මෙම ලිපි පෙළෙහි දී අප පෘථිවියේ සිට සෞරග‍්‍රහ මණ්ඩලය හරහා ක්ෂීර පථය ඔස්සේ ඉන් ඔබ්බට ඇති බොහෝ ඈත මන්දාකිණිවලට මෙන්ම ක්වොසෝර හා ගැමා කිරණ පිපිරුම් කරා ගමන් කරද්දී විශ්වය වටහා ගැනීමෙහි ලා අභ්‍යවකාශ ගවේශණ සහ අභ්‍යවකාශ නිරීක්ෂණාගාර කොපමණ නම් වැදගත් දැයි අපි දුටුවෙමු. මෙම ලිපි පෙළ මගින් ඔබට හමු වූ පෙරබිම ධූලි, තාරකා සහ මන්දාකිණි සියල්ල අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිම තුලින් රාමුගත වේ. අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිම, මහා පිපිරුමෙහි(Big Bang) පසු දිලියුමක් හෙවත් අස්තාලෝකයක් (after glow) ලෙස කාලය තුළ පසුබිමක් සපයයි.
මහා පිපිරුම
අප හබල් දුරේක්ෂය උපයෝගී කර ගනිමින් අභ්‍යවකාශයේ තවත් ඈතට නෙත් යොමු කරද්දී, කාලය වශයෙන් වසර බිලියන 10 කට වඩා දිවෙන අනුරූප තුළ ආලෝක වර්ෂ මිලියන ගණන්වල සිට බිලියන ගණන් දුර ඈත මන්දාකිණි අපි දකින්නෙමු. ප‍්‍රකාශ තරංග ආයාමවල දී මෙකී මන්දාකිණි සියල්ල අඳුරු පසුබිමක් තුළ රාමු ගතව ඇත. මෙම අවසාන පසුබිම කිසියම් නිශ්චිත කාලයක් දක්වා ව්‍යාප්ත වන්නේ ද නැතහොත් එහි ගැඹුර තුළ අනන්තයි ද? මෙය වටහා ගැනීමට ප‍්‍රධාන වන හෝඩුවාව ලැබෙන්නේ බොහෝ සේ දීර්ඝ තරංග ආයාම වලිනි. එම තරංග ආයාමවල දී අහස සූක්ෂම තරංග විකිරණ පසුබිමක නැහැවේ. විශ්වය වඩාත් කුඩාවට, වඩාත් ගිනියම්ව, වඩාත් ඝනව සහ සූර්යයා මෙන් ප‍්‍රභාවත් ව තිබූ වසර බිලියන 13.7 කාලයකට මෙම විකිරණ අයත්වීම එම විකිරණ පිළිබඳ වඩාත් සරල අර්ථ දැක්වීම වේ.
විල්කින්සන් සූක්ෂම තරංග අසමසාර්වදිශ() ගවේෂණ නිරීක්ෂණාගාරය(Wilkinson Microwave Anisotropy Probe) මගින් සිදු කළ අන්තරීක්ෂ සූක්ෂම තරංග පසුබිම පිළිබඳ විස්තරාත්මක ගවේෂණ මුල් කාලයේ විශ්වයේ ඝනකමෙහි උච්චාවචනයන් දක්වන සුළු කුඩා විචලයන් හෙළි කරයි. විශ්වය ව්‍යාප්තවී සිසිල් වෙද්දී මෙකී උච්චාවචනයන් අද අප දකින විශාල පරිමාණයේ මන්දාකිණි ව්‍යුහයන් ලෙස පරිමාණමය වී ඇත. කාලයේ අපූර්වතා ප‍්‍රභවයකින් විශ්වය පරිණාමය වෙමින් පවතින්නේය යන මතය මෙන්ම විශ්වය ප‍්‍රසාරණය වන්නේය යයි එඞ්වින් හබල්ගේ සොයා ගැනීම දුරෙහි ශ‍්‍රිතයක් ලෙස ක්වොසෝර නිරීක්ෂණයන් හා සංගතවේ. කෙසේ වෙතත් 1965 ට පෙර මහා පිපිරුම් ආකෘතියක් පිළිබඳ නොසෙල්වෙන, ඒකාන්ත සාක්ෂි නොවීය.
එවන් මහා පිපිරුමක් පිළිබඳ මුලින් ප‍්‍රමාණාත්මකව ගවේෂණය කළේ භෞතික විද්‍යාඥ ජෝර්ජ් ගැමොව් සහ ඔහුගේ ගෝලයන් වන රැල්ෆ් ඇල්පර් සහ රොබට් හර්මන් එක්වය. එය දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් මද කලකට පසුවය. ඔවුන්ගේ අවධානය නාභිත වූයේ ඇත්තටම මහ පිපුරුම ඇති වූයේ කුමන හේතුවක් නිසා ද යන්න ගැන නොවෙයි; ඒ වෙනුවට ඔවුන් කල්පනා කරමින් සිටියේ මහා පිපුරුමට සුළු වේලාවකට පසු කුමක් සිදුවන්න ඇත්ද යන්න ගැනය. එවැනි විටක, විශ්වය ඉතාමත් ගිනියම්ව එමෙන් ම ඉතාමත් ඝනව සහ අද අප තාරකා මධ්‍යයන් අතරේ අත් දකින බව පෙනෙන ගූණාංග වලට බොහෝ සමාන ගුණාංග වලින් සමන්විත වන්නට ඇත : න්‍යෂ්ටික විලයනය හෙවත් හයිඩ‍්‍රජන්, හීලියම් සහ බැර මූලද්‍රව්‍ය බවට පරිවර්තනය වීම හෙවත් පෙරළීමයි.
මහා පිපුරුමකින් ඇති වූ විශ්වයකට සම්බන්ධ විය හැකි විකිරණය ගැන සොයා බලන වාර්තාවක් ඇල්පර් හා හර්මන් 1949 දී පර්යේෂණ පත‍්‍රිකාවක් ලෙස පළ කළහ. විකරණය බහුලව තිබිය හැකි බවත් එමෙන් ම විකිරණය කෘෂ්ණ වස්තු(blackbody) වර්ණාවලියක් අත්පත් කරගනු ඇතැයි ද එතරම් අතීත කාලයක දී පවා ඔවුන් දෙදෙනාට තේරුම් ගියේය. ඒ මුල් අතීත කාලයේ දී මෙය බෙහෙවින් ගිනියම් වූ කෘෂ්ණ වස්තු වර්ණාවලියක් වනු ඇත. එය X කිරණවල සිට ගැමා කිරණ තරංග ආයාම වලදී උච්චායන වේ. විශ්වය ප‍්‍රසාරණය වී සිසිල් වන විට මෙම කෘෂ්ණ වස්තු විකිරණය ද ක‍්‍රමයෙන් සිසිල් වී යනු ඇත.
මෙලෙස කල්පනා කරගෙන යද්දී ඇල්පර්ට සහ හර්මන්ට තේරුම් ගියේ මෙම විකිරණ වෙසෙසි ලකුණ අදටත් පවා නිරීක්ෂණය කෙරුණු ඇති බවයි. සූක්ෂම තරංග ආයාමවල දී උච්ච වන දළ වශයෙන් කෙල්වින් අංශක 5 කෘෂ්ණ වස්තුවක් ලෙස නිරීක්ෂණය කළ හැකි මහා පිපුරුමේ පසු දිලියුමක් අද පවා තිබිය යුතු යයි ඔවුහු පුරෝකතනය කළහ. සූක්ෂම තරංග ආයාමවල දී උච්චායන වන එවැනි දුබල සංඥාවක් සොයා ගැනීමේ උත්සාහයක යෙදීමට තරම් ප‍්‍රමාණවත් තාක්ෂණය එම අවධීන් වල නොතිබූ බව ද ඔවුහු තේරුම් ගත්හ.
මූල ද්‍රව්‍යවල මහා පිපුරුමේ වියලනය හීලියම් හා ලිතියම්වලට වඩා ඔබ්බට ක‍්‍රියාත්මක නොවන බව 1990 ගණන් වන විට පැහැදිලි විය. හේතුව සරලව දක්වන්නේ නම් විශ්වය වුවමනාවට වඩා වේගයෙන් ප‍්‍රසාරණය වීමයි. මෙම කාල වකවානුවේදී ම, ආවර්තිතා චක‍්‍රයේ මූල ද්‍රව්‍ය බහුතරය නිපදවෙන්නේ තාරීය න්‍යෂ්ටික සංස්ලේෂණයෙන් මිස මහා පිපුරුමේ න්‍යෂ්ටික සංස්ලේෂණයෙන් නොවන බව අනෙක් විද්‍යාඥයෝ සොයා ගත්හ. චින්තනයේ මෙම පරිණාමයන් සමග විශ්වීය ක්ෂුද්‍ර තරංග පසුබිම සම්බන්ධයෙන් ඇල්පර් සහ හර්මන් ඉටු කළ කාර්ය භාරය අවශ්‍යයෙන් ම අමතකව ගියේය.
ලිපියේ ඉතිරි කොටස ලබන බදාදා තතු මගින්.
මතක් කිරීමක් : Visual Guide to the Universe (by Professor David M. Meyer ග‍්‍රන්ථය ඇසුරෙන් සකස් කරන ලිපි පෙළ දැන් අවසානය කරා ළඟා වෙමින් පවතී. ඒ ලිපි ඔස්සේ අප ඔබව විශ්වය පුරා මහා චාරිකාවක රැගෙන ගියෙමු. එම අත්දැකීම අපගේ මනැස ඥානාලෝකයෙන් නහවන්නක් බව නිසැකය. තතු රක්ෂණාගාරය හාරා අවුස්සා මුල සිට එම ලිපි එකතු කර ගැනීමෙන් ප‍්‍රයෝජනවත් පොත් පිංචක් සකස් කළ ගත හැකිය.