සැඟවුණු වස්තු සෙවීම කවදත්, කාටත් ත්‍රාසය, කුතුහලය විනෝදය සපයන අභියෝගාත්මක ඇතැම් විට භයානකද අත්දැකීමකි. විද්‍යාඥයන්ට ද එය එලෙසමය. එකම වෙනස ඔවුන් සොයා යන්නේ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය දියමන්ති බෙරලියත්තු රන් රිදී ආභරණ ආදිය නොවීමයි. අප මේ කතා කරන්නේ ෆොසිල සොයා ගවේෂණයක යෙදෙන විද්‍යාඥයන් පිරිසක් ගැනයි. කොතැන සිදු කළත් ෆොසිල ගවේෂණය වික්‍රමාන්විත කි්රයාවක්. එහෙත් ගවේෂණය මේ මිහිතලය මත ඉතාමත්ම දුෂ්කර කලාපයක සිදුවන විට සංකීර්ණතා මතුවීම වැළැක්විය නොහැකියි.
අහස්යානාවලින් පියාසර කරමින්, බෝට්ටුවලින් යාත්‍රා කරමින් හෙලිකොප්ටර් මගින් උඩට නගිමින් එමෙන්ම මහා දුරක් පයින්ම ගමන් කරමින් ඇන්ටාක්ටිකාවෙන් වසර මිලියන 71 ඉපැරණි ෆොසිල වස්තු තොගයක් සොයා ගැනීමේ විද්‍යාත්මක ගවේෂණයක් හෙවත් වීර චාරිකාවක් ගැනයි මෙම වාර්තාව.
මේ විද්‍යාඥයන් කණ්ඩායමට ඇමරිකා එක්සත් ජනපදය, දකුණු අපි‍්‍රකාව හා ඕස්ටේ්රලියාව යන රටවල විද්‍යාඥයන් 12ක් අයත් වූහ. ෆොසිල සොයා යාමේ මෙහෙයුම සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ ඇන්ටාක්ටිකා අර්ධද්වීපයේ පිහිටි ජේම්ස් රොස් දූපතයි. එය බෙහෙවින් දුෂ්කර ගමනක් වූ බව අමුතුවෙන් නොකිවමනාය. මෙම අන්තර්ජාතික විද්‍යාඥයන් කණ්ඩායම සිය අභියෝගාත්මක ගවේෂණය සඳහා කඳවුරු බැදගත්තේ වේගා දුපතෙහිය. එහි සිට ඔවුන්ගේ ප්‍රධාන ගවේෂණ භූමිය වෙත දින පතා සති පහක් තිස්සේ පයින් ගෑටීමට ඔවුන්ට සිදු විය. විද්‍යාත්මක විධික්රම සහ මෙවලම් උපයෝගී කරගනිමින් ඔවුහු ගල් පර අස්සේ ක්රමානුකූල ගවේෂණයක යෙදුනාහ.
ඇන්ටාක්ටිකාවේ කල් ගෙවීම තරමටම ඇන්ටාක්ටිකාව කරා ළඟා වීමද බෙහෙවින් දුෂ්කර කාර්යයකි. ගුවනින් දකුණු ඇමරිකාව බලා ගිය විද්‍යාඥයන් පිරිස ඉන් අනතුරුව, දින පහක් තිස්සේ ඩ්‍රේක් මුහුදු පටු මග ඔස්සේ දුෂ්කර ගමනක යෙදීමට සිදු විය. පෘථිවිය මත පිහිටි ඉතාමත් රළු මුහුදු පිහිටා ඇත්තේ මෙම මුහුදු පටු මගෙහිය. බොහෝ දෙනෙකුට සිදුවන්නාක් මෙම විද්‍යාඥයන් පිරිස දිගටම මූදු මත (seasickness මුහුදු ගමනේදි හැල හැප්පීම නිසා ඇති වන වමන ගතිය ආදිය) හේතුවෙන් පීඩා වින්දහ. එහෙත් ඔවුන්ගේ මේ කැපවීම අවසන් වුනේ ටොන් එකකට වඩා බර ෆොසිල නිධානයක් මතු කර ගනිමිනි.
මෙම ෆොසිල තොගයට ආදී සාගර සත්වයන් ඩයිනසෝරයන් සහ පක්ෂීන්ගේ ෆොසිල අයත්ය. මේ ෆොසිල දළ වශයෙන් වසර මිලියන 71කට පෙර ගත වූ පසු- ක්‍රිටේසීය (late Cretaceous ) සමයට අයත් යයි සැලකේ. මේ අතිවිශාල ෆොසිල තොගය තෝරා බේරා කැටලොග් ගත කර අධ්‍යයන කිරීම සඳහා ඔවුනට වසර ගණනාවක් ගත වනු ඇත. එහෙත් ඊට පෙර ඒවා ප්‍රථමයෙන් චිලී රාජ්‍යයටත් ඉන් පසුව පි්රට්ස්බර්ග් හි ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කානගී කෞතුකාගාරය වෙත ගෙන යා යුතු වේ.
සොයා ගනු ලැබූ ෆොසිල තොගයට උරග ෆොසිල බොහොමයක් අයත් විය. (ජුරාසික් පාක් චිත්‍රපට යෙන් ප්‍රසිද්ධියට පත්) ප්ලෙසියෝසොර (plesiosaurs) සහ මොසාසෝර (mosasaurs) සාගර උරගයන් අපට සොයාගන්නට පුළුවන් යයි ගවේෂණයට සම්බන්ධ විද්‍යාඥයෙකු වන ආචාර්ය ස්ටීව් සෝල්ස්බරි පවසයි. ඔහු කුවීන්ස්ලන්ත සරසවියේ පර්යේෂකයෙකි. සොයා ගනු ලැබ ඇති ෆොසිල අතර ක්‍රිටේසීය සමය අවසානයේ ජීවත් වූ පක්ෂීන්ගේ ෆොසිල ද විය. ඒවා අතරේ මුල් යුගයේ තාරාවන්ගේ පොසිල ද තිබී ඇත. ‘අපට ඇත්තටම ඉතාමත් වටිනා ෆොසිල බොහෝ ප්‍රමාණයක් ලැබුනා’ යයි ආචාර්ය සෝල්ස්බරි පවසයි. අපේ ගවේෂණයෙන් දිරිමත්ව මෙම ඇන්ටාක්ටික් ප්‍රදේශයේ ෆොසිල ගවේෂණයට තවත් අය පැමිණෙයි නම් එය අපට මහත් සතුටක්’ ඔහු කියා සිටී.
Smithsonian Smart News හී පළවු Fossil Hunters Uncover 71-Million-Year-Old Trove in Antarctica ලිපිය සහ
ABC News හී පළවු Scientists uncover 71 million-year-old dinosaur fossils during Antarctic expedition ලිපිය ඇසුරෙනි