කුඩා ළමුන් අතොරක් නැතුව ‘‘අරක වෙන්නේ ඇයි?’’ ‘‘මේක මෙහෙම ඇයි?’’ යනාදී වශයෙන් වැඩිහිටි අපගෙන් ඇයි යනුවෙන් ප්‍රශ්න කරන බව අප කවුරුත් දන්නා කරුණකි. මෙහෙම හැමදේටම ඇයි? කියා ප්‍රශ්න අහන්නේ දෙමාපියන් වෙහෙසට පත් කරන්නටැයි සමහරු සිතති. එහෙත් විද්‍යාඥයන් දක්වන අන්දමට නම් ලොව පුරා කොයි රටක ජීවත් වුණත් කුඩා ළමුන් මෙලෙස ප්‍රශ්න නගන්නේ සත්‍ය සොයා ගැනීමේ සැබෑ උවමනාවකිනි. එමෙන් ම කුඩා ළමෝ සෙසු අයට වඩා සමහර පිළිතුරු වලට හොඳින් ප්‍රතිචාර දක්වති. වයස අවුරුදු 2 සිට 5 දක්වා ළමුන් සම්බන්ධකරගෙන කොටස් දෙකකින් සිදු කරන ලද නව අධ්‍යයනයකින් තව දුරටත් කියැවෙන්නේ මෙම වයසේ ළමුන් කලින් දැන සිටියාට වඩා දැනුම එක්කාසු කිරීමෙහිලා වඩාත් ක්‍රියාකාරී බවයි.
‘බොහොම කුඩා කාලයේ දී පවා ඇයි, මොකද වැනි ප්‍රශ්න නගන්නේ (නොදන්නා දේ ගැන) පැහැදිලි කිරීම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්’ යයි නව අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක, මිචිගන් විශ්ව විද්‍යාලයේ බ්රැන්ඞ් පේ්රසියර් පවසන්නීය. නව අධ්‍යයනයේ තොරතුරු Child Development සඟරාවේ පළ කර ඇත. එහෙත් එම තොරතුරු පොදුවේ සියළුම ළමුන් සඳහා ගැලපිය නොහැක්කේ අධ්‍යයනය සඳහා යොදා ගන්නා ලද නියැදිය (සාම්පලය) කුඩා වැඩි හෙයිනි.
1900 ගණන් වල මුල් භාගයේ සිට මැද දක්වා ළමා සංවර්ධනය සම්බන්ධයෙන් සිදු කරන ලද අතීත පර්යේෂණවලින් හෙළි කරන ලද්දේ කුඩා ළමුන් දැන සිටින්නේ සිද්ධි දෙකක් අතර කාලික සම්බන්ධතා (temporal relationships) ගැන පමණක් යනුවෙනි. එමෙන් ම වයස 7 ක් 8 ක් යනතුරු හේතුවෙන් ඵලය වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාව නොමැත්තේය යනුවෙනි. එහෙත් ඊට වඩා මෑතක සිදු කෙරුණු අධ්‍යයන වලින් හැඟවෙන්නේ ඊට වෙනස්ව, වයස අවුරුදු තුන තරම් කුඩා අවධියේ පවා හේතුඵලතාව (causality) හඳුනාගන්නා බවයි. එහෙත් ඔවුන් නගන හේතුඵල ප්‍රශ්න වලට ලැබෙන තොරතුරු කෙරෙහි කුඩා ළමුන්ගේ ප්‍රතිචාර මොනවාදැයි මෙකී අධ්‍යයන වලදී සොයා බලා නැත.
එහෙයින්, විවිධ ප්‍රශ්නවලට කුඩා ළමුන්ගේ ප්‍රතිචාරය සොයා බලනු වස් පේ‍්‍රසර් සහ ඇයගේ සගයෝ, කුඩා ළමුන් හය දෙනෙකුගේ සංවාද පටිගත කර ලබාගත් පිටපත් පරීක්ෂා කර බැලූහ. පටිගත කරන ලද්දේ වයස අවුරුදු 2 සිට 4 දක්වා වූ මෙම දරුවන් සිය දෙමාපියන්, සහෝදර සහෝදරියන් සහ නිවසට පැමිණි අමුත්තන් සමග එදිනෙදා සිදු කළ කතා බහය(හෙවත් සංවාදය). පර්යේෂකයන් සිය විශ්ලේෂණ ඒකකය ලෙස යොදා ගත්තේ පටිගත කිරීම් පිටපත් 580 කට වැඩි සංඛ්‍යාවකි. සමස්තයක් වශයෙන් ගත් කළ ඇයිද? කොහොමද? ආදී හේතුඵලවාචී ප්‍රශ්න 3,100 ට වැඩි ප්‍රමාණයක් පිටපත් අතරේ තිබිණ. ‘ඇයි අම්මේ මගේ බඩ මෙච්චර ලොකු?’ ‘ලයිට් එක දාලාම තියන්නේ නැතුව නිවන්නේ ඇයි? ’ ‘සර්පයන්ට කන් නැත්තං උන්ට ඇහෙන්නේ කොහොමද?’ යනාදී ප්‍රශ්න නිදසුන් ය.
කුඩා දරුවෙකු ප්‍රශ්නයක් නැගීමෙන් පසුව ඊට සැබෑ පිළිතුරක් ලද විට හා සසඳද්දී ඔවුන් සිය ප්රශ්නය නැවත ඇසීමේ සම්භව්යතාව පැහැදිලි කිරීමක් නොමැති පිළිතුරු ලද විටදීට වඩා දෙගුණයකටත් වැඩි විය හැකි බව මෙම පිටපත් විශේෂණය කිරීමෙන් ලද ප්‍රතිඵල දක්වයි. තවද, සිය ප්‍රශ්නවලට සැබෑ පිළිතුරක් ලැබුණු අවස්ථාව සියයට 37ක් විය. ඔවුනට පැහැදිලි කිරීමක් ලද විට පසු විපරම් ප්‍රශ්නයක් නැගීමේ අවකාශය, පැහැදිලි කිරීමක් රහිත ප්‍රතිචාරයක් ලද කලෙක මෙන් සිව් ගුණයකටත් වඩා වැඩිය. පේ්රසර්ම සිදු කළ වෙනත් නව අධ්‍යයනයක මූලික ප්‍රතිඵලවලින් පෙනී ගියේ ළමුනට ලැබෙන ප්‍රතිචාරවල වුවමනාවට වඩා තොරතුරු ඇතුළත් වෙන බවක් ද ළමුන් පෙන්නුම් කර ඇත යන්නය. ‘‘පෙනී යන අන්දමට නම් විස්තරවල, ඔවුන්ට උනන්දුවක් ජනිත කරවීමට හැකිවන තරම් ප්රශස්ත මට්ටමක් පවතිනවා’’ යයි පේ‍්‍රසර් කියයි.
නව අධ්‍යයනයේ දෙවෙනි කොටස පරීක්ෂණාගාර පදනම් කරගනු ලැබූවකි. ඊට පෙර පාසල් වියේ ඒ කියන්නේ අවුරුදු 3-5 අතර වයසේ ළමුන් 42 ක් සම්බන්ධ කර ගැනිණ. ළමුන් ප්‍රශ්න නැගීමට පොළඹවනු අන්දමට සකසා තිබූ සෙල්ලම් බඩු, කතා පොත් හා වීඩියෝ පර්යේෂණයට යොදා ගැනිණ. නිදසුනක් දක්වතොත් රතු වර්ණ ක්රෙයොන් පමණක් අඩංගු ක්රෙයොන් පෙට්ටයක් ළමුන්ට පෙන්වනු ලැබීය. එසේම එක නොගැලපෙන කොටසක් සහිත ජිග්සෝ ප්‍රහේලිකාවක් සැපයිණ. මේවා පෙන්වූ වැඩිහිටියෝ ළමුන් නැගූ ප්‍රශ්නවලට විස්තර සහිත මෙන්ම රහිත ප්‍රතිචාර දැක්වූහ. නිදසුනකින් මෙය පැහැදිලි කර ගනිමු. උදේ ගන්නා ධාන්‍යමය ආහාරයට සාමාන්‍යයෙන් යොදා ගන්නා කිරි වෙනුවට පොඩිත්තෙකු දොඩම් යුෂ යොදා ගන්නා ආකාරය දැක්වෙන කතාවක් පර්යේෂණයේ දී ඉදිරිපත් කෙරිණ. බලාපොරොත්තු වූ පරිදි ‘‘ඇයි දොඩම් යුෂ යොදා ගත්තේ?’’ යයි පොඩිත්තෝ ඇසූහ. එක්කෝ ‘‘ජොග්ගුවේ කිරි තියෙනවා කියලයි එයා හිතන්න ඇත්තේ’’යනුවෙන් පැහැදිලි කිරීමක් සහිතව ද නැතිනම් ‘‘මම නම් කැමති ධාන්‍ය ආහාරයට කිරි දාන්නය’’ යනුවෙන් පැහැදිලි කිරීමක් රහිත වූ වැඩිහිටියෝ එවිට ප්‍රතිචාර දැක්වූහ.
මෙලෙස පැහැදිලි කිරීම් සහිත පිළිතුරු වලට සහ පැහැදිලි කිරීම් රහිත පිළිතුරු වලට ළමුන් දැක් වූ ප්‍රතිචාරවල උඩට පහතට සැලකිය යුතු වෙනස්කම් ඇති බව පර්යේෂකයන්ට පෙනී ගියේය. සැබෑ පිළිතුරකට ළමුන් 30% ගෙන් එකඟතාව දක්වන හිස සෙලවීම වැනි ප්රතිචාරයන් ලැබුණු අතර පැහැදිලි කිරීම් රහිත පිළිතුරු වලට එවැනි ප්‍රතිචාර ලැබුණේ සියයට 13ටත් අඩුවෙනි. සැබෑ පිලිතුරක් නොලද විටි සියයට 20 වාරයක් ළමුන් සිය මුල් ප්රශ්නය නැවතත් ඇසීමට පෙළඹුණු අතර පැහැදිලි කිරීමක් ලද විට මුල් ප්රශ්නය නැවැත ඇසීමේ අවස්ථාව සියයට 1ක් පමණක් විය.
Live Science හී පළවූ Why Kids Ask Why ලිපිය ඇසුරෙනි