විදු නැන නුවණ – Science Literacy for All

සූක්ෂම තරංග උඳුන සහ විකිරණය

මුළුතැන්ගෙයි විදුලිමය උපකරණ අතරට එක් වූ  ‘අධිතාක්ෂණ’ උපකරණයක් ලෙස සූක්ෂම තරංග උඳුන (microwave oven) හඳුන්වා දෙන්න පුළුවන්.  අද වන විට සූක්ෂම තරංග උඳුන නැතිනම් වැඩි දෙනා අතර භාවිතාවන ලෙස කීවොත් ‘මයික්‍රොවේව් අවන්’ බෙහෝ නිවෙස්වලට නැතුවම බැරි අංගයක් බවට පත් වී ඇත. නැතිනම් පත්වෙමින් පවතී. මෙම උඳුන් මෙරට වෙළඳ පොළට මුලින් ම හඳුන්වා දුන් අවස්ථාවේ මෙය භාවිතා කරන අන්දම මෙන්ම එයින් පිසූ ආහාරවල විකිරණශීලිත්වයක් ඇද්දැයි යන්න ගැන බොහෝ පාරිභෝගිකයන්ට තිබුනේ විමතියකි,සැකයකි. අදටත් එම සැක සංකා බොහෝ දෙනා අතරින් සම්පූර්ණයෙන් ම මග හැරී ගොස් නැතත් මෙවැනි සූක්ෂම තරංග උඳුනක ඵල ප‍්‍රයෝජනය සැලකිල්ලට ගැනීම මෙන්ම එක්තරා කොටසක් හෝ අනුකාරකව ක‍්‍රියාකිරීම නිසා ඒවා බහුලව අළෙවි වීම හා භාවිතා වීම සිදුවේ. මේ උඳුන් හුදෙක් නිවාසවලටම සීමා නොවන අතර වැඩබිම්වල ද වෙනත් ස්ථානවල ද භාවිතා වේ. එහෙයින් එහි ප‍්‍රතිඵලයක් ලෙස රැකියාබද්ධ ආරක්ෂාව ගැන ගැටළු ද ඉස්මතුවීම නොවැළැක්විය හැක්කකි.

microwave-oven-day-fun

සූක්ෂම තරංග උඳුනක ආරක්ෂාව පිළිබඳ බොහෝ කංසාවන් හා ගැටළු ජනනය වන්නේ අත්වැරදීමකින් උඳුනක් කැඞී යාමට දායක වූ සේවකයන් හෝ ගෘහනියන්ගෙන් එහෙමත් නැතිනම් ජන මාධ්‍යයක පළ වූ ලිපියකින් විද්‍යුත් හා චුම්බක ක්ෂේත‍්‍ර අනතුරු ගැන කියවූ අයකුගෙන් හෝ කිසියම් රෝගයකින් පෙළෙන එහෙත් එය යම්කිසි ආකාරයකින් සූක්ෂම තරංගවලට අනාවරණයවීම නිසා යයි කල්පනා කරන්නන්ගෙනි. එහෙත් මේ සැක සංකා ගැන හේතුව කුමක් වුවත් ඒවා හුදු මනස්ගාත යයි නොසිතා සැබැවින් ම අවධානය යොමු කළ යුතුය. නොඑසේ නම් එවැනි සැක සංකා තවත් වර්ධනය වන අතර අළුතෙන් දුක් ගැනවිලි එකතුවීමට ද ඉඩ සැලසේ.

සූක්ෂම තරංග උඳුන් කිහිප ආකාරයකින් හානියට පත් විය හැකිය. උඳුන ඇතුළත ලෝහමය ද්‍රව්‍යය නැතිනම් භාවිතා කිරීමේ හේතුවෙන් අධි වෝලටීයතාව චාපනය (ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර දීප්තවිද්යුත් විසර්ජනය = arcing) සිදුවිය හැකි අතර ඉන් උඳුනේ වැස්මට හානි පැමිණවීමට හෝ ගිනි ගැනීමට පවා මග පෑදිය හැකිවේ. දොර අනිසි ලෙස භාවිතා කිරීම නිසා ඇතිවන අනාරක්ෂාකාරී තත්ත්වයක් යටතේ අතුරගුලූ සබදන (interlock connectors) හෝ ස්විච අක‍්‍රිය විය හැකි වීමෙන් සූක්ෂම තරංග කාන්දුවක් සිදුවිය හැකිය. උඳුනට සිදුවිය හැකි තවත් හානියක් වන්නේ දොර මුද්‍රාවල පිටවැස්ම, ස්විච හෝ බල සැපයුම හානියට පත්වීමයි. කෙසේ වෙතත් යථාර්ථවාදීව සලකා බලද්දී මෙම උඳුන්වලින් සූක්ෂම තරංග කාන්දුවීම් සිදු නොවන තරම් ය. එසේ කාන්දුවක් සොයා ගනු ලැබූ අවස්ථා අතලොස්සේ දී පවා එවැන්නක් සිදුවීමට බලපා ඇත්තේ උඳුන අනිසි ලෙස හෝ ආයථා ලෙස භාවිත කර තිබීමේ හේතුවයි.

 

අද ලෝකයේ භාවිතා වන සූක්ෂම තරංග හෙවත් මයික්‍රොවේව් උඳුන් සඳහා යොදා ගනු ලබන්නේ මෙගා හර්ට්ස් 2,450 ඔස්සේ සූක්ෂම තරංග නිපදවන මැග්නිට්‍රෝන් (magnetron) නම් සූක්ෂම තරංග වර්ධනය කරන විද්‍යුත් නළයකි. පිසමන් කුටීරයේ (cooking chamber)  අභ්‍යන්තරය ආවරණය කර ඇති අඛන්ඩ  ලෝහමය නිවෙස්නාව (housing) ඇතුළත මෙකී සූක්ෂම තරංග සාමාන්‍යයෙන් අඩංගු වෙයි. දොර නැතිනම් ඇතුළත බලන ජනේලයෙහි කුඩා හිල් සහිත ලෝහමය ජාලකයක් (metal grid) තිබේ. එම කුඩා සිදුරු තුලින් ප‍්‍රකාශ විකිරණ යා හැකි නමුත් සූක්ෂම තරංග සංඛ්‍යාත වැලැක්වේ. ලෝහමය නිවෙස්නාවට අමතරව  උඳුනක අඩු තරමින්  අතුරගුල ස්විච්(interlock switch) එකක් හෝ ඇත. එය යොදා ඇත්තේ දොර විවෘත වන විට මැග්නිට්‍රෝන නළය බලගැන්වීම නැති කිරීමටය. අධිවෝල්ටීයතා සංඝටක (මිලි ඇම්පියර් 300 සරල ධාරාවක් ඹස්සේ වෝල්ට් 4000 ක) බහා ඇත්තේ භූගත කළ ලෝහමය ඇසුරුමකය. විදුලිමය හා ගිනිමය ආරක්ෂාව ඇති බවට බොහෝ උඳුන් සහතික කර ඇත. මේ ආරක්ෂක සැලසුම් අංග මෙකී උඳුන් සාමාන්‍ය භාවිතයට අතිශය ආරක්ෂාකාරී බව සනාථ කරයි.

ඉහත ද සඳහන් කළ අන්දමට සූක්ෂම තරංග නිපදවන්නේ, මැග්නිට්‍රෝන් නළය මගිනි. උඳුනේ ලෝහමය අභ්‍යන්තරය තුළ සූක්ෂම තරංග පරාවර්තනය වන අතර එහිදී ආහාර මගින් ඒවා අවශෝෂණය කෙරේ. ආහාරවල ඇති ජල අණු කම්පනයට සූක්ෂම තරංග හේතු වෙයි. මේ කම්පනයෙන් නිපදවන රස්නය(තාපය) තමයි ආහාර පිසීම සිදු කරන්නේ. ජලය වැඩියෙන් ඇති එළවළු වැනි ආහාර අනෙක් ඒවාට වඩා ඉක්මණින් පිස ගැනීමට හැකි වන්නේ ද එම හේතුවෙනි. සූක්ෂම තරංග ශක්තිය ආහාර මගින් අවශෝෂණය වෙද්දී එය තාපය බවට හැරෙන අතර ආහාර ‘විකිරණශීලිවීමක්’ (radioactive) හෝ අපවිත‍්‍රණයක් (contaminated) සිදු නොවේ.

සූක්ෂම තරංග උඳුනේ ආහාර අභ්‍යන්තරයේ සිට පිටතට යන ආකාරයට පිසීගෙන යනු නොලැබේ. ඝනකම සහිත ආහාර පිසින විට පිටත ස්තර තාපනය කරන්නේත් පිසිනු ලබන්නේත් මූලික වශයෙන් සූක්ෂම තරංග මගිනි. ඇතුල පිසිනු ලබන්නේ රත් වූ වාත ස්ථර තුළින් තාපය සන්නයනය වීමෙනි. සම්ප‍්‍රදායානුකූල පිසමනට වඩා සූක්ෂම තරංග උඳුනේ පිසීම බලශක්ති අංශයෙන් කාර්යක්ෂම වන්නේ ආහාර ඉක්මණින් පිසීම සහ ශක්තිය වැය වන්නේ උඳුන් කුටීරයම තාපනය කිරීම වෙනුවට ආහාර පමණක් තාපනය පිණිස වීම නිසයි. () මෙම උඳුන්වල පිසීමෙන් ආහාරවල පෝෂණ අගය අඩු නොවේ. ඇත්තටමත වතුර එක් නොකර ඉක්මණින් පිසෙන නිසා ආහාරවල විටමින් හා ඛනිජ ආරක්ෂිතව පැවතීමේ අවස්ථාව වැඩිය.

wa2

සූක්ෂම තරංග යනු විද්‍යුත් චුම්බක’ විකිරණයේ ස්වරූපයකි. ඒ කියන්නේ අභ්‍යවකාශය හරහා චලනය වන විද්‍යුත් සහ චුම්බක ශක්තියේ තරංගයි. විද්‍යුත් චුම්බක විකිරණය ප‍්‍රබල X කිරණවල සිට ප‍්‍රබලත්වයෙන් අඩු, ගුවන්විදුලි හා රූපවාහිණි සම්පේ‍්‍රෂණයට යොදා ගන්නා රේඩියෝ තරංග දක්වා පාරාසයකට අයත්ය. සූක්ෂම තරංග අයත් වන්නේ චුම්බක විකිරණයේ රේඩියෝ සංඛ්‍යාත ආයාමය ටයවඩා ප‍්‍රබල කිරණ වන X කිරණ සමග .  සූක්ෂම තරංග පටලවා නොගත යුතුය.

ආහාර පිසීමේ දී සූක්ෂම තරංග යොදා ගැනීමට ඉවහල් වන්නේ ඒවායේ ගති ලක්ෂණ තුනක් හේතුවෙනි. එම තරංග ලෝහ මගින් පරාවර්තනය වේ. ඒවා වීදුරු, කඩදාසි. ප්ලාස්ටික් සහ එවැනි ද්‍රව්‍ය හරහා ගමන් කරයි. ඒවා ආහාර මගින් අවශෝෂණය කෙරෙ.

සූක්ෂම තරංග සහ මිනිසුන්ගේ ශරීර කෙරෙහි ඒවායේ බලපෑම ගැන පර්යේෂණ බොහොමයක් ම සිදු කෙරෙමින් පවතී. පහළ මට්ටමක සූක්ෂම තරංග අනාවරණය වීමෙන් මිනිසුන්ට කුමක් සිදුවේද යන්න ගැන දැනුම මදය. මිනිසුන් කෙරෙහි පහළ මට්ටමේ සූක්ෂම තරංග ශක්තිය ඇති කරන බලපෑම ගැන පාලිත (controlled), විශාල සංඛ්‍යාවක ජනතාවක් සම්බන්ධ, දිගු කාලීන අධ්‍යයන සිදු කර නැත. පහළ මට්ටම්වල සූක්ෂම තරංග වලට නිරාවරණයවීම පිළිබඳ තවමත් විද්‍යාත්මක ගැටළු ගණනාවක් පවතින හෙයින් විකිරණ ආරක්ෂක අවශ්‍යතා සපුරාලීමට නීතිමය බලපෑම තවදුරටත් සිදුකළ යුතුව ඇත. සාමාන්‍ය අවබෝධය හා නිරවුල් ප‍්‍රායෝගික  බුද්ධිය මෙහෙයවමින් පාරිභෝගිකයන් ද ඇතැම් ආරක්ෂක පියවර ගත යුතුව ඇත.

Health Physics Society  වෙබ් අඩවියේ A Practical Approach to Microwave Oven Safety යන ලිපිය සහ U.S. Food and Drug Administration වෙබ් අඩවියේ Microwave Oven Radiation යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: