිලි අතුරෙන් 36 ක යකඩ විලංගු දා තිබුණි. මෙම කාරණාව මෙකී ඇටසැකිලි ක්‍රි: පූ: 7 වැනි සියවසේ ඔලිම්පික් ශූරයෙකු වූ සයිලන්ගේ ආධාරකරුවන්ගේ ඒවා විය හැකි යයි සැක කිරීමට මග පාදයි. මෙය අසාමාන්‍ය මිනීවලක් වීමට හේතුව වළ දා තිබූ ඇටසැකිලි වලින් 36 ක් යකඩ විලංගු දා තිබීමයි. පැලීරොන් ප්‍රදේශයේ අක්කර එකක සොහොන් පිටියෙන් පුරා විද්‍යාඥයන් විසින් ඇටසැකිලි 1,500 කට වැඩියෙන් සොයා ගනු ලැබ ඇත. එහෙත් මේ මෑතක ම සොයා ගනු ලැබූ ඇටසැකිලි හමු වී ඇත්තේ ග්‍රීසියේ ජාතික පුස්තකාලය සහ ජාතික ඔපෙරා රංග ශාලාව වෙනුවෙන් වැඩි දියුණු කෙරෙන ප්‍රදේශයක දීය.
විලංගුලා තිබූ ඇටසැකිලි අතරේ තිබී කුඩා වාස් (මල් බඳුන්) දෙකක් හමු වී ඇති අතර ඒ අනුව මිනීවල ක්‍රි: පූ: 650 ටත් 625 ටත් අතර කාලයකැයි දින තීරණය කිරීම පිණිස විද්‍යාඥයන්ට උපකාරී විය. මෙකී කාල පරිච්ෙඡ්දය ඉතිහාසඥයන් දක්වන අන්දමට ඇතන්ස් ප්රචණ්ඩ කැලඹිලි පිරි සමයක් විය. ඇටසැකිලි වල දත් වලින් පැහැදිලි වන්නේ මිය ගිය බොහෝ දෙනා තරුණ වයසේ පසු වූ යහපත් සෞඛ්‍ය සම්පත්තියකින් හෙබි අය බවයි. මියගිය අයවළුන් ඇතන්ස් නුවර බලය අල්ලා තැත් කළ කැරළිකරුවන්ගෙන් කොටසක් ය යන මතයට මෙම කාරණාවෙන් පිටිවහලක් ලැබේ. ක්‍රි: පූ: 632 දී සිදු වූ සයිලන් විප්ලවය යනුවෙන් හඳුන්වනු ලබන බල කුමන්ත්රණයේ හවුල් කරුවන් විය හැකි බව මොවුන් ජීව පුරාවිද්‍යාඥ (bioarchaeologist) ක්‍රිස්ටිනා කිල්ග්රොව් පවසයි. ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ නැති විද්‍යාඥවරියකි.
ආදිකාලීන ඉතිහාඥයන්වන ප්ලූටාක් සහ තුසිඩයිඞ්ස්ට අනුව සයිලන් ක්‍රි: පූ: 640 වසරේ පැවැත් වූ ඔලිම්පික් තරඟ උත්සවයේ ජයග්‍රාහී මලල ක්‍රීඩකයෙකි. ඔහුගේ ජයග්‍රහණය හේතු කොට ගෙන රට තුළ උසස් තත්ත්වයක් ද අසල්වැසි කුරිරු පාලකයා මෙගාරාගේ දියණිය ද හිමිකර ගැනීමට වාසනාව ලැබිණ. ඊළඟ දශකය තුළ ඇතන්ස් හි ඇති වූ දේශපාලන අස්ථාවරභාවය වාසියට හරවා ගනිමින් ක්‍රි: පූ: 632 දී සයිලන් සිය මාමණ්ඩියගේ සේනාවල සහාය ද ඇතිව බල කුමන්ත්‍රණයක් දියත් කළේ පීඩාවට පත්ව සිටි ඇතන්ස් වැසියන්ගේ සහාය ඔහුට හිමිවෙතැයි බලාපොරොත්තු වෙනි. එහෙත් කොටසක් ඔහුට සහාය දැක්වුවත් වැඩිදෙනා ඔහුට විරුද්ධ විය. මෙහි ප්‍රතිඵලය වූයේ සයිලන් සහ අනුගාමිකයන් නගරයෙන් පළා ගොස් නුවර රැකවල් සඳහා වූ බලකොටු වෙහි සරණ පැතීය. නගරය භාර නිළධාරී මෙගාකල්ස් ඔවුනට අභය දානය දී ආපසු ආරක්ෂිතව යාමට ඉඩ සැලසීමට පොරොන්දු විය. එහෙත් සයිලන් සහ අනුගාමිකයන් ඉන් පිටත්ව යත්ම මෙගාකල්ස් කැරළිකරුවන් සියළු දෙනා ඝාතනය කර දැමීය.
කෙසේ වෙතත්, මේ හමුවී ඇත්තේ එම කැරළිකරුවන්ගේ ඇටසැකිලිම ද යන්න සැකයෙන් තොරව ප්‍රකාශ කිරීමට නම් තව බොහෝ දුරක් යා යුතුව ඇත. මේ සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නයක් වනුයේ ක්‍රි: පූ: හත්වැනි සියවසට අදාලව ඇති ඵෙතිහාසික වාර්තාවල අඩුලූහුඩුකම් ය. ‘ඒ නිසා විලංගු සහිත ඇටසැකිලි එකී කුමන්ත්‍රණය හා ඈඳීම පහසු කාර්යයක් නොවේ’ යයි කිල්ග්රොව් කියා සිටියි. ‘‘ඇතන්ස් වල සමූහ මිනීවලක් —ඇත්තටම මිනීවල් එකක් නොව මිනීවලවල් කිහිපයක් — පැවතීම ගැන පැහැදිලි කිරීම් ගණනාවක් ම තිබිය හැකියි.’’
ඒ කෙසේ වෙතත්, එකී යුගයට අයත්, සමාජයීය වශයෙන් පහළ පංතිවල ජනයා හා සම්බන්ධ පුරා විද්‍යා ස්ථාන (ස්ථල) ඉතා විරලය. මෙම ඇටසැකිලි එම යුගයේ ඇතීනියානු වැඩ කරන ජනතාවගේ ජීවිත පිළිබඳ එළියක් පැතිරවීමට පර්යේෂකයන්ට මග පාදනු ඇතැයි කිල්ග්රොව් විශ්වාස පළ කරයි.
Smithsoniana Smart News හී පළවූ Shackled Skeletons Unearthed in Greece Could Be Remains of Slaughtered Rebels ලිපිය ඇසුරෙනි