විදු නැන නුවණ – Science Literacy for All

නියැන්ඩර්තාල් වඳවී ගියේ ආහාරයේ ප‍්‍රශ්නයක් නිසා ද?

නියැන්ඩර්තාල්වරුන්ගේ අභාග්‍යසම්පන්න ඉරණමට මඟපෑදුවේ මස් බහුල ආහාර පිළිවෙල යයි නව අධ්‍යයනයකින් කියැවෙයි.

39509_article_

නූතන මානවයන් වන අප ආදි මානවයෙකු වන නියැන්ඩර්තාල්වරු ගැන හිතන්නේ අපට වඩා බුද්ධියෙන් හීන කොට්ඨාශයක් ලෙසටය. එහෙත් නෂ්ටප‍්‍රාප්ත අපගේ මෙම ඥාතීන්ගේ මොළය ඇත්ත වශයෙන්ම අපගේ මොළයට වඩා විශාලය. ‘මෙයට වසර 150,000කට පෙර තිබූ ස්ථලයකට(site)  හෙවත් සිටිබිමකට අපට ආපසු යන්න හැකි නම් එම ස්ථානයේ වාසය කළේ නියැන්ඩර්තාල් මානවයන්ද හොමෝ සේපියන් (Homo sapiens) මානවයන්ද යන්න නිසැකවම කීමට නොහැකිය. ඒ මන්ද කීවොත් ඒ දෙවර්ගයම එකම මෙවලම් භාවිත කිරීමය‘යි ඊශ‍්‍රායලයේ ටෙල් අවිව් සරවියේ පුරාවිද්‍යාඥ මිකී බෙන්ඩාර් කියා සිටියි. දෙවර්ගයේ ඉරණම ගැන අධ්‍යයනයේදී ඔහු, නියැන්ඩර්තාල් මානවයන්ගේ මොළ ගැන සොයා බලනු වෙනුවට ශරීරය ගැන අධ්‍යයනය කිරීමට තීරණය කළේ ඒ නිසාවෙනි.

මානවයන්ට බැරලයක හෙවත් පීප්පයක හැඩයේ පපුවක් සහ පටු ශ්‍රෝණියක් (pelvis) හෙවත් උකුල් පෙදෙසක් ඇති අතර නියැන්ඩර්තාල් සීනු හෙවත් ඝණ්ටාරයක හැඩයේ   උඩුකයක් සහ පුළුල් ශ්‍රෝණියකින් සමන්විතය. නියැන්ඩර්තාල් කයේ පෙනුම සම්බන්ධයෙන් මෙතෙක් පැවති පැහැදිලි කිරීම වූයේ සමකාලීන මානවයන්ට වඩා සීතල, වියළි පරිසරයන්හි නියැන්ඩර්තාල්වරු ජීවත් වූ හෙයින් ඔවුන්ට වඩාත් ශක්තිය අවශ්‍ය වූ අතර එහෙයින් ඔක්සජන්ද වැඩිපුර අවශ්‍ය විය යන්නය. වඩාත් විශාල ශ්වසන පද්ධතියක් රඳවා ගැනීම පිණිස ඔවුන්ගේ උඩුකය වඩාත් ස්ථූල(මහත්) වන්නට ඇත.

2ad4b3bb12fbfb40f148

එහෙත් මෙය වැරදි නිගමනයක් යයි බෙන් ඩොර්ට හැඟී ගියේය. ඒ අකාරයට නොමැතිව දෙවර්ගයම ආහාරයට ගත් දෑ දෙවර්ගයේ ශරීරවල වෙනසට බලපාන්නට නොහැකිද? මෙයට වසර 300,000ක සිට 30,000ක කාලයකට පෙර යුරේසියාවේ ජීවත් වූ නියැන්ඩර්තාල් පදිංචිය සඳහා ධ‍්‍රැවාසන්න යූරල් සහ දකුණු සයිබීරියානු ප‍්‍රදේශ තෝරා ගත්හ. යහපත්ම කාලවලදී පවා මෙම ප‍්‍රදේශ සරුසාර නොවූ අතර අයිස් යුගවල ස්ථිරවම එ ලෙස නොවීය. පළතුරු එළවළු සොයාගැනීමට අපහසු තුන්ද්‍රා ශීතකාලයක මැද එකම ශක්ති ප‍්‍රභවය වන්නට ඇත්තේ මේදයෙන් සහ ප්‍රෝටීනවලින් පරිපූර්ණ සත්ව මාංශය.

එහෙත් අවාසනාව වන්නේ මේදය ජීර්ණයට පහසු වුවත් ශීතල තත්ත්වයන් යටතේ මේදය හිඟය. මන්ද ගොදුරු බවට පත්වන සතුන් ද ශීතල මඟහරවා ගැනීමට සිය මේද ගබඩාව හිස් කිරීමට සිදුවන හෙයින් ඔවුන්ගේ මේද ද හීනවේ. එහෙයින් නියැන්ඩාර්තල්වරු ප්‍රෝටීන බොහෝ ප‍්‍රමාණයක් ආහාරයට ගන්නට ඇත. ඒවා පරිවෘත්තිය කි‍්‍රයාවට (metabolize) අපහසු හෙයින් විෂ සහිත අතුරු ද්‍රව්‍ය ඉවත්කිරීමේදී  තියැන්ඩර්තාල්වරුන්ගේ අක්මාව හා වකුගඩුවලට අධික වෙහෙසක් දැරීමට ද සිදුවන්නට ඇත. මිනිස් අපට නම් ප්‍රෝටීන උපරිම සීමාවක් (“protein ceiling”) ඇත. එය අපේ ආහාරයෙන් 35% සිට 50% දක්වා ප‍්‍රමාණයකි. ඊට වඩා බෙහෙවින් ආහාරයට ගැනීම අනතුරුදායක විය හැකිය. බෙන්ඩොර් කල්පනා කරන්නේ, ප්‍රෝටීන වැඩියෙන් උපයෝගීකර ගැනීම පිණිස නියැන්ඩර්තාල්වරු ක‍්‍රමයක් සොයා ගන්න ඇතැයි  යනුවෙනි. සහස‍්‍රයන් පහුකර යද්දී කාලයත් සමග මෙම අවයව විශාල වෙන්නට මෙන්ම ඒවාට සිරුර ඇතුලේ ඉඩ සලසා දීම පිණිස නියැන්ඩර්තාල් උඩුකය සහ ශ්‍රෝණි ප‍්‍රදේශය වර්ධනය වන්නට ඇත.

Neanderthal-killing-a-Mammoth

තම න්‍යාය සනාථ කර ගනු වස් බෙන්ඩොර් අදත් උතුරු දේශගුණික ප‍්‍රදේශවල ජීවත්වන ඉනියුඉට් ජනතාව වෙත යොමු විය. (උතුරු ඇමරිකානු ඇතැම් ඉන්දීය ගෝත‍්‍ර මොවුනට මස් බුදින්නා යන අර්ථයෙන් එස්කිමෝවරු යයි කීවද ඉනියුඉට් ජනතාව (Inuit peoples) තමන්වම හඳුන්වා ගන්නේ ජනතාව යන තේරුම ගෙනෙන ඉනියුඉට්නමිනි. – තතු සකසුවන්) ඇතැම් අවස්ථාවල තනිකරම මස් ආහාර බුදිමින් ජීවිතය ගැට ගසා ගන්නා ඉනියුඉට් වරුන් විශාල අක්මා සහ වකුගඩු ඇති අතර සාමාන්‍ය යුරෝපීයයන්ට වඩා දිග ඉළ ඇට සහිතය.

මේද හිඟය හෙවත් මේද නියං සායට මුහුණදීම වස් නියැන්ඩර්තාල්වරු මැමතා වැනි යෝධ සතුන් දඩයම් කිරීමේ විශේෂඥයන් බවට සමහරවිට පත්වන්නට ඇත. අසීරු තත්ත්වයන් යටතේ වුවද එම සතුන්ෙග් මේද රැඳී පවතී. එහෙත් එම සතුන් මැරීම සඳහා වැය කළ යුත්තේ අඩු ශක්තියකි. එමෙන්ම එවැනි දැවැන්තයන් මැරීමට අධික වේගයක් අවශ්‍ය  නොවන අතර වරක් මරාගත් පසු මාසයක් පමණ කරදරයක් නොමැතිව භුක්ති විඳිය හැකිය.

කෙසේ වෙතත් මෙම දැවැන්ත සත්වයින් මිහිතලයෙන් වඳ වී යද්දී නියැන්ඩර්තාල්වරුන්ට වේගයෙන් දිවයන, කුඩා ගොදුරු පසුපස ලූහුබැඳ යන්නට සිදුවන්නට ඇත. ඒ වන විට තරබාරු සිරුරක් සහිත ඔවුනට එය එතරම් පහසුකාර්යයක් නොවූවා නොඅනුමානය. මෙලෙස නියැන්ඩර්තාල්වරු පසු බා යද්දී පටු ශ්‍රෝණි ප‍්‍රදේශයක් සහිත කඩිසර හොමෝ සේපියන්වරු පරිණාම මාර්ගය ඔස්සේ ඉදිරියටම දුවගෙන ගියහ.

Smithsonian magazine හී පළවූ Did Neanderthals Die Out Because of the Paleo Diet? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: