පවුලට මුල්තැන දෙන ක්ෂීරපායි පිරිමි සත්තු තමුන්ටත් පවුලටත් වාසි සලසති

වසරේ හොඳම පීතෘවරයාට තරගයේ ජය ලබා ගැනීමට බොහෝ ක්ෂීරපායි පීතෘවරුන්ට නොහැකිවීමට පුළුවන. තම ජනිතයන් රැක බලා ගැනීමෙන්, නිවසට ආහාර රැගෙන ඒමෙන් සිය සහකාරියන්ට දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට මග පාදන කැපකාර පියවරු (engaged fathers) ක්ෂීරපායි සත්ව විශේෂ අතර ඇත්තේ 10%ක පමණ සංඛ්‍යාවක් පමණයි. එහෙත් එලෙස පවුල් ජීවිතයට හැඩ ගැසෙන සුළුතරයකට ඉන් ලැබෙන ප්රතිලාභ බොහොමයි. මව්පිය කටයුතු (parenting efforts) වෙනුවෙන් දරන වෙහෙසින් සිය ජනිතයන්ට මෙන්ම සහකාරියටත් අපමණ වාසි සැලසෙන බව නව පර්යේෂණවලින් හෙළිවෙයි. ‘නිවසේම’ ලැග සිටින පියවරුන් සිය අඹේනියන් අතර ප්‍රජනන සාර්වකත්වය ඉහළ දැමීමටත්, වරකට වදන පැටව් සංඛ්‍යාව ඉහළ දැමීමටත් උපකාරීවන බවක් පෙනී යන්නේ යයි Nature Communications සඟරාවේ පළවී ඇති අධ්‍යයන වාර්තාවකින් හෙලිවෙයි.
මෙයට කලින් සිදු කළ අධ්‍යයනවලදී අවධානය යොමු වූයේ ඇතැම් විශේෂවල පිරිමි සතුන්, වෙනත් සහකාරියන් සොයමින් හඹා නොගොස් තම පවුල කෙරෙහි නාභිගත වීමේ ස්වභාව ධර්මයේ ප්‍රවණතාව පණ ගැන්වීමට පෙළඹෙන්නේ මන්දැයි පැහැදිලි කිරීමටයි. ඇත්තටම ගතහොත් තම පැටවුන් රැක බලා ගැනීමට කැපවීමෙන් මෙම සත්ව පියවරුන්ට ශ්‍රමය සහ කාලය මෙන්ම වෙනත් සහකාරියන් හා එක්වී තවත් ජනිතයන් බෝ කිරීමට ඇති අවස්ථා අහිමි වෙයි. මෙය කොපමණ තදබල පෙළඹවීමක් ද (a drive) කියතහොත් සමහර ක්ෂීරපායි පිරිමි සතුන් සහ සිය විශේෂයේ ම ළදරුවියේ පැටවුන් මරා දමන්නේ ඔවුන්ගේ මව්වරුන් හා සම්භෝගයේ යෙදීමටයි. එසේ නම් පවුල් ජීවිතයක් ගත කිරීමට නැඹුරු පියවරුන්ට ඉන් සැලසෙන වාසිය කුමක්ද?
හල් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ ඉසබෙලා කැපෙලිනී මේ ප්රශ්නය වෙනත් කෝණයකින් විමර්ෂණය කිරීමට උත්සාහ දරයි. ඇගේ තැත වී ඇත්තේ සිය කාලය හා ශක්තිය පවුල් රැකීමට වැය කළ පිරිමි සතුන් ගේ පවුල් මත එය බලපෑ ආකාරය විග්රහ කර ගැනීමයි. ‘පිරිමි සතා පවුල තුළම රැඳී සිට සිය ජනිතයන් හදා වඩා ගැනීමට උදව් කිරීමේදී සිදුවන්නේ කුමක්ද යන්න ගැන අපේ දැනුමෙහි අඩුපාඩු තිබෙනවා. ඉතින් අපේ ප්රශ්නය වුනේ මෙසේ පිරිමි සතා රැඳී සිටීමෙන් ජනිතයන්ට හා ගැහැණු සතාට අත්වන වාසිය කුමක්ද යන්නයි. ඇය කියා සිටියි. මේ ගැන සොයා බැලීම පිණිස කැපෙලිනී සහ ඇගේ සම කර්තෘ හැනා වෙස්ට් කෘන්තකයන්ගේ (rodents) සිට පි‍්‍රමාටේස් දක්වා (මානවයන්ද ඇතුළුව) විවිධ ක්ෂීරපායි විශේෂ 529කට අදාළ පුළුල් පරාසයක දත්ත කට්ටල පරික්ෂා කර බැලූහ. ඉන් අනතුරුව ඔවුන් අවධානය යොමු කළේ පරීක්ෂාවට ලක් කළ පිරිසගෙන් පවුල් ජිවිතයට බර 10%ක් වන පිරිමි සතුන් කෙරෙහිය.
මෙහිදී පර්යේෂකයන්ට පෙනී ගියේ මෙවැනි ‘පියවරුන්’ ගෙන් ඔවුන්ගේ පවුල්වලට පැහැදිලි වාසිදායක තත්ත්වයක් අත්පත් වන බවයි. ‘පිරිමි සතුන් දෙමාපිය සත්කාරයෙහි යෙදෙන විට ගැහැනු සතුන් පැටවුන්ට කිරිදෙන කාලය අඩුවන අතර පිරිමි සතා ගැහැනු සතුන්ටත් ආහාර සපයන්නේ නම් එක වර වදන පැටව් සංඛ්‍යාවද වැඩිවෙනවා’ යයි ඇය කියයි. මේ කාරනා දෙකම අවසානයේ ගැහැනු සතුන්ගේ (දරුඵල) සරුභාවයට සමස්තයක් ලෙස බලපාන අතර සිය සහකාරියන්ට එකවර වැඩි පැටව් සංඛ්‍යාවක් වැදීමට මෙන්ම වඩාත් ඉක්මනින් ප්‍රජනනය කිරීමේ හැකියාව ඇතිවන නිසා පිරිමි සතුන්ට ද වාසි දායක ලෙස බලපානවා’. මේ අනුව, පවුල තුළ රැඳී සිටින පිරිමි සතුන්ට එහි ගැහැනු සතා සමග සම්භෝගයෙහි යෙදීමේ අවස්ථා වැඩිවන අතර එය දරුවන් බලාගැනීම වෙනුවෙන් වැය කරන කාලය හා ශ්‍රමය වැය කිරීම වෙනුවෙන් හානි පූර්ණයක් සිදු වේ.
මෙවැනි ‘ආදර්ශමත්’ පීතෘවරු සිටින සත්ව විශේෂ අතර වෘකයන්, (වෘක හැඩ රුව ඇති ඇමෙරිකානු වන සුනඛයන්) කොයොටයන් (coyotes) සහ අපි‍්‍රකානු කැලෑ සුනඛයන්ද අයත් සුනඛ විශේෂද වෙති. කෘන්තක විශේෂ කිහිපයක පිරිමි සතුන් ද ළපටින් ලොකුවෙන තුරු කැදැල්ලේ රැඳෙති. ටැමරින් (tamarin) වැනි නව ලෝකයේ වඳුරු විශේෂද මේ ඝනයට අයත්ය. ළදරු අවදියේ පියාගේ සත්කාරය ලබන මෙවැනි විශේෂවල ජනිතයෝ වඩා විශාලව නොවැඩුණත් පිරිමි සතාගේ උදව් නොලන විශේෂ හා සසඳන විට වඩා වේගයෙන් වැඩෙති. වයස අනුව සැකසුණු මර්ත්‍යතා (mortality data) දන්ත පර්යේෂකයන් සතුව නැත. එහෙත් මෙම ඉක්මන් වර්ධනය පැටවුන්ට විලෝපිතයන්ගෙන් බේරීමේ අවස්ථා මෙන්ම තමන්ටම ආහාර සොයා ගැනීමේ හැකියාවන් වැඩිකරන බවයි විශ්වාස කෙරෙන්නේ. උදාහරණයක් වශයෙන් වෙනත් අධ්‍යයනවලින් හෙළිවන අන්දමට වෘකයන් ගේ පැටව් (මෙලෙස) ශීත ඍතුවට පෙර ඉක්මනින් වැඞීමෙන් ශීත ඍතුව වඩා හොඳින් ගෙවා ගැනීමට ඔවුන්ට සැලසෙනවා.’ කැපෙලීනී පවසයි.
කේම්බි්රජ් සරසවියේ චර්යාමය පරිසර විද්‍යාඥයෙකු වන (මෙම අධ්‍යයනයට සම්බන්ධ නැති) ඞීටර් ලූකාස් කියා සිටියේ ඇතැම් පීතෘමය චර්යාවන් ප්‍රජනනය ඉහළ නැංවීමකට මග නොපෑදුවත්, පිරිමි සතාට මෙන්ම පවුලේ අනෙක් අයටද අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක විය හැකි බවයි. වෙනත් සතුන් හෝ විලෝපියන්ට එරෙහිව එක්ව සටන් කිරීම, එක්ව දඩයම් කිරීම මෙවැනි වාසිදායක චර්යාවන් අතර වේ. ‘අධ්‍යයනයේ කතුවරුන් නිරීක්ෂණය කර ඇති ගැහැනු සතුන්ගේ ප්රජානන රටාවේ වෙනස්කම් හුදෙක් කිරි දෙන කාලය අඩුවීමට පමණක් බද්ධ වෙලා. මෙය නම්‍යශීලී ගති ලක්ෂණයක්. පිරිමි සතා ළඟ පාතක නැති නම්, එම පිරිමි සතා තම සහකාරිය හැර ගොස් හෝ මියගොස් ඇති නමුත් මව් සතාට තම ජනිතයන් හදා වඩා ගැනීමට තවදුරටත් හැකියාව මෙම චර්යාවෙන් ලැබෙනවා’යයි ලූකාස් පෙන්වා දෙයි.
Smithsonian.com හි පළවූ Rare ‘Family Guy’ Mammal Dads Give Us All Something to Strive For යන ලිපිය ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න